තාක්ෂණික අතින් දියුණු අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුමත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුව අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,පසුගිය දිනවල විවිධ මාධ්‍ය මගින් පුත්තලම අරුවක්කාලූවේ පිහිටුවන්න යන තාක්ෂණික අතින් දියුණු, සනීපාරක්‍ෂක කසළ රඳවනය පිළිබඳව විවිධ අදහස් හා මාතෘකා පලවුණා. පුත්තලමේ ජනතාව කොළඹ කුණු පුත්තලමට ගේනවට විරුද්ධයි, පරිසර වාර්තා ආදියෙන් පළවෙලා තිබුණා මේ මගින් විල්පත්තු අභය භූමියට හානි සිදුවනවා, කසළ දුම්රියවලට පැටවීමට නියමිත කැලණිය වනවාසල ප‍්‍රදේශයේ ජනතාව මෙයට එරෙහි වෙනවා, මුදල් අමාත්‍යාංශය මගින් කසළ කළමනාකරණයට මුදල් ලබාදුන්නා ඒවා පාවිච්චි කළේ නැහැ කියා චෝදනා ඒ මගින් එල්ල වී තිබුණා. කවුරුත් දන්නවා කසළ පිළිබඳව තිබෙන ගැටළුව. කොළඹ නගරයේ අද ආසන්න වශයෙන් කසළ ටොන් 700 ක් පමණ ජනනය වනවා. දෙහිවල – ගල්කිස්ස, මොරටුව, මහරගම, කඩුවෙල, වත්තල අවට ප‍්‍රදේශවල කසළත් එකතු උනාම මෙම ප‍්‍රමාණය 1500 ක් පමණ වෙනවා. මෙම කසළ දිනපතා විධිමත්ව බැහැර කිරීමට ස්ථාන නොමැති නිසා කාලයක් බ්ලූමෙන්ඩල්වල, මීතොටමුල්ලේ දැනට කරදියාන ආදී ප‍්‍රදේශවල මේ කසළ බැහැර කිරීම නිසා විශාල ගැටළු මතු උනා.

මේ සඳහා විවිධ උත්සාහයන් 1997 දී ලෝක බැංකුවේ ආධාර මතත්, මෙන්ම 2007 කොරියානු ආධාර යටතේත් මීපේ ප‍්‍රදේශයේ දී සිදු කරන්න ගියත් විවිධ දේශපාලන හා ජනතා විරෝධතා නිසා එය කරන්න බැරිව ගියා. නමුත් දොම්පේ ප‍්‍රදේශයේ කොරියානු ආධාර යටතේ කසළ රඳවනයක් ඉදිකළා.

අරුවක්කාලූ කසළ රඳවනය පිළිබඳව මුලින්ම තීරණය ගෙන ඇත්තේ පසුගිය රජයේ නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් 2014 අගෝස්තු මාසයේ 1 වෙනිදා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම 2015 අයවැයට මේ වෙනුවෙන් මිලියන 14 ක් පමණ වෙන් කරන ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය 2014.09.05 වෙනිදා අනුමැතිය ලැබී තිබෙනවා. අනතුරුව මේ පිළිබඳව ඩෝහා ඉංජිනියරින් කොම්පැනි කියන කොරියානු සමාගමට මේ සඳහා කසළ ප‍්‍රවාහනය සහ රඳවනය ඉදිකිරීම පිළිබඳ උපදේශක සේවාවන් ලබාදෙන ලෙස කොන්ත‍්‍රාත්තුවක් 2013 සිට 2015 දක්වා ලබා දී තිබෙනවා.

