ජපානයට 2020 දී නව ව්‍යවස්ථාවක පෙරමග සලකුණු – අමාත්‍ය පාඨලී චම්පික

2020 දී ජපානයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බව ජපාන අගමැති ෂින්යෝ අබේ මැතිතුමා පසුගියදා ප‍්‍රකාශ කළ බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස් බුක් පිටුවට අදහස් එක් කරමිනි.

1945 දෙවන ලෝක මහා සංග‍්‍රාමයෙන් පසු ජපානයට හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවෙන් ජපානයට අහසේ, මුහුදේ හෝ ගොඩබිම ප‍්‍රහාරක යුධ හමුදාවක් පවත්වා ගැනීමට අයිතියක් නැහැ. එමෙන්ම එතෙක් කාලයක් අධිරාජ්‍යයාගේ නියමක් ලෙස ජපන් රජය පවත්වාගෙන ගිය අධිරාජ්‍යාගේ නියමයත් ඉවත් කරනු ලැබුවා.

මේ තත්වයන් තුළ ජපානයට අලූත් ව්‍යවස්ථාවකුත් අලූත් යුධ හමුදාවකුත්, නව ජාතිකවාදයකුත් ගෙන ඒම ෂින්යෝ අබේගේ ප‍්‍රතිපත්තිය බවට පත් වී තිබෙනවා. ඇත්තටම ජපානය 1945 යුද්ධයෙන් පසු එක දිගට අඛණ්ඩව පාලනය කළේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හෙවත් ඒඞීබී පක්ෂයයි. ඒ පක්ෂය කිසියම් දුරකට බටහිර රටවල්වලට නැඹුරු ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් ජපානය තුළින්ම පැණ නැගුනු ප‍්‍රජාතන්ත‍්‍රික ව්‍යාපාරයක් විසින් එම පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් කළා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය බලයට ගෙනආවේ ෂින්යො අබේ. ඔහු පසුගිය වසරේ පැවැත් වූ මැතිවරණයෙන් නැවතත් 3/2 බලය හිමි කර ගත්තා. දැන් ඔහුට එරෙහිව ටෝකියෝ හි නගරාධිපතිවරිය ඉදිරිපත් වී තිබෙනවා අලූත් ප‍්‍රජාතාන්ත‍්‍රික අභියෝගයක් ලෙස.

ඒ වගේම උතුරු කොරියාවෙන් එල්ලවන අභියෝගයත්, චීනයේ නව නැගිටීමත් කියන මේ කාරණා සියල්ල සැලකිල්ලට ගනිමින් ජපානය යුධමය ලෙසත්, ආර්ථික ලෙසත්, දේශපාලනමය ලෙසත් බලවත් කිරීමයි ෂින්යෝ ඇබේගේ ප‍්‍රතිපත්තිය. මෙය ලෝක දේශපාලනයට නැවත වතාවක් අලූත් අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ. ජපානය ආසියාවේ අපූරු රටක්. මේ රට කිසිම අධිරාජ්‍යවාදියෙකුට යටත් උනේ නැහැ. 17 වන සියවසේ, 18 වන සියවසේ, 19 වන සියවසේත් මැද හරිය වන තෙක් ජපානය පාලිත රාජ්‍යයක්. වෙනත් ලෝකයේ කිසිම රටක් සමග ගණු දෙනු නොකල ලෝකයේ විවිධ රටවල ආගම් සංස්කෘතීන් තහනම් කළ සංවෘත රටක්, තනි රටක් හැටියටයි ජපානය පැවතුනේ. මේ හුදකලා තනි රට එක්තරා ආකාරයකට බලවත් යුධ බලකොටුවක් බවට සමුරායි යුධ සම්ප‍්‍රදායෙන් පත්වුණා. බලගතු අධිරාජ්‍යයෙක් එයට නායකත්වය දුන්නා. නමුත් යුරෝපා රටවල් 1850 දී පමණ කාලයක සිට ජපානයට බලපෑම් එල්ල කරන්න පටන් ගත්තා ජපානයේ වරායවල් විදේශ රටවල්වලට විවෘත කළ යුතුයි කියා. කි‍්‍රස්තියානි ආගම ඇදහීමේ අයිතිය නැවත ලබාදිය යුතුයි කියා. මේ ආකාරයට එල්ල වූ බලපෑම් හමුවේ ජපානය එක්තරා දුරකට පාලිත විවෘත ක‍්‍රමයකට ගමන් කළා. එහිදී ජපානය මෙයිජී ප‍්‍රතිසංස්කරණ යුගය නමින් හැඳින් වූ ඒ යුගයේදී අර සමුරායි වරු ව්‍යාපාරික ප‍්‍රජාවක් බවට පත් කළා. අද ලෝකය පුරා පැතිරී තිබෙන විවිද ජපාන සන්නාමයන්, මිට්සුබිෂි වැනි සන්නාමයන් හි උපත ඇති වුනේ, ඒ සමුරායි පවුල්වලින් ඇතිවෙච්ච, හයිරෙට්සු නමින් හැඳින් වූ ඒ ව්‍යාපාරික බලවේගය නිසයි.

