ථෙරවාදී භික්‍ෂු කතිකාවත මහා සංඝරත්නයේ ඉල්ලීමක්: අග්‍රාමාත්‍යවරයා

PM-Rev.jpg

රජය ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්‍ෂු කතිකාවත මහා සංඝරත්නයේ ඉල්ලීමක් බවත් එම පනත අනුමත කරන්නට එපා යැයි මහනාහිමිවරුන් පැවසුවහොත් ඊට අනුකූලව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අරලියගහ මන්දිරයේදී තරුණ භික්‍ෂුන් වහන්සේලා සමග පැවැති හමුවේදී සදහන් කළේය.

සම්පූර්ණ කථාව පහත දැක්වේ.

තරුණ භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න පිළිබඳව අප සමග සාකච්ඡා කිරීම සඳහා මෙහි වැඩම කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ස්තුතිය පළ කරනවා. භික්‍ෂුන් වහන්සේලාට තිබූ ප්‍රශ්න පිළිබඳව මීට පෙරත් අප සාකච්ඡා කර තිබෙනවා. 2016 වසරේදී එම ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කරන බවට මා පොරොන්දුවක් ද ලබා දී තිබෙනවා.

තරුණ භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න කොටස් දෙකකට බෙදා හඳුනාගත හැකියි. ඇතැම් ප්‍රශ්න නිකායේ මහානා හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවලට විසදිය හැකියි. අනෙක් ප්‍රශ්නවලට ආණ්ඩුවක් ලෙස අප විසඳුම් ලබාදිය යුතුව තිබෙනවා. බුදු සසුන ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් තිබෙනවා. ඊට අමතරව සියලූ දෙනාටම තම ආගම නිදහසේ ඇදහීමට අයිතිය තිබෙනවා. එම ඇදහීමේ අයිතිය සදහා ඒ ඒ ආගම්වල පැවිදි පක්ෂයත් ඇතුලත් වෙනවා. ආගම්වල කටයුතු සදහා මැදිහත්වීමට රජයට නීත්‍යානුකඣල අයිතියක් නැහැ. සාමාන්‍ය කාරණාවලදී අපට පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරගත හැකියි.

බුද්ධ ශාසනය, කතෝලික, හින්දු, මුස්ලිම් ඇතුළු සියලූ ආගම්වල අභ්‍යන්තර වැඩකටයුතු සඳහා පාර්ලිමේන්තුවට මැදිහත්වීමට හැකියාවක් නැහැ. ඒ සඳහා මැදිහත්වීමට නම් එම ආගම්වලින් ඉල්ලීමක් ඉදිරිපත්වී තිබිය යුතුයි. අධිකරණමය කටයුතුවලදී සංඝයා වහන්සේලාට අවශ්‍ය නම් වෙනම අධිකරණයක් ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන සමයේ ව්‍යවස්ථාවෙන් අප කටයුතු කළා. සංඝයා වහන්සේලාගේ නඩු කටයුතු සාමාන්‍ය අධිකරණ කොමිසම මගින් විනිශ්චකාරවරුන් යොදා විසඳීමට අවශ්‍ය නැහැ. එම තීරණය ඇත්තේ ගරුතර මහ සංඝරත්නය යටතේයි.

අද අප ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්‍ෂු කතිකාවත මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව ගත් තීරණයක් බව කිව යුතුයි. මහනායක හිමිවරුන් අපෙන් කළ ඉල්ලීම පරිදි එම භික්‍ෂු පනත සම්මත කිරීම අපේ යුතුකමක්. එම පනත අනුමත කරන්නට එපා යැයි මහනාහිමිවරුන් පැවසුවහොත් අප ඊට අනුකඣලව කටයුතු කරනවා. මෙම කරුණේදී කැබිනට් මණ්ඩලයේ කාර්ය භාරය තැපැල් කරුවෙකුගේ කාර්යට සමානයි. බොහෝවිට මන්ත්‍රීවරුන් මේ පිළිබඳව තමන්ගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරනවා. මටත් ඒ ගැන පෞද්ගලික මතය පැවසිය හැකියි. නමුත් ක්‍රියාත්මක වන්නේ මහා සංඝරත්නයේ අදහසයි.

මෙම ථෙරවාදී භික්‍ෂු කතිකාවත ඇති කර තිබෙන්නේ ශාසනය වෙනුවෙනුයි. ථෙරවාදී භික්‍ෂු කතිකාවතක් නොමැතිව කාලයක් ගත වුණා. එවැනි කතිකාවතක් ගෙන එන අවස්ථාවේදී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදු විය හැකියි. ඒ ප්‍රශ්න විසදා ගත යුත්තේ මහනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභා සමග සාකච්ඡා කිරීමෙනුයි. තමන් සමග සාකච්ඡා කරනවාට කිසිම මහනායක හිමි නමක් විරුද්ධවේ යැයි මා සිතන්නේ නැහැ. මේ ආගමික කටයුතු ශාසනයට සීමා කර ගන්නැයි මා ඉල්ලා සිටිනවා. මෙම කරුණ සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේ හරි මතයක් ඉදිරිපත් නොකළහොත් ආණ්ඩුව අසීරුතාවයට පත් වනවා. ප්‍රශ්නවලට ආණ්ඩුවේ මැදිහත්වීම නිසා කාම්බෝජයේ බුදු සසුන සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒ නිසා අප එක මූලධර්මයක් අනුගමනය කළ යුතුයි. එය රාමුව තුළ වැඩ කරනවා නම් හැමදාම බුදු සසුන ආරක්‍ෂා වනවා. දේශපාලකයන් ඒවාට මැදිහත් වෙන්න ගියොත් විශාල ප්‍රශ්නයක් ඇති වේවි.