පරිසර ඇගයීමක් කරන ලෙස 2015.07.29 වෙනිදා නව රජය පත්විමත් සමග වනජීවි දෙපාර්තමේන්තුව හරහා කටයුතු යොදා තිබෙනවා. ආරම්භයේදීම වනජීවි දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබෙනවා, හේතුව ගඟේවාඩිය කියන ප‍්‍රදේශය විල්පත්තු ජාතික උද්‍යානයේ සිට සැතපුමක් පමණ වන ස්වාරක්‍ෂක කලාපයේ තිබීම හේතුවෙන් මේ සම්බන්ධව මූලික විරෝධතාවයක් පළ කර තිබෙනවා. ඊ ළඟට එම අමාත්‍යාංශය මගින් දැනුම් දී තිබෙනවා අප අමාත්‍යාංශයට 2015.08.03 වන දින දැනුම් දී තිබෙනවා වහාම මෙම ව්‍යාපෘති ස්ථානය වෙනස් කරන ලෙස. මෙහි නීතිමය තත්වය නම් ස්වාරක්‍ෂක කලාපය වූ පමණින් සංවර්ධන කි‍්‍රයා කරන්න බැහැ කියා දෙයක් නැහැ. වනජීවි අධ්‍යක්‍ෂක තුමා ඒ සඳහා අනුමැතිය ලබාදෙනවා නම්. පරිසර ශඛ්‍යතා අධ්‍යනය සඳහා ඊ.එමි.එල්. ආයතනයට ලබාදී තිබෙනවා. ඒගොල්ලෝ එය මධ්‍යම පරිසර අධිකාරියට ලබාදී තිබෙනවා ඒ සම්බන්ධයෙන් 2015.08.19 දින. මෙය නොයෙක් දෙනා අතර සාකච්ඡා සිදුකර අවසානයේ 2016.01.12 වෙනිදා වනජීවි දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබෙනවා මෙහි සනීපාරක්‍ෂක කසළ රඳවනයක් ඉදිකිරීමට කිසිම ආකාරයකින් අවසර දෙන්න බැරි බව. ඒ අනුව එම ව්‍යාපෘතිය එතනින් අවසන් උනා. කවුරුහරි පවසනවා නම් අමාත්‍යාංශවල අකාර්යක්‍ෂම භාවය නිසා මුදල් වියදම් කිරීම බැරිවෙලා තිබෙන්නේ කියා එය අමූලික බොරුවක්. මොකද මෙම ව්‍යාපෘතිය රජය ආරම්භ කළා. එයට රජය වියදම් කරන්න කැබිනට් මණ්ඩලය පොරොන්දු උනා 2014. නමුත් ව්‍යාපෘති ස්ථානය එවැනි ව්‍යාපෘතියකට සුදුසු නැති බව වනජීවි දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශ කළ නිසා පරිසර ශඛ්‍යතා අධ්‍යනය අසමත් උනා. ඒ බව අපට දැනුම් දී තිබෙන්නේ 2016.01.26 වෙනිදා. මේ සඳහා අනුමැතිය ලැබුණා නම් එම ව්‍යාපෘතිය කිරීමට අප බලාපොරොත්තු උනේ. නමුත් අනුමැති නොලැබූ නිසා එය සිදුකිරීමට නොහැකි වුණේ. ඒ නිසා තමයි මේ මුදල් වියදම් වෙලා නැත්තේ.

