ජාති, ආගම්වලට එකිනෙකා කුළල් කෑම අවසන් කරන තුරු මේ රට ගොඩනගන්න බෑ – අමාත්‍ය මංගල සමරවීර

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා 2017 ඔක්තෝබර් මස 31 වන දින පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය.

මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා තමන්ගෙ කතාව මුල දී අහනව ඇහුණ රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය ද කියල. ඇත්ත වශයෙන් ම අද රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය ද කියල අහන මේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ම තමයි 1995 සුදු නෙළුම් ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට නාලන්ද එල්ලාවල මන්ත්‍රීතුමන්ල එක්ක ඩිලාන් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමන්ල එක්ක ගමින් ගමට ගියා රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියල. ඇත්ත වශයෙන් ම නිකන්ම ව්‍යවස්ථාවක් නෙවෙයි මම හිතන හැටියට මේ තියෙන ව්‍යවස්ථා කෙටුම්පතටත් වඩා ඉතාම ප්‍රගතශීලි ව්‍යවස්ථාවක්. මෙතුමා ගමින්ගමට ගියේ ඒකීය කියන වචනෙත් අයින් කරල අපි එක්සත් කියන වචනෙත් දාපු ව්‍යවස්ථාවක් වෙනුවෙන්. එතුමා ගමින් ගමට ගියේ පොලිස් බලතල දෙන්න කියන ව්‍යවස්ථාවක් ඉඩම් බලතල දෙන්න කියන ව්‍යවස්ථාවක් අරගෙන.

ඔබතුමා අවුරුද් 20ක් ලස්සන වචනවලින් විතරක් දේශපාලනය කරල තියෙනවා. හැබැයි කරුණා කරල මේ යුගයේ දැවෙන ප්‍රශ්නයේ දී ලස්සන වචන ටිකක් දාල පැනල යන්න එපයි කියල මම ඔබතුමාගෙන් ඉල්ලනවා.

“කුමන ආකාරයකින් බැලුවත් ශ්‍රී ලංකාවේ ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නය හැටියට තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයයි. ඇතැම් අයගේ අදහස අනුව ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ. මනඃකල්පිතව සිතින් මවාගත් ප්‍රශ්නයක් විසඳීමට ගැටලුවක් නැති තැනක ගැටලුවක් ඇති කොට කෘතිම වශයෙන් තමන්ගේ සිතින් ඇතිකරන ලද ගැටළුවක් සමථයකට පත් කිරීම මේ ප්‍රයත්නයේ අරමුණ වී ඇත්තේය යන්න ඔවුන්ගේ අදහස වී තිබෙනවා. එහෙත් යම් තරමක හෝ බුද්ධියක් තිබෙන, යථාර්තය අවබෝධ කර ගැනීමට අවම ශක්තියක් හෝ තිබෙන කිසිම පුද්ගලයෙකුට විශ්වාස කරන්න පුළුවන්ද ජනවාර්ගික ප්‍රශ්නයක් අද රටේ නෑ කියලා.” මේ මම නෙවෙයි කියන්නෙ. මේ මගේ කතාවෙ කොටසක් නෙවෙයි. මේ කියන්නෙ 1995 දී සුදු නෙළුම් ව්‍යාපාරයේ ආරම්භක රැස්වීමට ආපු අපේ ජී.එල්. පීරිස් ඇමැතිතුමා. එතුමා තවදුරටත් කියනවා මෙහෙම.

“අපේ රටේ එක දේශපාලන පක්ෂයක් නොව සියලුම දේශපාලන පක්ෂ, සියලුම දේශපාලන නායකයින් කිසිම පැකිළීමකින් හා සැකයකින් තොරව පිළිඅරගෙන තියෙනවා ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති බවත්, එයට පිළියමක් අවශ්‍ය බවත්, සියළුම දේශපාලන පක්ෂ ඒ පිළිබඳ ස්ථාවර අදහසක් ප්‍රකාශ කරලා තිබෙනවා.”

අද ජී.එල්. පීරිස් මැතිතුමා කියන්නෙ මුළු රටම ආපස්සට අදින නොපිපෙන පොහොට්ටුවක් හැටියට තියා ගන්න දගලන මේ අලුත් කල්ලියක නායකයෙක්. මෙතුමා කාලෙන් කාලෙට පිල් මාරු කරකර පක්ෂෙන් පක්ෂෙට ගියත් මේ කියපු අදහස අදටත් වලංගු බව කියන්න ඕනෙ. ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න සියඵම ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් වගේ මේ රට තුළ ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කිරීම වෙනුවෙන් සියලුම ජාතින්ගේ අයිතීන් තහවුරු වෙන ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කරල තියෙනවා.

