ජනාධිපතිතුමාගේ හඳහනට වඩා ජනතාවගේ හඳහන බලවත්

හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමි

නොවැ 01, 2014 (විමසුම) – කැසිනෝකාර ආර්ථිකයෙන්, බහුජාතික සමාගම්වල අවශ්‍යතා අනුව නැටවෙන ආර්ථිකයක් වෙනුවට මහ පොළොව මත පදනම් වූ ජාතික ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමි අවධාරණය කරයි.

01.11.2014 mahindata 1

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් පසුගියදා නුගේගොඩ දී පැවැත්වූ විරෝධතා රැලිය අමතමිනි.

ජ.වි.පෙ. නායක අනුර දිසානායක, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ජනාධිපති නීතිඥ ශී‍්‍රනාත් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මෙම රැලිය ඇමතූ කථිකයන් අතර විය.

මෙහි දී පූජ්‍ය අතුරලියේ රතන හිමි දැක් වූ අදහස්,

මේ අවස්ථාවේදී අපට පැවරී තිබෙන්නේ අතිවිශාල වගකීමක්. පක්‍ෂවල සීමාවෙන් ඔබ්බට ගිහින්, මතවාදී සීමාවලින් ඔබ්බට ගිහින් මේ රටේ ජනතාව වෙනුවෙන් පුළුල් තීන්දුවක් ගන්න කාලය ඇවිත් තිබෙන බව මා මේ අවස්ථාවේ ප‍්‍රකාශකර සිටිනවා. මා සිටින්නේ බලවතුන්ගේ බලය ආරක්‍ෂා කිරීමට හෝ දූෂිතයන්ගේ දූෂණ කි‍්‍රයා ආරක්‍ෂා කිරීමට නොවේ. මේ රටේ ජනතාවගේ හෘද සාක්‍ෂිය වෙනුවෙන් කියලා නිර්භයව ප‍්‍රකාශ කරනවා. ඔබ අපි සියලූ දෙනා ගන්නේ යම් තීන්දුවක්ද ඒ තීන්දුව සමඟ මා සිටින බව ඉතා නිර්භයවත් අවංකවත් මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා.

2005දී මේ ආණ්ඩුව බලයට පත්කරන්න හිටියේ පක්‍ෂ දෙකයි. එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හිටියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය විතරයි හිටියේ. අපි ඒ කාර්යභාරය ඓතිහාසිකව ඉෂ්ඨ කළේ මරණබියෙන් ජීවත් වෙච්ච යුගයක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකරන්න බැරි යුගයක. ජීවිතවලින් වන්දි ගෙවපු යුගයක. දැන් ඒ යුගය අවසාන කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුණේ වඩා හරවත් දිශාවකට මේ රට ගමන් කරයි කියලා. මහින්ද චින්තනයෙන් කියා සිටියා මතට තිත, සෞභාග්‍යමත් ආර්ථීකය, ජාතික ආර්ථිකය, අධ්‍යාත්මයෙන් පිරිපුන් සමාජයක් ගොඩනගයි කියලා. අපිට අද අපේම පපුවට ගහලා අහන්න සිද්ධවෙලා තියෙනවා අපි ගමන් කරන්නේ ඒ සඳහාද කියලා. ජනාධිපතිතුමා කියනවා ඊළමක් තියෙන නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අවශ්‍යයි කියලා.

අපි අහන්න කැමතියි මේ රටේ ත‍්‍රස්තවාදය විශාල වශයෙන් වර්ධනය වුණේ කුමණ කාලයකද කියලා. ත‍්‍රස්තවාදය ඇතිවුණෙත්, ත‍්‍රස්තවාදය වර්ධනය වුණෙත්, ත‍්‍රස්තවාදය වර්ධනය කළෙත් විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට විධායක බලය තිබුණා. ත‍්‍රස්තවාදය නැතිකරන්න බැරි වුණා. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාව ත‍්‍රස්තවාදයෙන් බිළි ගත්තා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පාලනයෙන් සමු ගත්තේ ඇහැකුත් අහිමි කරගෙන. ඒ අනුව අපිට පේනවා ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය තිබූ පමණින් ත‍්‍රස්තවාදය යටපත් කරන්න බැරි බව. ත‍්‍රස්තවාදය උපදින්නේත් ත‍්‍රස්තවාදය පවතින්නේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වූ මොහොතකයි.

