නව තාක්ෂණික දැනුමෙන් හෙබි ලංකාවේ ප‍්‍රමුඛතම ආරක්‍ෂක සේවාව බවට LRDC ආරක්‍ෂක සේවාව පත් කරනවා

Champika.jpg

රටේ ඉදිරිමග තීරණය කරනු ලබන්නේ ඉන්දියන් සාගරයයි.

  • LRDC ආරක්‍ෂක සේවාව තව නොබෝ කලකින් විදේශ සේවයට

– ඇමති චම්පික රණවක පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කළේ,  ඊයේ(11) දින නෙළුම් පොකුණ රගහලේ පැවති LRDC ආරක්‍ෂක සේවා ආයතනයේ සේවය කරන කුසලතා පූර්ණ ආරක්‍ෂක නිලධාරීන් හා නිලධාරිනියන්ගේ සේවය ඇගයීමේ සුරක්ෂා අභිමන් උපහාර උළෙලට සහභාගී වෙමිනි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පරිපාලිත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුබද්ධිත ආයතනයක් ලෙස එල්.ආර්.ඞී.සී. ආරක්‍ෂක සේවා ආයතනය කි‍්‍රයාත්මක වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපි කවුරුත් දන්නවා මේ ආරක්‍ෂක නිලධාරීන්ට, මේ සමාජයේ ලැබිලා තිබෙන තැන සහ ඔවුන් මේ මෙහෙවර කරන්න විඳින දුක පිළිබඳව. කොයි තරම් අවමානවලට ලක්වෙනවාද, ආහාර, සෞඛ්‍ය, කැසිකිලි – වැසිකිලි පහසුකම් මේ හැම දෙයක් ගැනම බැලූවහම ඔහුට ලැබෙන්නේ තුන්වෙනි පන්තියේ අවස්ථාවන්. එවැනි තත්වයක් තුළ මේ ආරක්‍ෂක නිලධාරීන්ට, ගරුත්වයක්, සමාජ පිළිගැනීමක්, ඒ වගේම මේ සමාජයේ අනාගත ආරක්‍ෂක කාර්ය භාරයන් ඉටු කරන්නට මගහසර විවර කිරීම ගැන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආරක්‍ෂක සේවය වන එල්.ආර්.ඞී.සී. ආයතනයට අපේ ස්තූතිය මේ අවස්ථාවේදී පිරිනමනවා.

මිත‍්‍රවරුණි, අපේ මේ රටේ ආරක්‍ෂාව පිළිබඳ දීර්ඝ කාලයක් සැකයෙන් බියෙන් තැති ගැන්විලා ජීවත් වෙච්ච රටක්. හැම මොහොතමක මරණය අපේක්‍ෂාවෙන් හිටපු රටක්. අපි ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දාලා ලෝකයට විශිෂ්ඨ ආදර්ශයක් දීපු රටක්. මේ මෑතදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් රටවල් හතකින් ඒ ඇමරිකා එක්සත් ජනපදයට එන පිරිස් තහනම් කළා. ඒ තහනම් කරන අතරේ මේ දකුණු ආසියානු කලාපයේ පකිස්තානය, ඉන්දියාව, බංගලිදේශය වැනි රටවලට යන්න එපා, ත‍්‍රස්තවාදී අනතුරු තියෙනවා, ආරක්‍ෂක ප‍්‍රශ්න තියෙනවා කියලා ඔහුගේ ඒ ආරක්‍ෂක නියාමකයන්ගෙන්, ඇමරිකා එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා. කිසිම බියක් සැකක් නැතිව යන්න, ආයෝජනය කරන්න කියලා ඒ අවස්ථාවේදී ප‍්‍රකාශ වුනේ අපේ මේ ශ‍්‍රී ලංකා රාජ්‍ය පමණයි. ඒ ගැන ඇස් හිස් මස් දන්දීපු අපේ රණවිරුවන්ට ඒ වගේම ඒ අයගේ පවුල්වලට අපි සදා ණය ගැතියි. අපි ඉතා ආඩම්බරයෙන් කියන්න  ඕනේ අපේ මේ එල්.ආර්.ඞී.සී සේවාවේ සේවය කරන බොහෝ දෙනෙක් ඒ ආරක්‍ෂක අංශවල ඒ විශේෂ අත්දැකීම් සහිත පිරිස.

