දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කල ශෝක පණිවුඩය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ විශාරද, සංස්කෘත භාෂා චක්‍රවර්තී, ශ්‍රී සුමංගල විද්‍යාවංශ, දෛවීභාෂා විශාරද සංස්කෘත සාහිත්‍ය සරස්වතී, භාෂාන්තර විශාරද, ජින ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශුරී, ආචාර්ය අතිගෞරවාර්හ දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වු පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්විමි.

අප නායක ස්වාමීන් වහන්සේ පුරා වසර 89 ක පැවිදි දිවිය තුළ සසුනබර එකලු කල මහා තෙර නමක් බව ප්‍රකාශ කරන්නේ අති මහත් ගෞරවයෙනි. දේශීය මෙන්ම විදේශීය භික්‍ෂූන් වහන්සේලා අතර පරිපූර්ණ දැනුම් සම්භාරයකින් යුක්ත මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ උන්වහන්සේ සාමනේර වියේ සිටම සිංහල, පාලි, සංස්කෘත පොත පත නොපසුබස්නා උත්සාහයෙන් යුතුව හදාරමින් ලේඛන කාර්යයෙහි යෙදෙමින් සාසාන ඉතිහාසයටද සාහිත්‍ය වංශයටද මහා මෙහෙවරක් කල සේක.

උන්වහන්සේ වඩාත් ප්‍රකට වූයේ සංස්කෘත භාෂා විශාරදයෙකු ලෙසිනි. බුදුරජාණන් වහන්සේ මරගනන් පැරදවීම ගැන කියවෙන ” මාරංගනා විජයම් ” යන සංස්කෘත කාව්‍යද ” ධර්ම චින්තා “, ” වෛරාග්‍ය චින්තා “, ” ආශීර් පුෂ්ප මඤ්ජරී “, ” ශ්වානස්තව” කාව්‍යයන්ද ආදී වූ කෘතීන් රැසක් උන්වහන්සේ අතින් ලියවුණී. බෞද්ධ කාන්තාවන්ගේ අත් පොතක් බදු “යශෝධරා” කාව්‍යද උන්වහන්සේ අතින් ලියවුණු අගනා කාව්‍යකි. මීට අමතරව ” යතිදූතම් ” නමින් සංදේශ කාව්‍යයක් උන්වහන්සේ විසින් රචනා කරන ලද්දේ පෙර මහත් කිවිවරුන් කී මඟට එළඹෙමිනි.

මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් උසස් ලෙස අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ “ශ්‍යාමරාජ” ත්‍යාගය පවා හිමිකර ගැනීමට සමත් විය. විවේකී සෑම මොහොතකම කවි ගාථා, ශ්ලෝක ආදිය රචනා කිරීමේ හැකියාව අප මාහිමිපාණන් වහන්සේ සතුව පැවති විරල හැකියාවකි. කලක් උන්වහන්සේ තායිවානයේ ලිං සොං සහ චුංහුවා යන බෞද්ධ විශ්වවිද්‍යාලයන් හි සංස්කෘත සහ ථෙරවාදී සම්ප්‍රදායන් පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් මහත් සේවාවක් ඉටු කරන ලදී.

ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය තුළ සංඝ සාමග්‍රීය ඇති කරමින් ගිහි පැවිදි සැමට ආදර්ශ සම්පූර්ණ සාමිචිපටිපන්න ගුණයෙන් යුතුව සසුනඹර බබළවමින් විහාරස්ථාන හා භාවනා මධ්‍යස්ථාන ගණනාවක් ඇති කළ මෙවන් සුපේෂල ශික්‍ෂාකාමී විනයගරුක මහා ප්‍රාඥයන් වහන්සේනමක් සසුනට අහිමිවීම දැරිය නොහැකි ඉමහත් පාඩුවක් ලෙස මම දකිමි.

උන්වහන්සේ සෑම වසරකම දෙසැම්බර් 31 වන දා සිය ජන්ම දිනය සමරනු වස් විවිධ ආගමික වැඩසටහන් පාගොඩ විද්‍යාවිජය ආරාමය මුල් කොට ගනිමින් සිදු කළහ. උන්වහන්සේගේ අවසන් ජන්ම දින පිංකම 2016.12.31. වන දින පැවැත් වු අතර, ඊට පෙර උන්වහන්සේ මා හට පැවසුවේ “මොන රාජකාරී තිබුණත් මෙම පිංකම සඳහා නොවරදවාම සහභාගී වන ලෙසයි” වෙනදා වාගේම සතුටු සිතින් එදින පිංකමට සහභාගී වු මා හට අද දැනෙන්නේ මහත් සංවේගයකි.

ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ තීරණාත්මක යුගයේදී ද ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුවද එකසේ සම සිතින් මා හට අවවාද අනුශාසනා දෙමින් ඇසුරු කළ උන්වහන්සේගේ කාල්‍යාණ මිත්‍ර සම්පත්තිය මාගේ සදා ගෞරවයට ලක් වන්නේය.

පුරා වසර 102 ක් ආයු වළදා අපවත්වී වදාළ අතිගෞරවාර්හ දවුල්දෙන ඤාණිස්සර මහානායක මාහිමිපාණන්‍ වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ……. ! ප්‍රාර්ථනා කරන අතර, සංවේගයට පත් සමස්ත අමරපුර මහා සංඝ සභාවටත්, උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාටත්, විහාරස්ථ දායක සභාවලටත්, දේශීය හා විදේශීය දායක දායිකාවන්ටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුද කර සිටිමි.

scroll to top