ජනප්‍රිය සංස්කෘතිය හා බුදු දහමේ ලාංකික මොඩලය

දැන් මෙරට නිෂ්පාදනය වන විවිධ මට්ටම්වල රූපවාහිනි බෞද්ධ වැඩසටහන්වල නිසි ප්‍රමිතයක් නැත. එසේම ඒවාට ගෙන්වන සම්පත්දායක දායිකාවන්හට විෂයට අදාළ සුදුසුකමක්ද නැත. නමුදු සමාජයේ බහුතර ප්‍රජාවක් ගිහි පැවිදි භේදයක් නැතිව බුදු දහම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නැත්තන් වීම නිසාම ඒවාට සමාජයේ යම් යම් අය ආකර්ශණය කරගත හැකි විය හැකි වී තිබේ. ඒ යම් විෂයක් පිළිබඳව සමාජයේ වඩාත් ජනප්‍රිය මාතෘකා පිළිබඳව මාලුකඩකාරයන් සේ තර්කවිවාදවල පැටලීම මූලික ඉලක්කයකොට ගෙන මෙම බෞද්ධ වැඩසටහන් නිපදවා ප්‍රචාරය කරන බැවින් හා සමාජයේ අඩු උගත්කමක් හා දැනුමත් සහිත ආවේගශීලී තරුණ කොටස්වල වඩා වැඩි ආකර්ශණයක් ඒවාට ඇති බැවිනි. ඔවුන්ට අනුව ඉල්ලුමට අනුව සැපයුම යන න්‍යායයට හා එසේ ඉල්ලුමක් නොමැතිවීයේ නම් කෘතිමව හෝ එබඳු ඉල්ලුමක් නිර්මාණය කරවීම මෙබඳු වැඩසටහන්වල මුඛ්‍ය කාර්යභාරය බවට පත්කරවා ඇත. එම වැඩසටහන් මෙහෙයවන නිවේදක නිවේදිකාවන්ද ඊට දෙවෙනි නොවේ. ඔවුන්ටද ඔවුන් මෙහෙයවන බෞද්ධ වැඩසටහන්වල විෂය පථය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත. ඔවුන් කරනුයේ කොහෙන් හෝ කටපාඩම් කර ඇති දේවල් වැඩසටහනට පැමිණ ගිරවුන් පරිදි වැමෑරීමයි. තමන් ප්‍රකාශකරන කරුණු උක්ත විෂයට අදාළවන්නේදැයිවත් අවම මට්ටමේ දැනීමක්වත් ඔවුන් සතුව නොමැති බව එබඳු වැඩසටහන් නරඹාම අපි දැක ඇත්තෙමු. සෑම නාලිකාවකම බෞද්ධ වැඩසටහන් සඳහා සම්පත්දායකයන් ලෙස කැඳවීම් කරන්නෙත් සහභාගී කර ගන්නෙත් හැමදාම එකම වූ මේ පිරිස පමණකි. ඔවුන්ද අදාළ විෂය පිළිබඳ විෂය විශේෂඥයන් හෝ ප්‍රමාණිකයන් නොවේ. රූපය, කටහඬ, ජනප්‍රියත්වය බඳු බාහිර සාධක ප්‍රමාණකරගෙන පමණක් මෙබඳු වැඩසටහන්වලට ගෙන්වා ගන්නා ඔවුන් වෙතින් එම විෂයට අදාළව සමාජගත කිරීමට ඇත්තේ කුමක්ද?

විවිධ ජන සන්නිවේදන මාධ්‍ය ජාලා අව භාවිතා කර බුදු, පසේ බුදු හා මහරහත් ආදී උත්තරීතර මානුෂික ගුණධර්ම විකුණා මුදල්, ප්‍රසිද්ධිය, දේපළ ලැබීම පිණිස ක්‍රියාකරන ගිහි පැවිදි ආගම් හොරුන්ගේ අවකල් ක්‍රියාවල සිට සත්‍ය ධර්මය දිවි දෙවෙනිකොට ක්‍රියාකරමින් අවංක ප්‍රතිපත්තියම සිය ජීවිතය කරගනිමින් නිහඬව, අප්‍රසිද්ධව, හුදකලාව වෙසෙමින් නිස්සරණධ්‍යාශයෙන් ක්‍රියාකරන සැබෑ ගිහි පැවිදි උතුමන් දක්වා විවිධ මට්ටම්වල පුද්ගල චරිතායනයට පාලි ත්‍රිපිටක දහම ශාස්ත්‍රාලයීය මට්ටමින් පර්යේෂණාත්මකව ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීම මාහට විශාල ආධාරයක් උපකාරයක් විය.

