දියකාවා යුධ අභ්‍යාසය 8 වන වරටත් පදවිය, මින්නේරිය, ත්‍රිකුණාමලය, වාකරේ, මඩකලපුව, අම්පාර, හම්බන්තොට ප්‍රදේශයේ දී ආරම්භ වේ

Army3-2.jpg

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුධ අභ්‍යාසය අදියර VIII – 2017’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සෙබළුන් 2675 සමගින් හා විදේශීය හමුදා සාමාජිකයින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත ආවරණය වන පරිදි සිදුකිරිමට සැලසුම් සකස්කර ඇති අතර, මෙම දැවැන්ත අභ්‍යාසය මෙහෙයවීම මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මුලස්ථානයේ සිට සැප්තැම්බර් 03 සිට 24 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

මෙම අභ්‍යාසය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් බහුතරයක් ඇතුලත්ව යාන්ත්‍රික, පාබල හමුදා සෙබළුන් 2108 ක් නාවික හමුදා සෙබළුන් 370 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 197 ක් සමගින් බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, ඉන්දුනිසීයාව, මලයාසියාව, චීනය, රුසියාව, ඇමරිකාව, බ්‍රසීලය, සූඩානය, ඉරාකය, ඊශ්‍රාලය, ඕමානය, තුර්කිය, ඉරානය හා කෙන්යාව යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සම්බන්ධ වීමට නියමිතව ඇත. අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත්, බ්‍රිගේඩියර් සුජිව සෙනරත් යාපා, බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කර්නල් චන්ද්‍රා ජයවීර, කර්නල් සුජීව හෙට්ටිආරච්චි සහ කර්නල් චන්දන වික්‍රමසිංහ ද කටයුතු කරති.

අටවන වරටත් පැවැත්වෙන මෙම දියකාවා යුධ අභ්‍යාසය මෙම වසරෙහි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ නව සංකල්පයකට අනුව අභ්‍යාස අධ්‍යක්ෂකගේ හා සැලසුම් කමිටුවක පුර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි. මෙම විශේෂ ක්‍රියාන්විත හමුදා අභ්‍යාසයෙහි අවසන් අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින යුධ, නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධව පැවැත්විමට නියමිත අතර, ඉන් අනතුරුව සැප්තැම්බර් 24 වන දින අභ්‍යාසයේ සමාප්තිය සිදුකෙරේ.

ශ්‍රී ලංකා හමුදාව 2009 වසරේ අවසන් කල ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු අභ්‍යාසය සිදුකරනු ලබන අතර, එය ආරක්ෂක සේනා මුලස්ථානය – වන්නි, ආරක්ෂක සේනා මුලස්ථානය – නැගෙනහිර සහ මුලතිව් යන ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රදේශ ආවරණය වන පරිදි මඩකලපුව, වාකරේ, ත්‍රිකුණාමල උතුර, තොප්පිගල ප්‍රදේශ ආවරණය කරමින් සිදුකෙරේ. එයට සමගාමීව මෙම අභ්‍යාසය නාවික සහ ගුවන් ක්‍රියාන්විත වලින් ද සමන්විත වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ හැකියාවක් සහ සෑම මට්ටමක සටන් සුදානම හා සංවිධානාත්මක ක්‍රමවේද පවත්වා ගැනිමේ අරමුණින් යුතුව නාවික හමුදා සහාය ඇතිව යාන්ත්‍රික පාබල හමුදා ක්‍රියාන්විත ද මෙම අභ්‍යාසයේ සිදුකරනු ලබයි.

මෙම අභ්‍යාසයේ අවසන් අදියරයේදී යුධ හමුදා භඨ පිරිස් සමග ඒකාබද්ධව නාවික සහ ගුවන් හමුදා විසින් සතුරු බලකොටු වෙත සෘජු ප්‍රහාර එල්ල කිරිම විදහා දැක්වෙන අභ්‍යාසයක් ද සිදු කිරිමට බලාපොරොත්තු වේ. යුධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබු මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබයි. විශේෂ හමුදා යුද උපක්‍රම සැලසුම් ක්‍රියාත්මක කිරිම් සහ අණදීම භාවිතා කරමින් ඕනෑම හදිසි අවස්ථාවකදි භඨ පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරිමේ පුහුණුව ඇති කිරිමේ අරමුණින් යුතුව මෙම අභ්‍යාසය සැලසුම් කර ඇත. එමෙන්ම මෙම අභ්‍යාසය සදහා නවතමයෙන් එක් කරනු ලැබු අංගයක් ලෙස සයිබර් ප්‍රහාර හා ඒ සදහා ගතයුතු යුධ වාතාවරණයන් හදුන්වා දිය හැක.
එමෙන්ම මුලික වශයෙන් සැලසුම් සකස් කිරිම, පුර්ව සුදානම, තාක්ෂණික භාවිතය, සමායෝජනය අණදිම, පාලනය, යුද්ධෝපාය ක්‍රම, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම ආදිය පිළිබදව ද මෙහිදි පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් අනතුරුව ශ්‍රි ලංකාව තුල නැවත එම තත්වයන් උද්ගතවීමට නොදි ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ජාතියේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකිරිමට ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඉවහල් වන බව යුද හමුදාපතිතුමාගේ අදහසයි. ඒකාබද්ධ නාවික මෙහෙයුම් අණ දෙන නිලධාරි කොමදෝරු යු. අයි සේරසිංහ සහ ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් ගෲප් කපිතන් වී.බි. එදිරිසිංහ මෙම අභ්‍යාසයේදි නාවික හමුදා සහ ගුවන් හමුදා භඨ පිරිස් සදහා අණ දීම සිදුකරනු ලබයි.

උපකල්පිත තත්වයන් මත පදනම්ව සහ පුහුණු අරමුණු සාක්ෂාත් කරගැනිම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වසරේ දියකාවා යුධ අභ්‍යාසයෙහි ක්ෂණික ප්‍රහාර, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනිම, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් සහ නිරික්ෂණය, නාවික සහ ගුවන් ඒකාබද්ධ අභ්‍යාස යාන්ත්‍රික පාබල භඨ පිරිස් වල සහ අනෙකුත් ඒකක වල සහභාගිත්වයෙන් යුතුව විවිධ සටන් ක්‍රම මෙන්ම ක්‍රමෝපායන් ද පුහුණුව හරහා ප්‍රගුණ කිරිමට නියමිතය.

මෙම අභ්‍යාසය විදේශ රටවල්වල හමුදාවන් හි විශේෂ ආකර්ශණයට ලක්ව ඇති අතර, එය ඔවුන්ගේ වාර්ෂික දින සැලසුම් සටහනේ එක් අංගයක් බවට පත්ව ඇත. මෙහි අවසන් අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වෙන අතර, පසුදින (සැප්. 24) මෙම යුධ අභ්‍යාසය සමාප්තිය සටහන් වනු ඇත.

scroll to top