ඒ අනුව අපි ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගැනීම සඳහා වනජීවි ක්‍ෂෙත‍්‍රයේ විශේෂඥයොත්, ඒ අවස්ථාවේ ජයවික‍්‍රම පෙරේරා ඇමතිතුමා වනජීවි ඇමතිතුමා ලෙස හිටියේ, ජෝන් අමරතුංග ඇමතිතුමා, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, සහ ඒ අදාල පරිසරවේදීන් සියලූ දෙනාම එහි කරපු සංචාරයකින් පස්සෙ අපි ඒ ස්ථානය වෙනස් කරන්න තීරණය කළා 2016.03.17 වැනිදා. ඊට පස්සෙ මේ අලූත් ස්ථානය ඒ කියන්නේ ගඟේවාඩිය ස්ථානය වෙනුවට මේ අරුවක්කාලූ ස්ථානයේ කටයුතු යොදන්න කියලා දැන් සූදානම් කරගත්තා 2016. ඒ කටයුතු සූදානම් කරගෙන යනකොට තව ප‍්‍රශ්නයක් පැන නැග්ගා. ඒ තමයි මේ කෝච්චිවලට කසල පටවන්න හිටියේ මීතොටමුල්ලෙ. නමුත් මීතොටමුල්ල තවදුරටත් එවැනි දේකට සුදුසු නෑ. ඉඩකඩක් එතැන නෑ කියලා තේරුණා මුලූ ඉඩමෙම කුණු දාල තිබුණා. ඒක ඉවත් කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැග්ගා. ඒ වෙනුවට මීතොටමුල්ල වෙනුවට සුදුසු ස්ථානයක් සොයාගන්නත් ඕන වුණා. ඒ පිළිබඳ තීරණය අපි අරගෙන ඒ සඳහා කටයුතු කළා. කෙසේ වෙතත් මේ අමාත්‍යාංශයට අලූත් ස්ථානයක අලූත් ව්‍යාපෘතියක් හැටියට මේ කටයුත්ත කරන්න වගකීම පැවරුණේ 2017.04.24 වැනිදා අපි ඉදිරිපත් කරපු කැබිනට් පත‍්‍රිකාව මගින්. ඒ කැබිනට් පත‍්‍රිකාව මගින් අපි ඉල්ලා සිටියා අරුවක්කාලූ ප‍්‍රදේශයේ සනීපාරක්‍ෂක කසල රඳවනය. ඒ වගේම ඒ වෙනකොට මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා තිබුණේ. ඒක පුනරුත්ථාපනය කිරීම, ඒ වගේම කෙටි කාලීන විසඳුමක් කොළඹ ප‍්‍රදේශයට ලබා දීම සහ කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති පිළිබඳව තත්ත්වය. මේ සියල්ල එක්ක තමයි අපි ගියේ. දැන් අපි කොතැනද ඉන්නේ? ඇත්තටම සමාන්තරව පරිසර අධ්‍යයනයක් කරල නෑ කියලා සමහරු බොරු ප‍්‍රචාර කරනවා. පැහැදිලි පරිසර අධ්‍යයනයක්, ඊඅයිඒ එකක්. පරිසර බලපෑම් අධ්‍යයනයක් අපි මේ සඳහා සිදුකලා මධ්‍යම පරිසර අධිකාරියයි, එම පලාතේ පරිසර අධිකාරියයි දෙකම එකට එකතු වෙලා. ඊට සමාන්තරව අපි මේ ව්‍යපෘතිය දියත් කිරීම සඳහා ඉංජිනේරුමය වශයෙන් කෙරෙන සැළසුම් අවසන් කර තිබෙනවා.

ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ටෙන්ඩර් කැඳවීමක් කලා 2017 හත්වැනි මාසයේ 9 වැනිදා. ඇත්තටම පරිසර අධ්‍යයනය යනකොට සමාන්තරව අපි මේ ටෙන්ඩර් කැඳවීමක් කලා. ඒක කිසිම අවස්ථාවක මෙතරම් වේගයකින් වැඩ කරලා නෑ. මොකද හතර වැනි මාසෙ මේක දීලා හත්වැනි මාසය වන විට අපි මාස තුනක් ඇතුලත මෙය කැඳවලා තියෙනවා. ඊළඟට අපිට මේ 8 වැනි මාසයේ 11 වැනිදා වන විට පරිසර අධ්‍යයන වාර්තාවක් පරිසර අධිකාරියට භාරදුන්නා. දැන් මධ්‍යම පරිසර අධිකාරිය එය මහජනයාට විවෘත කළා. මහජනයාට විවෘත කර මහජන අදහසුත් ලබා ගෙන ඒවත් අප වෙත දැනුම් දීල ඒ සම්බන්ධයෙන් වුණු ප‍්‍රතිචාරත් අප වෙත දැනුම් දීලා දැන් අපට මේ මාසයේ මැද වන කොට පරිසර අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ අනුමැතිය ලැබෙනවාද අනුමැතිය ලැබෙන්නේ කවර කොන්දේසි යටතේ ද කියලා අපට ලැබෙයි. ඒ අතරේ අපි ටෙන්ඩර් කැඳවලා ඒ සඳහා තරඟ වැදීමට 7 දෙනෙක් ඉදිරිපත් වුණා ජාත්‍යන්තර සමාගම්. ඒ හත්දෙනා අතුරින් අපි එක්කෙනෙක් තෝරලා තියෙනවා. දැන් ඒකත් ඒ ටෙන්ඩර් පටිපාටිය අනුව එයින් සමත් වුණු කෙනෙක් ඉන්නවා. ඒකෙන් අසමත් වෙච්ච අය ඒකට එරෙහිව ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට පැමිණිලි කර තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයෙත් තීරණය අපට ලැබෙයි. ඊට පස්සෙ අපි ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා මේ පිළිබඳ වැඩකටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි මේ සම්බන්ධයෙන් වුණු දැනුවත් කිරීමේ කටයුතු මොකද අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොටම කිව්වා මේ කසල කියන එක අපේ අමාත්‍යාංශයට අයිති වැඩක් නෙවෙයි. මේක අයිති පළාත් පාලන ආයතනවලට, පලාත් සභාවලට හා පලාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට. අපි මෙතැනදී කරන්නේ ඉංජිනේරුමය කාරයයයක් පමණයි. ඒ කාර්යය අපි කරනවා. නමුත් කවුරුත් මේක තීරණය කරලා අවසාන වශයෙන් ජූලි මාසයේ අගභාගයේ ජනාධිපතිතුමා ලිඛිතව මට භාර දුන්නා.

ඒ අනුව අපි වහාම පටන් ගත්තා දැනුවත් කිරීමේ කටයුතු. පළමුවෙන්ම අපි පුත්තලමේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට 2017.06.26 වෙනිදා ගියා. මේ පිළිබඳව කතෝලික පියතුමන්ලාගේ විශාල ගැටළුවක් පැන නැගී තිබීම නිසා මැල්කම් රංජිත් කාදිනල් පියතුමන්ගේ මූලිකත්වයෙන් කොළඹදී සියලූම පියතුමන්ලාව දැනුවත් කිරීමට කටයුතු කළා 2017.07.10 වෙනිදා සිට සියළුම රාජ්‍ය නොවන සංවිධාන, පොදුවේ සියළුම මාධ්‍ය ආයතන, මුස්ලිමි ආගමික නායකයින්, කතෝලික බිෂොප් වහන්සේලා, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, මුලූ දිස්ත‍්‍රික්කයේ ම රාජ්‍ය නිලධාරීන්, ප‍්‍රාදේශීය ලේකම් මට්ටමින් සිදුකළ යුතු දේවල්, කැළනියේ, වනාතවිල්ලූවේ දේශපාලන අධිකාරිය සහ සියළුම දෙනාමත්, ගම්පහා දිස්ත‍්‍රික් කමිටුවත් 2017.11.04 දක්වා කාලය තුළ දොලොස් වතාවක් දැනුවත් කිරීම් සිදු කරනු ලැබුවා.

මේ හැම එකකින්ම අදහස් යෝජනා ලබාගනු ලැබුවා. ඒවාත් සමග තමයි මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. අප පෙන්වා දිය යුතුයි මෙය අපට පවරා දී තිබෙන අනුන්ගේ රාජකාරියක්. නමුත් එය ජාතික කාර්යභාරයක් හැටියට අපි ලබාගෙන තිබෙනවා. මේ වතාවෙත් මේ සඳහා විරෝධතා වෙනුවට හොඳ විවේචන ඉදිරිපත් කර මේ කටයුත්ත සාර්ථක කරන්න උදව් කරන ලෙස සියළුම දේශපාලන පක්ෂවලින් ඇතුළු සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් ලබන වසරේදී මේ වසරේදී ඇතිවූවාටත් වඩා බරපතල කසල අර්බුදයක් ඇතිවීමට ඉඩ තිබෙනවා යයි පැවසීය.

scroll to top