ජර්මනිය යළි නාසිවාදයට… – ඇමති චම්පික

Champika-5.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ජර්මනියේ මැතිවරණය පසුගියදා පැවැත්වුණා. මැතිවරණ ප‍්‍රතිඵලය විසිරුණු ප‍්‍රතිඵලයක් බවට පත් වුණා. ලෝකයේ ආර්ථික බලවතුන් අතරින් 3 වෙනි ස්ථානයේ යුරෝපයේ මහා ආර්ථික බලවතා හැටියටත්, මුළු ඉතිහාසය පුරාම බලගතු රාජධානියක් හැටියටත් ඔටෝ ඕන් බිස්මාර්ක් විසින් ජර්මනිය එක්සේසත් කළාට පස්සේ ලෝකයේ බලගතුම කාර්මික රටක් හැටියට පැවතිච්ච ජර්මන් මැතිවරණය ජර්මනියට, යුරෝපයට පමණක් නෙමෙයි ලෝකයටම ඉතාම බලපාන සිද්ධාන්තයක් උනා. 4 වෙනි වතාවටත් එහි චාන්සලර් ධූරයට තරඟ වැදී ඇන්ජලා මර්කල් මැතිණියගේ කි‍්‍රස්තියානි ප‍්‍රජාතාන්ත‍්‍රික පක්ෂයට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලැබුණා. ඒ ජන්ද ප‍්‍රමාණය 33% ක්. නමුත් ප‍්‍රශ්නය වන්නේ මීට වසර 4 කට කලින් පැවැත්වූ මැතිවරණයේදී ඇයට 42% ක ජනවරමක් හිමි වී තිබීමයි. ඒ අනුව ඇයගේ ඡන්ද ප‍්‍රමාණය ජාතික ඡන්ද ප‍්‍රමාණයෙන් 9% ක් පමණ ඇගෙන් ගිලිහී තිබුණා. ඇගෙන් ගිලිහි ගොස් තිබෙන මේ ඡන්දය ප‍්‍රධාන වශයෙන්ම ඇදි ගොස් තිබෙන්නේ විකල්ප ජර්මනිය නමින් ඉදිරිපත් වූ ජාතිකවාදී දක්ෂිණාංශික ජනකාන්තවාදී ව්‍යාපාරයටයි. එහි නායිකාව වන්නේත් පේට්රි නැමති කාන්තාවක්. ඔවුන් 13% ක පමණ විශාල ඡන්ද ප‍්‍රමාණයක් හිමි කරගෙන තිබෙනවා. මෙය ප‍්‍රංශයේ පැවැත්වෙච්ච මහා මැතිවරණයේදී, නෝර්වේ, ස්වීඩ්න්, ඒ වගේම නෙදර්ලන්ත, ඔස්ටි‍්‍රයානු මැතිවරණවලදීත්, ඒ රටවල්වල මුස්ලිම් විරෝධි, ගෝලීයකරණ විරෝධි දක්ෂිණාංශික ජනකාන්තවාදී ජාතිකවාදීන් ලබාගත් ප‍්‍රමාණයට සමාන ප‍්‍රමාණයක්. එහි විශේෂත්වය වන්නේ ජර්මන් පාර්ලිමේන්තුවේ ආසන 94 ක් මේ දක්ෂිණාංශික ජාතිකවාදීන්ට අයත් වීමයි. විශේෂයෙන්ම මර්කල්ගේ ඡන්ද පදනමින් 9% ක්ම ඔවුන් උකහාගෙන තිබීම ජාතික ඡන්දයෙන් ඉතා විශාල ජයග‍්‍රහණයක්.

ඒ වගේම ජර්මනියේ පැරණිම පක්ෂය වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයටත් බරපතල පසුබෑමක් මේ මැතිවරණයේ සිදු වී තිබෙනවා. ඔවුන් 20% ක පමණ සීමාවකට තල්ලූ වී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නායකයා ප‍්‍රකාශ කළා මින් ඉදිරියට ඇන්ජලා මර්කල් සමග සභාග ආණ්ඩු පිහිටවන්නේ නැති බවට. ජර්මනියේ ප‍්‍රධාන පක්ෂ දෙක වන කි‍්‍රස්තියානි ප‍්‍රජාන්ත‍්‍රවාදී පක්ෂයත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයත් දෙකම එකට එකතුවෙලා තමයි ආණ්ඩු කලේ. ඒ අනුව තමන් නැවත ආණ්ඩු කිරීමේ අදහසක් නැති බව එහි නායක මාටින් ෂූල්ස් ඡන්ද පරාජයෙන් පස්සේ ප‍්‍රකාශ කර තිබුණා. ඒ වගේම ජර්මනියේ වාමාංශික පක්ෂවලට 9% ක්, ඒ වගේම හරිත පක්ෂවලට 9%ක් පමණ ප‍්‍රමාණයක ඡන්ද ලැබී තිබෙනවා. ඔවුන් දෙපිරිසම කිසියම් ආකාරයකට තමන්ගේ නිසි නියෝජනය ආරක්‍ෂා කරගෙන තිබෙනවා. මොකද 5% ට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත්තා නම් ඔවුන් පාර්ලිමේන්තුවේ ඉඩකඩ ලැබෙන්නේ නැහැ.

