තවදුරටත් අන්තවාදයට ඉඩක් නැහැ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට හිස එසවීමට තවදුරටත් ඉඩ නොදෙන බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස තෙවැනි දිනයට විවෘත කරමිනි.

“මේ නත්තල් ගස නිර්මාණය කරන්න සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, කතෝලික සහ මුස්ලිම් සහෝදරවරුන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. අපේ ආණ්ඩුව ගෙනයන ජාතික සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක් තමයි මේ. ඒ හැරෙන්නට අපේ රටේ වෙන ගමනක් දැන් නැහැ. බෞද්ධ උත්සව අවස්ථාවේදී අපි උදව් කරනවා, මුස්ලිම්, හින්දු සහෝදරවරුන්ට අපි උදව් කරනවා. මේක තමයි අපිට අවශ්‍ය. මේ රටේ ජාතිවාද නැහැ, අන්තවාද නැහැ. ත්‍ර‍ස්තවාද නැහැ, බෙදුම්වාද නැහැ. ඒ සියල්ලම අපි පසුගිය ජනවාරි 08 වැනිදා අතුගාලා දැම්මා. තවත් ඒ දෙවල්වලට ඔළුව උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. මනෝ ගනේෂන්ලා, අර්ජුන රණතුංගලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍ර‍සිංහ අගමැතිතුමා සමග අත්වැල් බැඳගෙන ඉන්නේ ඒ සඳහායි. උතුරෙත්, දකුණෙත් කිසිම තැනක අන්තවාදට ඉඩක් නැහැ, ජාතිවාදට බෙදුම්වාදට ත්‍ර‍ස්තවාදට ඉඩක් නැහැ. අපි දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා පළමුව අපි ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතුයි. ඒක අමතක කරන්න එපා. බලන්න අද මෙතන කොච්චර ලස්සනද ? සිංහල, දෙමළ, කතෝලික, මුස්ලිම්, සියලුම දෙනා රැස්වෙලා අද මේ කතෝලික උත්සවය සමරනවා. මේක අපේ සිහිනය. මේක අපේ බලාපොරොත්තුව. මේ රටේ කොතනකවත් එකම ජාතියකට, එකම භාෂාවකට, එකම ආගමකට අයිතිවෙච්ච තැනක් නැහැ. සියලුදෙනාට මේ රට අයිතියි.  සියලුදෙනාම  මේ රටේ රජ්ජුරුවෝ……” යැයිද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. ගරු සංචාරක, ඉඩම් සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා කියා සිටියේ ලොව විශාලතම නත්තල් ගස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අගනා නිර්මාණයක් වන බවයි.

“මේ වසරේ තමයි ලොකුම සංචාරකයින් ප්‍රමාණයක් ලංකාවට ආවේ. අපි දැන් මිලියන 2.2 පසුකරමින් සිටිනවා. එන සංචාරකයින්ට බලන්න දේවල් තියෙන්නෙ ඕන. අද බැලුවොත් අපේ නගරය කවදාවත් නොදුටු විදියට සරසලා තියෙනවා. අද ගොල්ෆේස් පිටිය ජනතාවගෙන් පිරිලා ඉතිරිලා. ජනතාව මේ දේවල් දකින්න කැමතියි. පසුගිය කාලයේ අපේ රටේ මෙවැනි නිර්මාණ හිඟයක් තිබුණා. නමුත් දක්ෂතා ඇති නිර්මාණකරුවන්ට ඒ අවස්ථාව ඇති කරලා දෙන්න මෙම රජයට හැකිවෙලා තිබෙනවා. ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් පසුව වැඩි ප්‍රසිද්ධියක් ලබාදෙන්න හැකි වුණේ අර්ජුන රණතුංග මැතිතුමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණය තුළින්. අපි ඒ නිසා එතුමන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රශංසා කරනවා මේ කාර්යයට මුල්වෙලා, විවිධ අභියෝගවලට මුහුණ දෙමින් පසු බසින්නේ නැතිව තමන් භාරගත් දේ, කරන්න හිතපුදේ, අවසාන කිරීම පිළිබ‍‍‍‍ඳව විශේෂයෙන්ම ක්‍රිස්තියානි කටයුතු ඇමතිවරයා ලෙසත්, සංචාරක කටයුතු ඇමතිවරයා ලෙසත් මම සතුටු වෙනවා. අපිට පෙනෙනවා අද රට සංවර්ධනය වන  ආකාරය. වරාය නගරය ඉදිකරමින් පවතිනවා, මෙය ඉදිකර අවසන් වූ පසුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ලොකුම වෙළඳ මධ්‍යස්ථානයක් වගේම මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. අපේ රටේ උසින් වැඩිම හෝටල් පෙනෙනවා. සංවර්ධනය කියන්නේ මේ දේවල් තමයි. අද මේ රටේ මෙම සංවර්ධන කාර්යයන්වලට විරුද්ධව කෑගහන පිරිසක් සිටිනවා. එය ස්වභාවිකයි, විපක්ෂයේ තිබෙන කාර්යය කෑගහන එක සහ කඩාකප්පල් කරන එක. හම්බන්තොට වරාය දියුණු කරන එකටත් විරුද්ධව පිරිසක් කෑගහනවා. කොතරම් කෑගැහුවත් ආණ්ඩුව වට්ටන්නත් බැහැ, මේ ආණ්ඩුව වසර 05ම තිබෙනවා…..” යනුවෙන්ද අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා පැවසීය. මේ අවස්ථාව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර‍ මහතාද සහභාගි විය.