අපි අතීතය ගත්තොත් 1929 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා “සිලෝන් මොර්නින් ලීඩර්“ පත්තරේට මෙහෙම කියනවා” මේ රටේ අන්තවාදය පවතින්නේ ඉතා සුළු පිරිසක් අතරේ විතරයි. ඒ දේ අදත් නිවැරැදියි. ඒ අය සිංහල වෙන්නත් පුළුවන්, දමිළ වෙන්නත් පුළුවන්, නමුත් මේ රටේ බහුතරයක් ජනතාව සාධාරණ ඒ වගේම මධ්‍යස්ථ පිරිසක්. ඒ අයගේ පැතුම තමයි අන්‍යොන්‍ය ගරුත්වය ඇතුව- ස්වයං අභිමානයෙන් එකට එක්වී ජීවත්වීම. ඒ විදිහට අපි සියළු දෙනාට එකට එකතු වෙලා ඉදිරියට යමින් ප්‍රගතියත්, නව ජීවිතයකුත් ඇතිකර ගන්න පුළුවන්. අපිට මේ තියන නිදහස් වාතාවරණයේ- සිංහලයන්ට වේවා, දමිළයන්ට වේවා, නැත්නම් මුස්ලිම්, බර්ගර් අයට වේවා- අපේ සියළුම සහෝදර පුරවැසියන්ට එකම නිදහසක් හිමි විය යුතුයි”. එතුමා තවදුරටත් ජවහර්ලාල් නේරුතුමාව උපුටලා කියනවා “බලය කේන්ද්‍ර ගත වෙච්ච ආණ්ඩු ක්‍රමයකින් බහුවිධ ජනවර්ග සහිත රටක් අපායට ඇදිලා යනවා” කියලා.

ඒ වගේම, ගරු කථානායක තුමනි, ඩී.එස්. සේනානායක ලංකාවේ පළවෙනි අගමැතිතුමා කියනවා “අපේ ජාතිය හැදිල තියෙන්නේ එකිනෙකාට අනන්‍ය වෙච්ච ඉතිහාසයන්ට, සංස්කෘතීන්ට උරුමකම් කියන විවිධ ජන වර්ගයන්ගෙන්. අපිට කරන්න තියෙන්නේ මේ ජන කොටස් අතරෙ තියන සියළුම උතුම් දේවල් එකට එක් කරල-ලෝකයේ අනෙක් ජාතීන් සමඟ එකට එකතු වෙලා සියළු දෙනා වෙනුවෙන් සාමය, ආරක්ෂාව සහ යුක්තිය දිනා ගැනීමයි”.

ඒ වගේ ම වාමාංශික ව්‍යාපාරයේ නායකයෙක්. ඒ වගේ ම පැරැණිම දේශපාලන පක්ෂයේ ලංකා සම සමාජ පක්ෂයෙන් නායක ආචාර්‍ය කොල්වින් ආර්.ද. සිල්වා මැතිතුමා 1956 වගේ ඈත කාලයක දි එතුමා කියනවා “ඔබලා විසින් යම් ජනවර්ගයක් ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ ඉතිහාසය පවත්වාගෙන යාම වළක්වන්නේ නම්, ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්නේ නම්, අනාගතයේ දී ඔවුන් තමන් පවා තවමත් නොදන්නා කිසියම් තැනකට තල්ලු වී යනු ඇත. බොහෝ ප්‍රමාදවීමට කලින් හැකි ඉක්මණින් නිර්ලෝභීව ඔවුනට හිමි සමානාත්මතාවය ලබා දීම ප්‍රඥාවන්ත නායකත්වයක ලක්ෂණයක්” කියල එතුමා කිවුවා.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මැතිතුමා 1982 යාපනයේ දී මෙන්න මෙහෙම කියනවා. “සුළු ජන වර්ගයක් විශාල වශයෙන් ගොනු වී තිබෙන ප්‍රදේශවලට ස්වයං පාලනයක් ඇති කිරීමට අපි යෝජනා කරනවා. අපි කියන්නේ ඕනැම ජනවාර්ගික කණ්ඩාමකට හෝ ඕනෑම සුළු වාර්ගික කණ්ඩායමකට ස්වයං තීර්ණ අයිතිය තිබිය යුතු බවයි.”

එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාවත් අපි මතක් කරන්න ඕනෙ. මොන ගැටලු තිබුණත් කොමියුනිස්ට් පක්ෂය මේ ප්‍රශ්නයේ දී මේ ප්‍රශ්නයේ දී නිර්භයව කතා කළා.

අර නොපිපෙන පොහොට්ටුවෙ නිල නොවන නායකතුමා මහින්ද රාජපක්ෂ දැනට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීතුමා, එතුම පස් වැනි ජනාධිපතිවරයා විදියට ඉන්නකොට මේ ගැන කිවුවා.