ජර්මනියේ මැතිවරණ ක‍්‍රමයට සමාන මැතිවරණ ක‍්‍රමයක් තමයි ලංකාවේත් යෝජනා කර තිබෙන්නේ. 50% ක් අනුපාතයටත්, 50% ක් කෝට්ඨාශ පදනමිනුත්. ඒ වගේම කොට්ඨාශ පදනමින් හෝ ආසන ලබාගන්නේ නැති පක්ෂවලට ආසන ප‍්‍රමාණය වැඩිකිරීමෙන්, අපි ඒකට කියනවා හෑන්ග් ඕවර් එක කියලා. ආසන ප‍්‍රමාණය වැඩිකිරීමෙන් ආසන ලබාදීමට සිදුවෙනවා. ජර්මන් පාර්ලිමේන්තුවේ ආසන තිබුණේ 299යි 299යි ලෙස කොට්ඨාශත්, අනුපාතත් හැටියට 597 ක් නමුත් මේ පැවති නව තත්වය යටතේ විකල්ප ජාතිකවාදීන්ට සම අනෙක් අයට ඉඩ දීම සඳහා ජර්මන් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 709 දක්වා ආසන 111 කින් ඉහළ නැංවීමට සිදු උනා. මෙය අපේ රටෙත් ආනගතයේ සිදුවෙන්න නියමිත කි‍්‍රයාවලියක්. ඉතින් මේ මගින් කියල දෙන ප‍්‍රතිඵලය කුමක්ද? මෙය තමයි භයානක ඇත්ත. ඒ තමයි ඉස්ලාමීය විරෝධි නාසිවාදී පක්ෂ ජයපිට ජය ලබමින් යුරෝපයේ ඉදිරියට එමින් තිබෙනවා. දකුණු යුරෝපයේ ආර්ථික අර්බුද හරහා වාමාංශික ජනකාන්තවාදයට යන විට උතුරු යුරෝපය අන්තවාදී දක්ෂිණාංශික ජාතිකවාදයට ගමන් කරමින් තිබෙන බව ඉතාම පැහැදිලියි. කෙසේ වෙතත් මර්කල් මැතිණියට ආණ්ඩු පිහිටුවීමට කවුරුන් සමග හෝ සභාගයක් පිහිටුවීමට සිදුවන බවට කිසිම සැකයක් නැහැ.