ඉන්පසු ජපානය ලෝකය පුරා තමන්ගේ විද්වතුන් පිරිස් යවලා, ලෝකය පුරා තිබෙන අධ්‍යාපන ක‍්‍රම, යුද ක‍්‍රම, ඒ වගේම ආර්ථික ක‍්‍රම, දේශපාලන ක‍්‍රම ඉගෙන ගත්තා. ඒවයින් හොඳම ඒවා ගෙනල්ල ජපානයට අත්හදා බැලූවා. උදාහරණයක් හැටියට ජපාන නාවුක හමුදාව බි‍්‍රතාන්‍යයේ නාවුක හමුදාව අනුකරණය කරමින් ගොඩනැගිච්ච එකක්. ජපන් පාබල හමුදාව ජර්මානු පාබල හමුදාව පදනම් කරගෙන ගොඩනැගූ එකක්. ජපන් අධ්‍යාපන ක‍්‍රමය බොහෝ දුරට ලංවුණේ ඇමරිකා එක්සත් ජනපද අධ්‍යාපන ක‍්‍රමයටයි. මේ ආදී වශයෙන් නොයෙක් ආකාරයේ අලූත් අත්හදා බැලීම් ගණනාවක් ජපානය බටහිර ලෝකයෙන් ඉගෙන ගෙන කි‍්‍රයාත්මක කළා. මෙහි තීරණාත්මක ප‍්‍රතිඵලය උනේ බටහිර බලවතෙක් වන රුසියාව ජපානය විසින් පරාජයට පත් කිරීමයි. සාර්වරු ලත් පළමු පරාජය නැගෙනහිර ආසියානු මුහුදේදී සිදු උනා. මේක ආසියාවේ නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටි රටවල්වලට ලොකු ආස්වාදයක් උනා. ලංකාවේත් අනගාරික ධර්මපාලතුමා ජපානය විසින් රුසියාව පරාජය කිරීම සැලකුවේ බටහිර ජාතීන් පාරජය කිරීමට ආසියාවට හැකියි. බටහිර කි‍්‍රස්තියානි චින්තනයට අභියෝග කිරීමට ආසියාවේ බෞද්ධ හා අනෙකුත් චින්තනයන්ට හැකියි කියන එක මෙයින් ඔප්පු කළ බවයි පෙනී ගියේ.

ලංකාවේ පැවතිච්ච ආගමික වාදවලත් ජපානයේ නැගීම ප‍්‍රධාන කාරණයක් උනා. ජපානය ලංකාවේ පමණක් නෙමෙයි, ඉන්දියාවේ, චීනයේ, කොරියාවේ වැනි රවලටත් ආදර්ශය බවට පත් උනා. කෙසේ වෙතත් 1910 න් පසු ජපානය ආක‍්‍රමණශීලි කි‍්‍රයාවලියකට ගමන් කළා. ඔවුනුත් බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය වැනි රටවල් අනුකරණය කරමින් රටවල් අල්ලා ගැනීමේ ක‍්‍රියාවලියකට ගන් කළා. ඔවුන්ගේ පළමු ගොදුරු බිම උනේ කොරියාව සහ මැන්චූරියාව, එනම් කොරියාව සහ චීනයට උඩින් වූ ප‍්‍රදේශය. ඊ ළඟට චීනය සහ අනෙකුත් ප‍්‍රදේශ ආක‍්‍රමණයට ඔවුන් යොමු උනා. ඒ අනුව පළමුවන ලෝක මහා සංග‍්‍රාමය අවසන්වන විට ජපානය අධිරාජ්‍යවාදයක් බවට පත් වී තිබුණා. ඒ වගේම ජපන් රාජ්‍යයේ අධිරාජ්‍යවාදයාගේ අණසකට රටක් බවට පත් වුණා. ඉන්පසු ජපානය තුළ ටෝගෝ සෙනෙවියාගේ නායකත්වයෙන් පැසිස්ට් පාලනයකට පණ පෙවුණා. ඉන්පසු ජපානය සීග‍්‍රයෙන් ආසියාවේ අනෙක් කොටස්, එනම් චීනයේ, බුරුමයේ, ඉන්දියාවේ , ලංකාව වැනි රටවල තිබූ බි‍්‍රතාන්‍ය පාලනයට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළා. මැලේසියාව, ඉන්දුනීසියාව ආදී ප‍්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා ඔවුන් සටනට පිවිසුනා. ඒ වගේම ඔවුන් ජර්මානුවන් හා ඉතාලි පැසිස්ට් වාදය සමග ඒකාබද්ධ කි‍්‍රයාදාමයකට ගමන් කළා.