දැන් අපි ලබාගෙන තිබෙන සාමයත් එක්ක අපේ ඊ ළග පියවර මොකක්ද? අපි තවත් විශාල යුද්ධ හමුදාවක්, ඒ වගේම ආරක්‍ෂක සේවාවක් රාජ්‍යයේ පවත්වාගෙන යනවද? මම හිතන්නේ මේ යුගයට අපට අවශ්‍ය වෙන්නේ අපේ ආරක්‍ෂක හමුදා, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා යුද හමුදාව ඉතාමත්ම පරිණත පුහුණුව සහිත සාමාන්‍ය හමුදාවක් බවට පත්වෙන අතරේ මේ රටේ ඉදිරි මග තීරණය කරන්නේ මේ ඉන්දියන් සාගරය නිසා. අපේ නාවික හමුදාව බලගතු හමුදාවක් බවට පරිවර්ථනය කිරීමයි අපේ අනාගත ආරක්‍ෂක චිත්නය විය යුත්තේ. ඒ වගේම රටේ ආරක්‍ෂක ස්ථාන පාලනය කිරීම සඳහා පුහුණුව ලත් ඒ සෙබළුන් හා ආරක්‍ෂක නිලධාරීන් අතට ඒ වගකීම භාරදීමයි සිදුවිය යුත්තේ. ඇමරිකා එක්සත් ජනපදය වගේ සමහර රටවල් පුද්ගලික හමුදා පවත්වාගෙන යනවා. ඒ අය රටවල් ආක‍්‍රමණය කළාම ඒ පුද්ගලික හමුදාවලට ඒ බල ප‍්‍රදේශ ලබාදෙනවා. මේ වන විට  ලෝකය පුරා අපේ ශ‍්‍රී ලංකා යුද හමුදාවෙත්, විශේෂ බලකායෙත් විශාල පිරිසක් අද මේ පුද්ගලික හමුදාවල සේවය කරනවා.

ඒ නිසා අනාගතයේ අපේ රාජ්‍ය අංශයෙත්, පුද්ගලික අංශයෙත් ආයතන ආරක්‍ෂා කර ගැනීම සඳහා පළාතක පොලීිසි පිහිටවීම නෙමෙයි කළ යුත්තේ, මෙන්න මෙවැනි ආයතන පිහිටවලා ඒ ආයතනවලට වගකීම භාර දීලා ඒ මගින් අපේ රටේ ආරක්‍ෂාව තහවුරු කරන්න කටයුතු කිරීමයි. ඒ වගකීම එල්.ආර්.ඞී.සී. ආයතනය  ඉහළින් ඉටු කරලා තිබෙනවා. අනාගතය තිබෙන්නේ මේ දෙසටයි. ආරක්‍ෂක හමුදාවන් සුහුරු ආරක්‍ෂක හමුදා වනවා වගේම නව තාක්ෂණයෙන් යුතු ආරක්‍ෂක සේවයක් බවට එල්.ආර්.ඞී.සී ආයතනය පත් කිරීමට අපි සියළු දෙනාම අධිෂ්ඨාන කරගත යුතුයි.

විශේෂයෙන්ම මේ සුහුරු යුගයේ, එහෙම නැත්නම් මේ ස්මාට්ඒජ් එකේ අපි අපේ ආරක්‍ෂක අංශ ඒ තාක්ෂණ දැනුමෙන්, තාක්ෂණ කි‍්‍රයාවලියෙන් සන්නද්ධ කරලා රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයෙත්  ආරක්‍ෂක සේවාව බබලවන තැනක් බවට පත් කරන්න  ඕනේ.