ඇන්ජලා මර්කල් ලෝකයේ වැඩිය ජනප‍්‍රිය නොවුනාට සුවිශේෂී චරිතයක්. ඇය නැගෙනහිර ජර්මනියේ බිහි වූ වෘත්තීයවේදී නායිකාවක්. ඇයගේ පියා කි‍්‍රස්තියානි පාස්ටර් වරයෙක්. ඒ අනුව ඇයට බලගතු ලෙස කි‍්‍රස්තියානි සදාචාරය, කි‍්‍රස්තියානි සම්ප‍්‍රදාය කාවැදී තිබෙනවා. ඇගේ පක්ෂයත් පැරණි කි‍්‍රස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායික පක්ෂය. ඒ වගේම ඇය වෘත්තියෙන් භෞතිකවේදිනියක්. ඇය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදිය ඉතා මැනවින් හදාරපු මහාචාර්යවරියක්. ඒ නිසා ඇයට තිබෙන්නේ විද්‍යා දැනුම පිළිබඳව වෙච්ච පසුබිමක්. සාමාන්‍යයෙන් මේ රටවල්වල නීතීඥයින් විසින් තමයි ප‍්‍රධාන පදවි උසුලනු ලැබුවේ. ඒ නිසා මේ භෞතික විද්‍යාව හදාරපු, ගණිතය හදාරපු කෙනෙක්, කාන්තාවක් ලෙස රටේ නායකත්වයට පත්වීම විශේෂත්වයක්. ඇයගේ විශේෂත්වය වන්නේ මීට ප‍්‍රථම බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍යධූරයට පත් වූ මාග‍්‍රට් තැචර් මැතිණියත් ගැමි පසුබිමකින් ඇවිල්ලා බි‍්‍රතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයට නායකත්වය දුන්නා. ඇයටත් තිබුණේ විද්‍යා අධ්‍යාපනයක්. නමුත් එක අතකින් මර්කල් තැචර්ටත් වඩා ශක්තිමත් නායිකාවක් බව කිව යුතුයි. මොකද ජර්මනිය පසුගිය අවුරුදු 12 ක කාලය තුළ ඇයගේ පාලනය යටතේ හොඳ හා නරක දෙකම අත්විඳ තිබෙනවා. ඇයගේ හොඳ පැත්ත තමයි ඇය ස්ථාවර පාලනයක් ජර්මනියට ගෙන ඒම. ජර්මනිය තුළ විරුද්ධ දේශපාලන පක්ෂ සමග පවා සන්ධාන ඇති කර ගනිමින් විවිධ පක්ෂවල දේශපාලනඥයන් තමන්ගේ පක්ෂයට උකහා ගනිමින් ඇය ඉතාම සූක්ෂම ලෙස තම බලය පසුගිය අවුරුදු 12 තුළ තහවුරු කර ගත්තා. ජර්මනිය ශක්තිමත් කාර්මික රටක් හැටියට ඉදිරියට ගෙන ආවා. යුරෝපයේ ණය බර අඩුම රට, විරැකියාව අඩුම රට, විශාලතම විදේශ සංචිත සහිත රට, ඒ වගේ විශාලතම විදේශ ආයෝජන සහිත රට බවට ජර්මනිය පවත්වාගෙන යාමට ඇයට හැකිවුණා.

ඇය එකපැත්තකින් අනෙකුත් දේශපාලන ධාරාවන් උකහා ගැනීමට, විශේෂ දක්ෂතාවයක් පෙන්නුවා. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේ දී හරිත පක්ෂ අල්ලා ගැනීමට ඇය කළ දේ තමයි න්‍යෂ්ටික බලාගාර තහනම් කිරීමට ඇය ගත් තීරණය. මෙය එක්තරා ආකාරයට ජර්මන් ආර්ථිකයට නරක ලෙස බලපෑවයි චෝදනාවක් එල්ල වුණත් එමගින් හරිත පක්ෂයට ලැබුණු ඡන්ද හා එම මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය දිනා ගැනීමට ඇයට හැකිවුණා. ඒ වගේම ඇය, ඇයගේ පුරෝගාමියා අනුව යමින් ඉතා වැදගත් කාර්යයක් කළා එරට වෘත්තීය සමිති ක්‍ෂෙත‍්‍රයට. ජර්මනිය සාමාන්‍යයෙන් අඩක් පමණ වාමාංශිකවාදයට නැඹුරු රටක්. ඔය වම දකුණ කියන සංකල්පය පැමිණියෙත් ජර්මන් පාර්ලිමේන්තුවෙන්. එහිදී විශේෂයෙන්ම වෘත්තීය සමිති බලගතු මෙහෙයක් කරනවා. එතනදී මාග‍්‍රට් තැචර් තෝරා ගත්තේ වෘත්තීය සමිති මර්ධනය කිරීමේ කි‍්‍රයාදාමය. ඇය ඒ රටේ වෘත්තීය සමිති යකඩ අතකින් තලා දැමීම නිසා මාග‍්‍රට් තැචර්ට කීවේ යකඩ ගැහැණිය කියලා. ඇන්ජලා මර්කල් ඒ වෙනුවට ඇගේ පුරෝගාමියා අනුව යමින් වෘත්තීය සමිති සමග එකඟතාවයකට ආවා. එනම් චීනය හා අනෙකුත් රටවල් වලින් එල්ලවන කාර්මික තරඟකාරීත්වයට මුහුණුදීමට ජර්මන් වෘත්තීය සමිතිවල පඩි වැඩිකරන්නැයි කියා වෘත්තීය සමිති සමග එකඟතාවයකට පැමිණියා. එහි ප‍්‍රතිඵළය කුමක්ද? ඩොලර් බිලියන 300 ක පමණ අතිරික්තයක් විශාල වශයෙන් විදේශ විනිමය ජර්මනියට ලැබීම. කවුරුවත් වැඩි වැටුප් ඉල්ලා පෙලපාලි ගියේ නැහැ. වැඩ වර්ජන කළේ නැහැ. ජර්මනියේ ජයග‍්‍රහණය වෙනුවෙන් කම්කරු පංතිය තමන්ගේ තැන නතු කර ගන්නට ඇයගේ පුරෝගාමියාට වගේම ඒ කාර්ය භාරය ඉදිරියට ගෙන මර්කල් මැතිණියටත් හැකියාව ලැබුණා. ඉතින් මෙය අපි දකිනවා විශාල ජයග‍්‍රහණයක් ජර්මනිය පැත්තෙන් ගත් කළ.

