දියවන්නා වෙසක් කලාපය මැයි 10 සිට 14 වන දා දක්වා…

Vesak-2.jpg
  • යළිත් ශ‍්‍රී ලංකාව ථේරවාදී ලෝක බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කිරීමට සැවොම එක්වෙමු.
  • ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් මෙවර දියවන්නා වෙසක් කලාපයේදී එළිදැක්වේ.

බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ලැබූ රටවල් අතුරින් ශ‍්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රී ලංකා රජය විසින් කළ යෝජනාවක් ජාත්‍යන්තරය විසින් පිළිගෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල ශ‍්‍රී ලංකාවට ලැබීම ඉතා සුවිශේෂී තත්වයකි. මෙමගින් බෞද්ධ රාජ්‍ය තාන්ති‍්‍රික භාවයටත්, ලොව පුරා පවතින පාරිසරික ගැටළු සඳහාත් විසඳුම් සැපයීමේ අවස්ථාවක් බවට මෙවර ජාත්‍යන්තර වෙසක් දිනය අපට පත් කර ගත හැකිය.

එය අර්ථවත් කරමින් රටපුරා නන්දෙස පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් කලාප අතුරින් දෙස් විදෙස් බෞද්ධ සම්ප‍්‍රදාය මෙන්ම අතීතයේ සිට පැවත එන වෙසක් සැරසිලි සඳහා නව අර්ථයක් සපයමින් ලෝකයේ ඇති නවීන තාක්ෂණික සැරසිලි අත්දැකීම් සමග දියවන්නා වෙසක් කලාපය සංවිධානය කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් සියළු කටයුතු සකසා සපුරා ඉටුකර අවසන් ය. පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය වෙසක් මස 10 වන දා සිට 14 වන දා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ.

ශ‍්‍රී ලංකාවේ සිදුකරන වෙසක් සැමරුමක පළමුවරට දැක ගත හැකි ජලතිර තොරණ, ලේසර් තොරණ සහ ආසියානු රටවල් දහයක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප‍්‍රදායන් විදහා දැක්වෙන, ඒ ඒ රටවල් වලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි ද මෙවර දියවන්නා වෙසක් කලාපයේදී ඔබට දැක ගත හැකිය. අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජල තිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතාවස්තුව නිර්මාණය කර ඇත. අඩි 60 ක් උස අඩි 40 ක් පළල ලේසර් තොරණෙහි දි සිදුහත් උපත සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිතුවම් නිර්මාණය කෙරේ.

දියවන්නා ඔය ආශ‍්‍රිතව නෙළුම්මල් 2,500 ක් පා කරමින් පළමු වරට ආලෝකමත් කෙරෙන ජල පුෂ්පයක් ද, පොල්දූව මංසන්දියේ දියවන්නා ඔයේ ස්ථාපිත කර ඇත. ජපන් මිත‍්‍රත්ව පාරේ, අපේගම පරිශ‍්‍රයට යාබද වෙසක් උද්‍යානයේ ඩිජිටල් තොරණ්, වෙසක් කූඩු, ශ‍්‍රී ලංකාවට උරුම චෛත්‍ය සම්ප‍්‍රදාය ඇතුළු අලංකෘත වෙසක් සැරසිලි රාශියකින් සමන්විතය. 10 වන දා රාත‍්‍රී 7.30 සිට 12 වනදා රාත‍්‍රිය දක්වා දිනකට 75,000 කට සහභාගී විය හැකි මහා බත් දන්සලක් සහ දින පහ පුරාම කි‍්‍රයාත්මක නූඞ්ලස් දන්සල සහ ඔසුපැන් දන්සැල් ද මෙම කලාපයේ පැවැත්වේ. මේ සියළුම දේ ඔබේ නෙතින් දරාගෙන බුද්ධාලම්භන ප‍්‍රීතිය උපදවාගෙන යහපත් සිතින් දැකබලා සතුටුවන්නට ඔබත් පැමිණෙන්න.

11 වන දින උදෑසන 3,000 ක් දෙනා වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන සහ එදිනම දහවල් මහාසංඝරත්නය 500 නමක් උදෙසා මහා පිණ්ඩපාත චාරිකාව සහ සංඝත දක්ෂිණාව ද කථානායක නිළ නිවසේ දී පැවැත්වේ. දියවන්නා වෙසක් කලාපයේ ආරම්භක දවස මැයි 10 වන දා සවස 6.30 ට දියත උද්‍යානයේ විශේෂ පීඨිකාවක අතිගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ආසියානු කලාපයේ නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනයේ ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ ශ‍්‍රී ලංකාවයි. පසුකාලීනව වෙළඳ හා යුධ ආදී විවිධ ආක‍්‍රමණ නිසාත්, දේශපාලන මතවාද හේතුවෙනුත් ආසියාව තුළ බෞද්ධ දර්ශනයේ තරමක පසුබෑමක් දක්නට ලැබුණි. නමුත් අද දේශපාලනික සහ ආර්ථික වශයෙන් ප‍්‍රධාන බලවේගයක් බවට ආසියාව ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේදී උතුම් බුද්ධාලම්භන ප‍්‍රීතිය උපදවාගෙන අඛණ්ඩ ශ‍්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අගනා පණිවුඩය ලබාදීමට මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉවහල් වනු ඇත.

scroll to top