බි‍්‍රතාන්‍ය එම සටනින් පරාජයට පත් උනා. ශ‍්‍රී ලංකාවට පවා ජපන් ප‍්‍රහාර එල්ල උනා. කොළොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට, කොළඹ වරායට සහ දුම්රිය අංගන කිහිපයකටද, ති‍්‍රකුණාමලයට ද ජපන් ප‍්‍රහර එල්ල උනා. කෙසේ වෙතත් ජපානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට පිවිසීමත්, ඇමරිකා එක්සත් ජනපදයේ පර්ල් වරායේ සිදුවීමෙන් පසු ටෝකියෝවට පහරදීමත්, පසුව පරමාණු බෝම්බය ජපානයට හෙළීමත් සමගම ජපානය යුද්ධයෙන් අන්ත පරාජයකට පත් උනා. ඉන්පසු ජපානය විවෘත ක‍්‍රමයකට පෙරට ආවා. විශේෂයෙන්ම සෝවියට් සංගමයේ නැගීටීමත් සමග ජපානයට නැවත විවෘත තරඟයට ඉඩ දිය යුතු යැයි ඇමරිකා එක්සත් ජනපදයට හා ඒ කලාපය පාලනය කළ මැක්ආතර් සෙනෙවියාත් තීරණය කළා. ඒ අනුව ජපානය නැවතත් විවෘත තර`ග ක‍්‍රමයකට පැමිණියා. විශේෂයෙන්ම ඔලිම්පික් උළෙල පවා 1964 පැවැත් වූවේ ටෝකියෝ නගරයේ. ඊට පසු ජපානය යළිත් ආර්ථික බලවතෙක් වන ලකුණු පහළ උනා.

1990 -95 වන විට ජපානය සහ ජපානයේ ජනප‍්‍රිය ලෝක සන්නාමයන් හොන්ඩා, ටොයොටා, මිට්ෂුබිසි, ටොෂීබා, සන්යෝ වැනි ආයතන ලෝකය පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත උනා. ඇමරිකා එක්සත් ජනපදය පරදවා ඉදිරියට එන්න හැකි රටක් බවට ජපානය පත්විය හැකියි කියා බොහෝ දෙනෙක් අනාවැකි පළකළා. නමුත් එක්සත් ජනපදයේ තිබිච්ච විශාල ගොඩබිමත්, අතිවිශාල ජනගහණයත් ආදී වාසි දායක කරුණු විසින් ජපානයට ඒ අභියෝගය ජයගන්න බැරි උනා. විශේෂයෙන්ම චීනයේ නැගී සිටීමත්, කොරියාවේ නව තාක්ෂණික නැගිටීමත් සමගම ජපාන සන්නාමයන් මෙන්ම ජපාන ආර්ථිකයත් පසු පසට ගමන් කළා. දැන් මේ අලූත් අභියෝග ඉදිරියේ සිය ව්‍යවස්ථාව වෙනස් කරගෙන නැවතත් ජාතිකාභිමානී ජපානයක් ගොඩනැගීමට ෂින්යෝ අබේ තීරණය කර තිබෙනවා. මෙතෙක් කාලයක් අක‍්‍රිය විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ ජපානය ඉන්දියාව සහ තවත් රටවල් සමග තියුණු වෙළඳ දේශපාලනික ගිවිසුම්වලට එළඹෙමින් සක‍්‍රිය කි‍්‍රයාදාමයකට දායකවීමට පටන්ගෙන තිබෙනවා. මෙය කවර බලඅරගලයක් බවට පත් වෙයි ද? දකුණු පැසිපික් සාගරයේ චීනය සමග ගැටුමකට ජපානය යයිද? ඉන්දියානු සාගරයේ චීනය සමග ගැටුමකට ඉන්දියාව හා එක්ව ජපානය ගමන් කරයිද? උතුරු කොරියාව සමග ගැටුමකට දකුණු කොරියාව සමග ජපානය එක් වෙයි ද? මේ යනාදි ප‍්‍රශ්න ගණනාවක් අද මතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඩොනල් ට‍්‍රම්ප් පළමුවෙන්ම හමු වූ රාජ්‍ය නායකයින් අතරට ජපානයේ ෂින්යෝ අබේ පත්වීම අහම්බයක් නොවේ. මේ අනුව ජපානය ඉදිරි කාලයේදී සකි‍්‍රය දේශපාලනික, යුධ ජාතික අභිමානී රටක් ලෙස පෙරට ඒමට දැන් දේශපාලන තීන්දුවක් ගෙන තිබෙනවා. එය ලෝක දේශපාලනයට කවර ආකාරයෙන් බලපායි ද කියා කියන්න බැහැ. කෙසේ වෙතත් චීනය නැගීම විසින් ඇති වූ මේ දේශපාලික විප්ලවයන්, භූ කම්පනයන් ජපානය තුළත් මතුවෙලා ලෝකයේ අනෙක් රටවල මතු උනා වගේ නව ජාතිකවාදී ප‍්‍රවණතාවයකට ජපානය හසුවී තිබෙන බව පැහැදිලියි. අපි බලමු 2020 දී ජපානය නව ව්‍යවස්ථාවත් සමග ජපානයට නැවතත් ආසියාවේ ඉතිහාසය, ආසියාවේ මාර්ග සිතියම ලියන්නට හැකිවේද කියා

scroll to top