2008 දී ඇතිවූ ආර්ථික අර්බුදයෙන් එංගලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි යුරෝපයේ විශාල රටවල් සියල්ලම අර්බුදයෙන් අර්බුදයට යද්දි, ණය බරෙන් ණය බරට යද්දි, කැරළිකාරිත්වයෙන් කැරළිකාරිත්වයට යද්දි ජර්මනිය ස්ථාවර යෝධයෙක් හැටියට පවත්වා ගැනීමට ඇයට හැකි වුණා. එක්සත් යුරෝපයේ නායිකාව බවට ඇය අනිවාර්යයෙන්ම පත්වුණා. ඒ වගේම පසුගිය කාලය තුළ ඇය තව වැදගත් පියවරක් තැබුවා. ඒ තමයි ඇය ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් වෙන්වෙලා යුරෝපයට තනිව හිතන්න පුළුවන් කියන ශක්තිමත් තීරණයට එළඹීම ඇය ට‍්‍රම්ප් විවේචනය කිරීම නිසා ඇය ඒ රටට ගිය අවස්ථාවේ ට‍්‍රම්ප් ඇයට අතට අත දීමෙන් පවා වැලකුණු බව සියලූ දෙනා දන්න කාරණයක්. කෙසේ වෙතත් ඇයගේ මේ ශක්තිමත් ස්ථාවරය ඉතාම පැහැදිලියි. ඒ වගේම ඇයගේ දේශපාලන සූක්ෂමභාවය මත ඇය අනාගතයේදී මේ දක්ෂිණාංශික ජාතිකවාදීන් උකහා ගැනීමට කි‍්‍රයාකරන බවටත් සැකයක් නැහැ.

ඒ වගේම ඇයගේ නරක ලෙස බොහෝ දෙනා දකින්නේ ඇය අවුරුදු 12 ක් පාලනයේ හිටියා. තරුණ පිරිසට ඉඩක් ලබාදීමට ඇයට වැදගත් ලෙස හැකියාව තිබුණත් ඇය එය සිදු නොකිරීම. එය බලගතු චෝදනාවක්. විශේෂයෙන්ම තරුණ පරම්පරාව ජර්මනියේ ප‍්‍රධාන පක්ෂ දෙකෙන් ඉවත් වීමට මෙය විශාල හේතුවක් උනාට සැකයක් නැහැ. අන්තවාමාංශිකත්වයටත්, හරිත පක්ෂවලටත් අන්ත දක්ෂිණාංශික පක්ෂවලටත් ආසන්නයෙන් ජර්මනියෙන් 1/3 ක පමණ ජනතාව ඇදී යන්න මේ නායකයින්ගේ සම්ප‍්‍රදායික ගති ලක්ෂණ බලපෑ බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