එදා ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ 5/6ක බලයක් ලබාගෙන. 1982 මහා මැතිවරණයක් නොපවත්වා මංකොල්ලකාරී ජනමත විචාරණයක් පවත්වමින් තමන්ගේ සම්පූර්ණ ඒකාධිපති බලය යොදවලා උතුරේ විකල්ප සමාජ කණ්ඩායම්වලට පාර්ලිමේන්තුවට එන්න තිබුණු ඉඩ අහුරා දැම්මා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂවලට පාර්ලිමේන්තුවට එන්න තිබුණු ඉඩ සම්පූර්ණයෙන්ම නැතිකළේ ඒ ජනමත විචාරණයයි. එදා ඒකාධිපති බලතල පාවිච්චි කිරීමෙන් 1988 යෝධ සමාජ කැරැුල්ලක් ඇතිවුණා. 60,000කට වැඩිය ජන ජීවිත අපට නැතිවුණා.

මේ රටේ වගකිවයුතු පුරවැසියෝ මේ අනතුර දකින්නේ නැත්නම් ආපහු සූරියකන්දක්, ආපහු හඬා වැටෙන මව්වරු, ආපහු කැරලි ගහන තරුණයෝ, ආපහු ටයර් සෑයවල් දකින ඒ කාළකන්නි යුගයක් ආයෙත් සැරයක් උදාවෙයි. ඒකට විරුද්ධ නම් අපි මේ පාලන ක‍්‍රමයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනාම එක්ව කටයුතු කළ යුතුයි. අද අපි පැමිණ සිටින්නේ ඒ සඳහායි. ආශ්චර්යමත් රටක් ගොඩනගන බව කියලා අද ව්‍යාපාරිකයෝ හදලා තියෙනවාද? රස්තියාදුකාර කැසිනෝකාරයෝ විතරයි හදලා තියෙන්නේ. අද හදලා තියෙන්නේ කැසිනෝ ආර්ථිකයක්.

උපායමාර්ගික පනතක් ගෙනත් 2005 කිව්වේ ජාතික ආර්ථිකය නංවන බවයි. ඊටත් පස්සේ අපි කවුරුවත් දන්නේ නැතිව ඒ පනතට සංශෝධනයක් ගෙනත් තියෙනවා. සූදුවත් උපායමාර්ගික ආර්ථිකයේ කොටසක් කරලා. මේ ආණ්ඩුව සදාචාරත්මක ආණ්ඩුවක් නම් කැසිනෝ ආර්ථිකයක් පනතක් මගින් මේ රටට හඳුන්වා දෙන්න පුළුවන්ද? මේ රටේ ජනතාව සූදු පොළවල්වලට යවලා දහස් ගණන් මුදල් පරාජය වෙලා කාළකණ්නින් බවට පත්වෙලා තියෙනවා. කැසිනෝ තියෙන වෙනත් කිසිම රටක මේ වගේ තත්වයක් ඇතිවෙලා නැහැ. මේ ආණ්ඩුව සුරාවෙන් තොර, සූදුවෙන් තොර රටක් හදලා තියෙනවා කියල කියන්න බැහැ. සාහිත්‍යයේ ප‍්‍රබෝධයත්, සිනමාවේ මහා පිබිදීමක් අත්පත්කර දී නැහැ. අද ඇතිවෙලා තියෙන්නේ මහා හැබිචෝල් සංස්කෘතියක්. ඒ සංස්කෘතිය නිර්මාණය කර තියෙන්නේ මේ පාදඩ ආර්ථික ක‍්‍රමය විසින්. ඒ නිසා මේ ජනාධිපති ධුරය පාවිච්චි වෙලා තියෙන්නේ හොඳට නෙවෙයි නරකට කියන දේ අද තහවුරු වෙලා තියෙනවා.

පාලකයන්ට හිතෙනවා නම් තමන්ගේ රියදුරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයා කරන්න ඒකත් කරනවා. මේ ව්‍යවස්ථාවට අනුව විධායක බලය තියෙන කෙනාගේ රියදුරත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙක් කරන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. ඒක අපි කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අපි කියන්නේ ජනාධිපතිවරණයට යන්න කලින් මේක වෙනස් කළ යුතුයි කියන එකයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කළ යුතුයි. මේ ආණ්ඩුව යටතේ 2/3 බලය පාවිච්චි කරලා මොනවාද කරලා තියෙන්නේ?