අපේ තරුණ භික්‍ෂුන් වහන්සේලාටත් මේ යුගයේදී විශාල ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදු වනවා. සංඝාධිකරණයක් උවමනා නම් අප එයත් ඇති කරමු. පාර්ලිමේන්තුවේදී එය සම්මත කරලා දෙන්නම්. සංඝාධිකරණයක් පැවතීම හොඳ බව මගේ පෞද්ගලික අදහසයි. එවිට භික්‍ෂුන් වහන්සේලාගේ කටයුතු සංඝාධිකරණය හරහා කළ හැකියි. එංගලන්තයේ නම් එංගලන්ත සභාවට වෙනම අධිකරණයක් තිබෙනවා. එකඟත්වයක් තිබේ නම් අපටත් සංඝාධිකරණයක් ඇති කිරීම ප්‍රශ්නයක් නොවේ.

විහාර හා දේවාලගම් පනතේ කරුණු කිහිපයක් පිළිබඳවත් අප සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩුවට ඇත්තේ විහාර හා දේවාලගම් පනතේ එක් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට පමණයි. අධිරාජ්‍යවාදී යුගයේදී දියවඩන නිලමේ ඇතුළු අනෙකුත් නිලමේවරුන් පත් කිරීමේ බලය රටේ මහත්තයලාට, දිසාවලාට, අධිකාරම්වරුන්ට බාරදී තිබුණා. දැන් ඔවුන් නැහැ. වර්තමානයේදී දිසා ලේකම්වරුන් මෙම කටයුතු සඳහා සම්බන්ධවීමට අවශ්‍ය නැහැ. සමහර දිසා ලේකම්වරුන්ට අදාළ ප්‍රදේශයේ පදිංචියවත් නැහැ. දියවඩන නිලමේවරුන් පත් කරන්න මට ඡන්දයක් නැහැ. නමුත් මා දිසා ලේකම්වරයෙකු වෙලා ගියොත් මට එම ඡන්ද බලය ලැබෙනවා. එවැනි බලයක් අවශ්‍ය වන්නේ නැහැ. අප ඉල්ලන්නෙත් නැහැ. එම නිසා ආණ්ඩුවේ නිල බලයෙන් පත් වන නිලධාරීන් දියවඩන නිලමේවරුන් ඇතුළු සෙසු නිලමේවරුන් පත් කිරීමේ කටයුතුවලින් ඉවත් කරන්නැයි ආණ්ඩුව යෝජනා කර තිබෙනවා.

විහාර දේවාලගම් පනතට ඇතුළත් විය යුතු සෙසු සංශෝධන මොනවා දැයි මහ සංඝරත්නය සහ නිලමේවරුන් සාකච්ඡා කර පැවසූ විට ඒ අනුව කටයුතු කළ හැකියි.

මේ ප්‍රශ්න හැරුණු කළ පිරිවෙන් අධ්‍යාපනය අද තිබෙන විශාල ප්‍රශ්නයක් බව කිව යුතුයි. පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි. පරිවෙනාධිපතිවරුන් පත් කරන්නේ ඒ ඒ පන්සල්වලිනුයි. අදාළ රෙගුලාසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවයි. පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටලූ පිළිබඳව භික්‍ෂුන් වහන්සේ විසින් අප දැනුම්වත් කළ පසුව පිරිවෙන් මණ්ඩලය සමග සාකච්ඡා කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට පවසන්නම්.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා පිටවන භික්‍ෂුන් වහන්සේලාගේ අනාගත පැවැත්ම පිළිබඳව ද අප කල්පනා කළ යුතුව තිබෙනවා. සමහර හිමිවරුන්ට ගුරු පත්වීම් ලැබෙනවා. සෙසු රැකියා අවස්ථා පිළිබඳවත් අප සාකච්ඡා කර තීරණය කරමු. ඉගෙනුම ලබන භික්‍ෂුන් වහන්සේලා මෙන්ම සෙසු ශිෂ්‍යයන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අප මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කළා. අප නව යුගයකට ගමන් කළ යුතුව තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනයත් නවීකරණය විය යුතුයි. ඉතා දුප්පත් ඈත ගම්දනව්වල සංඝයා වහන්සේලා සිටිනවා. එම භික්‍ෂුන් වහන්සේලාගේ මව්පියන් සඳහා නිවාස අවශ්‍ය නම් ඒවා ලබාදීමේ වැඩ පිළිවෙළක් සකසන්නැයි නිවාස හා ඉදිකරීම් අමාත්‍ය සජිත් පේ‍ර්මදාස මහතා සමග සාකච්ඡා කරන්න. ඔහු ඊට සම්පූර්ණ සහයෝගය ලබාදේවි. එම වැඩ පිළිවෙළ පිළිබඳව මෙවර වෙසක් උළෙල පැවැත්වෙන තිස්ස මහාරාමයේදීම සජිත් පේ‍ර්මදාස ඇමැතිතුමාට ප්‍රකාශයක් කිරීමට හැකියාව තිබෙනවා.