මෙහිදී ඇන්ජලා මර්කල් සරණාගතයින් සම්බන්ධයෙන් අනුගමනය කළ කි‍්‍රයාදාමය ඇයට පාරාවලල්ලක් උනා. ඇය හිතුවා ජර්මනියෙන් තිබෙන ශ‍්‍රම හිඟයට විසඳුමක් හැටියට දශ ලක්‍ෂයක් පමණ සිරියානු, ඉරාක අනාථයින් ගෙන ආවහම ඇයට එම ප‍්‍රශ්නය විසඳා ගන්න පුළුවන් කියලා. ලාභ ශ‍්‍රමය ලබා ගන්න පුළුවන් කියලා ඇය හිතුවා. නමුත් ජර්මනිය පුරා බෝම්බ පුපුරණ කොට, ජර්මනිය පුරා නිකාබ් ඇඳගෙන කාන්තාවන් පාරට බහිනකොට, ජර්මනිය පුරා පල්ලි ඉදිවන විට ජර්මන් ජනතාව තුළ සුදු ජාතිකවාදය නව නාසි වාදය භයානක ලෙස හිස එසෙව්වා. ඒ නිසා නිකාබ් තහනම් කරන්න, ශරියා නීතිය තහනම් කරන්න, පල්ලි සීමා කරන්න, අනාථයින් ගැනීම පාලනය කරන්න ඇයට සිදු උනා. ඇය අනිවාර්යයෙන්ම අනාගතයේදී දක්ෂිණාංශික ජනකාන්තවාදයේ ඒ ප‍්‍රතිපත්තිවලට නැඹුරුවීමට ඇය ගමන්කරනවාට සැකයක් නැහැ. ඇය ජයග‍්‍රහණයෙන් පසු කළ කතාවෙදිත් ඒ පිළිබඳ ඉඟියක් පළ කළා.

කෙසේ වෙතත් ජර්මනියට ඉදිරි කාලයේදී වැඩකටයුතු කිරීමට සිදුවනවා ඇත්තේ නැගෙමින් එන චීනයත්, දැනටමත් ස්ථාවර ඇමරිකා එක්සත් ජනපදයත් අතරයි. යුරෝපය කොයි අතට දෝලනය වෙයිද? චීනයේ එක තීරයක්, එක මාර්ගයක් කි‍්‍රයාදාමය හරහා යුරෝපය චීන වෙළෙඳපලට ඇතුළු වෙයිද? නැතිනම් සුපුරුදු පරිදි අත්ලන්තික් සයුරින් එහා තිබෙන ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳපල සමග ඉදිරියට යාවිද?. එසේත් නැත්නාම් ජර්මනිය තනියෙන් නැගී සිටීමට තීරණය කරාවිද? ජර්මනිය ඓතිහාසික වශයෙන් සටන්කාමී රටක්. රෝම අධිරාජ්‍ය ගොඩනගන්නත්, වට්ටන්නත් මුලික වූ රටක් යුරෝපයේ ප‍්‍රභල රාජ්‍යයන් සියල්ලම පරාජය කරන්නට සමත් වූ රටක්. යුරෝපයේ ප‍්‍රභලම ආර්ථිකය ගොඩනැගීමට සමත් වූ රටක්. අදටත් නවෝත්පාදනයෙන් ඉදිරියෙන්ම සිටින රටක්. ඒ වගේම පළවෙනි ලෝක සංග‍්‍රාමය, දෙවන ලෝක සංග‍්‍රාමය යන සංග‍්‍රාම දෙකටම බලගතු ලෙස මැදිහත් වෙච්ච රටක්. අන්ත ජාතිකවාදීන් නාසිවාදීන් බිහි කළ රටක්. ඒවගේම වාමාංශික බුද්ධිමතුන්, භෞතික විද්‍යා විද්‍යාඥයින් බිහිකළ රටක්. අපූරු රටක්. මේ රට ආර්ය සම්ප‍්‍රදාය පිළිගන්නා රටක්. පර්සියාව, ඉන්දියාව හා ලංකාව ඇතුළත් ආර්ය සම්ප‍්‍රදායේ ජීවත්වන රටක් හැටියට ඔවුන් ඔවුන්ව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ තත්වය කෙසේ වෙනස් වෙයිද? ජර්මනිය ආසියාව දෙස බලයිද? ඉන්දිය සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානය හැටියට ලංකාව ගොඩනැගෙන විට ජර්මනිය අපදෙස බලපායිද? ජර්මනියේ ඇන්ජලා මර්කල් මැතිණියට ඉදිරියේ තිබෙන ජාතික ජාත්‍යන්තර අභියෝගයයි. කෙසේ වෙතත් විනයගරුක, වෘත්තීයවේදී, දූෂණයෙන් තොර චරිතයක් හැටියට කැපී පෙනෙන නායිකාවක් හැටියට ඇය ඉටුකළ මෙහෙය ජර්මන් දේශපාලනයේ සදා අනුස්මරණීයයි. ඇය ඉක්මනින්ම තම නායකත්වය තරුණ වෘත්තීයවේදී පිරිසකට පවරා ඉවත්ව යනවා නම් ජර්මනිය මීට වඩා ශක්තිමත්ව ගොඩනැගීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළකරනවා යයි පැවසීය.

scroll to top