යම් රටක යම් පුද්ගලයෙකුට ව්‍යවස්ථාවෙන් සැලකිය යුතු බලයක් තියෙනවා නම් ඒක හොඳට යොදවන්න පුළුවන් කියලයි අපේ අදහස. හැබැයි අද ඒක යොදවලා තියෙන්නේ හොඳට නෙවෙයි. මේ නිසා අපි අහන්න කැමතියි ජ්‍යොතිෂ්‍ය අනුව ජනාධිපතිවරණය තීරණය කරලා ඒ ඡුන්දයකදී වඩා බලවත් වෙන්නේ ජනාධිපතිතුමාගේ හඳහනද ජනතාවගේ හඳහනද කියලයි අපි ඉදිරි ජනාධිපතිවරණයේදී අහන්නේ? අපි කියන්න කැමැතියි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ හඳහනට වඩා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ හඳහන බලවත් බව අපි කියන්න කැමැතියි. මේ කෝටි සංඛ්‍යාත ජනතාව ඒ තරම්ම කාළකණ්නියි කියලා මම හිතන්නේ නැහැ.

මේ රටට ආදරය කරන හිත පපුවක් තියෙන මිනිසුන් හැටියට අපිට කල්පනා කරන්න දෙයක් තියෙනවා. මේ භූමිය වෙනුවෙන් දිවි පරදුවට තියලා සටන් කළ මිනිසුන් හිටියා. මේ රට යම් තැනකට ඔසවා තබන්න ඒ මිනිසුන්ට ප‍්‍රාර්ථනා තිබුණා. ඒ මිනිස්සු ඒ වෙනුවෙන් ජීවිත දන් දුන්නා. ඒ නිසා අපට අද වගකීමක් තියෙනවා. ඒ වගකීමේ පළවෙනි පියවර ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ගොඩනගා ගැනීමයි. අපට අවශ්‍ය මූලික නීතියක් ගොඩනගා ගැනීමයි.

වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කළහැකි ආයතනයක් ගොඩනැගීම අවශ්‍යයයි. ව්‍යවස්ථාදායකයට තිබෙන බලය තනි පුද්ගලයෙකුගේ පයට පාගාගෙන තියෙන තත්වයෙන් වෙනස් කර ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඒ සඳහා සමාජය දිනාගත යුතුයි. මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන නීතියේ ස්වාධිපත්‍ය ආරක්‍ෂා කරන ව්‍යවස්ථාවක් අවශ්‍යයි.

දෙවනුව කැසිනෝකාර ආර්ථිකයෙන්, බහුජාතික සමාගම්වල අවශ්‍යතා අනුව නැටවෙන ආර්ථිකයක් වෙනුවට අපේ මහ පොළොව මත පදනම් වූ ආර්ථිකයකින් මේ රටේ ස්වාධීනත්වය තහවුරු කරන ජාතික ආර්ථික වැඩපිළිවෙවලක් අපට අවශ්‍යයි. ඒ සඳහා අපේ බෙදීම් අවම කරගෙන කල්පනා කළ හැකි සියලූ දෙනා එකතු වෙලා ජාතික බලවේගයක් නිර්මාණය කිරීම අවශ්‍යයි. ඒ බලවේගය නිර්මාණය කිරීම වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද, කළ හැක්කේ කුමක්ද, ඒ සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

මා මේ රැස්වීමට සහභාගි වන බව ප‍්‍රකාශ කළ අවස්ථාවේ ඉඳලා ටෙලිෆෝන් කෝල් විශාල ප‍්‍රමාණයක් ආවා. මේ රැස්වීමට යන්න එපා කීවා. අපට අවශ්‍ය පාලකයෝ නොවේ. මේ තත්වය වෙනස් කිරීම සඳහා උත්සාහ කරන සමාජ බලවේග නිර්මාණය කිරීමයි. ඒ බලවේග තමයි මේ සමාජයේ අනාගතය නිර්මාණය කළ යුත්තේ. ඒ පියවරට අපි යා යුතුයි. පරම්පරා ගාණක් ඒ වෙනුවෙන් දුක් විඳලා තියෙනවා.

ඒ අඳුරු යුගය අවසන් කරලා අපි අලූත් බලාපොරොත්තු සහිතව ඉදිරියට යමු කියලා ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මහා වැසි මැද්දේ පපුව ඇතුළේ දැල්වෙන බලාපොරොත්තුවක් තියෙනවා මේ රට පිළිබඳව. අපි හැම දෙනාම ඇවිල්ලා ඉන්නේ ඒ නිසයි. ඒ වෙනුවෙන් කැප කළ යුත්තේ කුමක්ද?

ඒ සෑම දෙයක්ම කැප කරන්න සූදානම් බව ප‍්‍රකාශ කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවද, ජනාධිපති බලයද ඒ කිසිවක් අපට අදාළ නැහැ. ඒ කිසි බලයකට යට නොවන බවත් ඔබ හැමදෙනාටම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන්න කැමැතියි.

01.11.2014 mahindata 02

scroll to top