ඩෙංගු මර්ධන කිරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹේ

Army-2.jpg

යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලට අමතරව තවත් වැඩසටහනක් කොළඹ 13 පිහිටි සුගතදාස ක්‍රීඩාංගණය අසල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සඳුදා (01) දින ආරම්භ විය. මෙම වැඩපිළිවෙල කොළඹ අවට ඇති ඩෙංගු උවදුරට තදින්ම ලක්වු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පුරා සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

යුද්ධ හමුදා සාමාජිකයන් 200 ක්, පොලිස් සාමාජිකයන් 25 ක් සහ මහජන සෞඛ්‍ය පරීකෂකවරු 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 25 ක් විසින් පළමුව ඩෙංගු අවධානමෙන් පීඩාවට පත් මට්ටක්කුලිය ප්‍රදේශයේ මඳුරුවන් බෝවන ස්ථාන හදුනාගැනීම සහ මර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන ලදී.

එම කණ්ඩායම් 25 ඩෙංගු අවධානමෙන් පීඩාවට පත් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් වල වෙන් වෙන් වශයෙන් ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් අවධානම් ස්ථාන සොයා බලා විනාශ කර දැමීමට කටයුතු කිරීමට නියමිතය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ සම්බන්ධීකරණයෙන් මෙම නව වැඩපිළිවෙල සෙනසුරාදා (08) දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහ කොළඹ මහ නගර සභාවේ නියෝජිතයින් සමඟින් සෙනසුරාදා (01) දින උදෑසන 7.00 ට පමණ මෙම වැඩපිළිවෙල ආරම්භ විය.

scroll to top