දහම් පාසල් සංවර්ධනය කිරීම පිළිබඳවත් අප විවිධ ආගම් සමග සාකච්ඡා කරනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග එකතු වී මෙරට උරුමය ආරක්‍ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතුව තිබෙනවා. පන්සල්වල පමණක් නොවේ. ගම්දනව්වල ජනශ්‍රති, ජන කවි, ජන කතා, ආහාර විධි ක්‍රම තව වසර 20 කින් පමණ සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ අවධානමකට ලක්වී තිබෙනවා. ගමේ පන්සල මූලික එම ගැමි සංස්කෘතිය රැක ගන්නේ කෙසේ දැයි අප වැඩ පිළිවෙළක් සකසනවා. එමෙන්ම පැරණි පන්සල්වල සුරැකී ඇති කලා කෘති අප රැක ගත යුතුය. භික්‍ෂුන් වහන්සේලා මාර්ගයෙන් පන්සල්වල තිබෙන කලා කෘතීන් පිළිබඳව භික්‍ෂුන් වහන්සේලා මගින් අපට ලැයිස්තුවක් සකසන්නට හැකියාව ලැබේවි. එමෙන්ම ගම්දනව් පන්සල්වල සුරැකී තිබෙන පුරාවස්තු, නිදන් ආදිය පිළිබඳවත් ලැයිතුවක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙවැනි දේ අප රැක ගත යුතුයි.

ග්‍රාමරාජ්‍ය කේන්ද්‍ර ඇති කිරීමේදී ගම දියුණු කිරීමට භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳවත් අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ගමේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේලාට විශාල වැඩ පිළිවෙළක් ගෙන යාමට හැකියාව තිබෙනවා. රජයක් ලෙස අපත් ඊට උපකාර කරන්නම්. එමෙන්ම තිරසාර සංවර්ධනයේදී පරිසරය ද ආරක්‍ෂා කර ගත යුතුයි. එමෙන්ම බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මෙරට ජාතික සංහි¼දියාව ඇති කර ගත යුතුව තිබෙනවා.

ථෙරවාදී බුදුදහම ලෝකයට ව්‍යාප්ත වුණේ ලංකාවෙන්. ලංකාව ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ සඳහා සම්පූර්ණ ආධාර ලබාදීමට රජය සූදානම්. භික්‍ෂුන් වහන්සේලා සඳහා විදේශ භාෂා දැනුම ලබාදීමට ජාතික සංවාද අමාත්‍යංශය සමග සාකච්ඡා කොට වැඩ පිළිවෙළක් සැකසීමේ හැකියාව තිබෙනවා. අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේ දැන් විශාල වශයෙන් බුදු දහම ව්‍යාප්ත වෙමින් පවතිනවා. හින්දි, ද්‍රවිඩ, ඉංග්‍රිසි භාෂා දන්නවා නම් විදේශවල බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකියාව තිබෙනවා.

විශේෂයෙන් යුරෝපා රටවල බුදු දහම ව්‍යාප්ත කිරීමේදී එම පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගෙන කටයුතු කළ යුතුයි. බොහෝ විදේශවල බෞද්ධ මධ්‍යස්ථාන හරියාකාරව පවත්වා ගෙන යන්නේ නැහැ. යම් නිකායක් මැදිහත්වී විදේශ බෞද්ධ ආයතනත් පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙළක් සැකසිය යුතු බව මා මහනායක හිමිවරුන්ට යෝජනා කළා. මෙම ආගමික සිද්ධස්ථාන දියුණු කිරීමට අප සූදානම්.

තරුණ භික්‍ෂුන් වහන්සේලා මුල්කරගෙන කමිටුවක් පත් කොට තරුණ සේවා සභාවේ සභාපතිතුමා ද එක්කර ගෙන වැඩ කටයුතු කරගෙන යන ලෙස මා ඉල්ලා සිටිනවා. තරුණ භික්‍ෂුන් වහන්සේලාට අනාගතයට සාර්ථකව මුහුණදිය හැකි වැඩ පිළිවෙළක් සැකසීම රජයේ මූලික අරමුණයි.

නගරයේ සිටින භික්‍ෂුන් වහන්සේලාට වඩා ගම්දනව්වල සිටින භික්‍ෂුන් වහන්සේලාට ප්‍රශ්න ඇති විය හැකියි. ග්‍රාමීය ආර්ථිකය කඩාවැටීම මීට හේතුවයි. ගම්දනව්වල ජනතාවගේ දියුණුව සඳහා ප්‍රවීණ කෘෂිකාර්මික අදහස් ලබා දිය යුතුව තිබෙනවා.

scroll to top