මම දන්නෙ නෑ තනතුරකට මේ තරම් පෙරේතකමක් තියෙන මිනිස්සු. යන යන තැන ලියන්නෙ පස්වැනි ජනාධිපති කියල. ඒ වචනෙ පස්සෙත් අවතාරෙ වගේ ඉන්නවා. ඒකෙන් ම පේනවා තන්හාව සහ ජනාධිපතිකමට අවතාර කරන තරම.

එතුමා 2007 අවුරුද්දේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවෙදි ජනවාර්ගික ගැටුමට තමුන්ගේ විසඳුම මෙහෙම කියනවා: “තමන්ට අයත් භූමි ප්‍රදේශවල ජීවත් වන ජනතාව තමතමන්ගේ අනාගත දේශපාලන ඉරණමත්, තමන්ගේ දේශපාලන ආර්ථික වටපිටාවත් සියතට ගන්න ඕන. සැලකිය යුතු කාලයක් තිස්සේ මධ්‍යගත තීරණ ගැනීම් තුළින් අසමාන ලෙස සම්පත් බෙදීයාමේ ප්‍රශ්නයක් මතු වී තියෙනවා.” එතුමා තවදුරටත් කියනවා “හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ජනතාවට තමුන්ගේ අනාගත ඉරණම තීන්දු කිරීමේ විසඳුමක් වහා ලබා දිය යුතුයි. මෙය ලෝකයේ බොහෝ කලාපවල සාර්ථකව සිදුකර තියෙනවා”. මෙන්න මේ විදියට

මෙහෙම දිගු ඉතිහාසයක් තිස්සේ රටේ දේශපාලන නායකයින් දිගින් දිගටම පිළිගත්තු, යථාර්ථයක් කිරීමට තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා තියෙන්නෙ. පොඩි අන්තවාදී කල්ලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික අදහස් යෝජණා ගැන ඉතාම අගතිගාමී, භයානක අදහස් ඉදිරිපත් කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සුපුරුදු පරිදි ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි සිරිසේන ජනාධිපතිතුමා තමයි සැබෑ ශ්‍රී ලංකික ජනාධිපතිවරයා වෙන්නෙ. යාපනය දිස්ත්‍රික්කයේ 74.42% කුත්, වන්නි දිස්ත්‍රික්කයේ 78.47% කුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 71.84% ක ප්‍රමාණයකුත්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ 65.22% ක් සහ මඩකළපුවේ 81.62% ක අති විශාල බහුතර ඡන්දයක් එතුමාට ලබා දුන්නා. ඒ වගේම එතුමා ලබා ගත් මුළු ඡන්දවලින් 84.26% ක් උතුරු නැගෙනහිර පළාත්වලින් පිට අනෙක් පළාත්වලින් ලැබුණා. ලක්ෂ 63කට වඩා ජනතාවක් ලබා දුන් ජනවරමේ ශක්තිය අනුව තමයි එතුමා ජනාධිපති වෙලා අවුරුද්දයක් යන දවසෙ මේ සභාවට ඇවිල්ල ලබා දීප පොරොන්දුවට ප්‍රතිඥා දීල මේ ව්‍යවස්ථා දායක සභාව පිහිටෙවුවෙ.
මේක බොහොම විවෘත ¬ක්‍රියාවලියක්. කුමන්ත්‍රණ කළේ නැහැ, ජනතාවගෙන් කරුණු ගත්ත දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. සියලු පක්ෂ එකතු වුණා. මේ ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළේ විමල් විරවංශ මන්ත්‍රීතුමා විතරයි, එහෙම ප්‍රතික්ෂේප කරපු විමල් වීරවංශ මම දැක්ක කැන්ටින් එකට වෙලා ව්‍යවස්ථා දායක සභාවේ කෑම කනවා.

මම දැක්ක අපේ අලහප්පෙරුම මන්ත්‍රීතුමා කියනව මේකට එකගත්වයක් නැතිලු. එකගත්වයක් ඇති කර ගන්න තමයි මේ ගමන යන්නෙ. ප්‍රජතාන්ත්‍රවාදය කියන්නෙ ඒකට. එංගලන්තෙ අපි දැක්ක කැමරන් අගමැතිතුමයි ලිබරල් පක්ෂයයි වසර කීපයක් ඒ රට පාලනය කළා. යම් යම් දේවල්වලදි එක මතකය නැති වුණත් ප්‍රජන්ත්‍රවාදීව සාකච්ඡා මාර්ගයෙන් බහුතරය එකතු කර ගන්න පුළුවන් වුණා. අන්න ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට ඒකාදීපතී රජයක හිටපු එහෙයි කියපු මැදමුලන වලව්වෙ වලංහෝදන අයට මේව නොතේරුණාට ප්‍රජතාන්ත්‍රවාදය ගරු කරන අයට තේරෙනව මොකක් ද මේ යන ගමන කියල.

scroll to top