මිත‍්‍රවරුණි, ඒ ගෞරවය දිනා ගත හැක්කේ ඔබ හැමටයි. ඔබගේ තර්ක ශක්තිය මගින් එඩිතර භාවය මගින් අවංක භාවය මගින් මේ රටේ පමණක් නෙමෙයි ඔබ ශක්තිමත්ව කි‍්‍රයා කරනවා නම් අපට දැන් විදේශ සේවා නියුක්තිකාර්යංශයෙනුත් ඒ අවස්ථාව දැන් ලැබිලා තිබෙනවා. ඔබේ සේවාව, ඔබේ කීර්තිය, ලෝකයේ සෑම තැනකටම ගෙනයාමේ අවස්ථාව අපේ එල්.ආර්.ඞී.සී.ආයතනයට ලබා දෙන බවත් මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරන්න කැමතියි.

අපේ සෙබළුන් පසුගිය කාලයේ විශේෂයෙන්ම මුහුදු සේවාවලදි විශිෂ්ඨ දස්කම් දැක්වූවා. ජාවාරම්කාර තුන් හතර දෙනෙක් ප‍්‍රකෝටි ගණන් ධනය ඒ හරහා හොයා ගත්තා. ඒ හරහා රට පාලනය කරන්නත් තමන්ට පුළුවන් යැයි කියන හැගීමකින් ඒ අය කි‍්‍රයා කළා. අද ඒ වෙනුවට ශ‍්‍රී ලංකා නාවික හමුදාව ඒ වැදගත් කටයුත්තට අත තියලා තියෙනවා. විශේෂයෙන්ම නාවික හමුදාපතිතුමාට අපේ ප‍්‍රණාමය පුද කරනවා. බොහෝ දෙනෙක්  මුදලට යටවෙලා ඒ ආරක්‍ෂක අංශවල කීර්තිය, ගෞරවය මාසයකට මිලියනය ගානේ විකුණද්දි, ඒ වෙනුවෙන් ඉදිරිපත්වෙලා අපේ ආරක්‍ෂක අංශවල අයට  ඒ සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදීම ගැන නාවික හමුදාපතිතුමාට අපේ ගෞරවය පුද කරනවා. ඒ වගේම අපි ආරාධනා කරනවා අපේ මේ එල්.ආර්.ඞී.සී. සේවාවේ අයටත් ඒ අවස්ථාවන් ලබාගැනීමට, දේශ දේශාන්තරවල අපේ ආරක්‍ෂක කුසලතාවයන් බබලවන්න අපි ඉදිරිකාලයේ දී කි‍්‍රයාත්මක වෙමු කියලා. හාරදහසකට ආසන්න ආරක්‍ෂක සේවයේ ගෞරවය ඔබ අතෙයි තිබෙන්නේ ඒ ගෞරවරය ඔබ විසින් රැගෙන යා යුතුයි. ඔබේ හිස මත රඳවලා තිබෙන්නේ හිස් කැප් තොප්පියක් නෙමෙයි, මේ ආයතනයෙත්, අමාත්‍යාංශයෙත්, මේ රටේත් ගෞරවය බව හිතේ තරයේ රඳවාගෙන ඉදිරි කාලයේදී ආරක්‍ෂාව පැත්තෙන්, ගරුත්වය පැත්තේන්, වගේම මූල්‍යමය පැත්තෙන් ශක්තිමත්ම ආරක්‍ෂක ආයතනය බවට මේ ආයතනය පත් කරන බවට ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමින්, ඒ සඳහා ඇප කැප වුණු සභාපතිතුමා ඇතුළු සියළු දෙනාට අපේ ස්තූතිය පිරිණමන බව ද’, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

scroll to top