තේ බොන්න එන්නැයි ජනපති චැනල් 04 ට කියයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වී පිටව යනවිට බ්‍රිතාන්‍ය චැනල් 04 නාලිකාවේ මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයා ලුහු බැඳ යමින් ප්‍රශ්න වැලක් ඇසීය.

එම මාධ්‍යවේදියාට අතට අත දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන ගමන්ම එම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී, මාධ්‍යවේදියා මුලින්ම පැවසුවේ තමන් බ්‍රිතාන්‍යය චැනල් 04 නාලිකාව නියෝජනය කරන බවත් එල්ලවී තිබෙන යුධ අපරාධ චෝදනා පිළිබඳව කුමන ආකාරයේ සැලකිල්ලක් දක්වනවාද කියායි.

එයට පිළිතුරු දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එම චෝදනා පිළිබඳව තමන් සැලකිල්ලක් නොදක්වන බවයි.

මෙහිදී, චැනල් 04 නාලිකාව නියෝජනය කරන ජොනතන් මිලර් නම් එම මාධ්‍යවේදියා විමසා සිටියේ ජනාධිපතිවරයා මුණ ගැසිය හැකිද කියායි. සිය කළු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයට ගොඩ වෙමින් ජනාධිපතිවරයා එම පැනයට මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

“ඇයි බැරි ? අපි තේ පානය සඳහා මුණ ගැසෙමු.“ “අපි නැවත මුණ ගැසෙමු.“

මුණ ගැසීමට ලබාදුන් එම සහතිකය පිළිබඳව මාධ්‍යවේදියා ජනාධිපතිවරයාට ස්තූතිය පුද කළේය.

ඉන් අනතුරුව චැනල් 04 මාධ්‍යවේදියා විමසා සිටියේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට නොපැමිණීම පිළිබඳව දරන ස්ථාවරය පිළිබඳවයි.

ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

scroll to top