බුදු දහම දැන් වසර ආසන්න වශයෙන් වසර දෙදහස් හයසීයක් තරම් පැරණිය.එහි ආරම්භක වකවානු තුළ පැවති ස්වරූපය කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකිය.නමුත් අද පවතිනුයේ එදා බුදුන් ජීවත්ව වැඩ වසන සමයෙහි පැවති උන්වහන්සේගේ ඉගැන්වීම් බව අපි විශ්වාස කරන්නෙමු.පාරම්පරික බුදු දහම එසේ නැතහොත් ථේරවාදී සම්ප්‍රදාය දිගු කාලයක් තිස්සේ ජන ප්‍රජාවගේ හදවත්තුළට රිංගවා ඇති අදහසේ හරය එයයි. ථේරවාදී සම්ප්‍රදාය ඔස්සේ දිගු කාලයක් අපේ බහුතර සිංහල බෞද්ධ සංස්කෘතිය වැඩීමේ අනිවාර්ය අංගය නම් එකම හා නිවැරදිම දේ ථේරවාදී සම්ප්‍රදාය බවට වූ අපේ දැඩි විශ්වාසය හා පිළිගැනීමයි. මේ විශ්වාසය කිසිදු තර්කයකින් හෝ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට අප නිතරම සූදානම්ය. මෙම පිළිගැනීමට ප්‍රතිවිරුද්ධව තර්ක නැඟීම හෝ විචාර පූර්වකව විමර්ශනශීලීවීම පංචානන්තරීය පාප කර්මයක් වන මට්ටමට අන්ධානුකරණයෙන් අපගේ මානසික විවෘත බව කෙළෙසී තිබේ. මෙලෙස කරුණු දැක්වීම පවා ඔබට මා කෙරෙහි කිසියම් නොරිස්සුම් සහගත හැඟීමක් හෝ කෝපයක් දැනවීමට සමත් කරුණක් වන බව මම දනිමි. නමුදු මා කෙරෙහි ඔබගේ සිත තුළ ඇති ප්‍රතිරූපය එසේම ආරක්ෂා කර ගන්නවාට වඩා ඔබට මට හැඟෙන අයුරින් සත්‍ය පහදා දීම මා සතු යුතුකමකි. ඔබ තුළ මා කෙරෙහි ඇති ප්‍රතිරූපය රැක ගැනීම සඳහා අසත්‍ය පවසමින් අවංකකම, සත්‍ය බිලිදීමට වඩා සත්‍ය රැකීමට ප්‍රතිරූප බිලිදීම මගේ ප්‍රතිපත්තියයි. මගේ මේ ස්වරූපය නිසා සමාජයේ බහුතරයකට තවම මා නිසි ලෙස අවබෝධ කරගැනීමට නොහැකි වී ඇති බව ද මම දනිමි. මන්ද මා පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුගේ ඇති අනවබෝධය නිසා මට යම් යම් ගැටලුකාරී දේවල්වලට මුහුණ පෑමට මට සිදුව ඇති නිසා එබඳු වැරදි ආකල්ප මා පිළිබඳව ඇති කර ගෙන සිටින බව මම හොඳින්ම වටහා ගෙන සිටිමි.

දැන් මේ කියන දේ පිළිබඳව වුවත් තත්වය ඊට සමානය. සමහරුන්ට කොපමණ කීවත් තමන්ගේ වැරදි දෘෂ්ටිය අත් හැර දැමීමට අකමැතිය. ඔවුන් පිළිබඳව කණගාටුවනවා හැරෙන්නට වෙන කළ හැකි ප්‍රතිකර්මයක්ද නොපෙනෙයි. එබන්දන් පිළිබඳව නම් මම කිසිසේත්ම කණගාටු නොවෙමි. ස්වල්ප වේලාවක් ඇසුරුකළ පමණින්ම ඇතැමෙක් ක්ෂණිකව මාව වටහා ගැනීමට සමත්කම් දක්වති. සමහරු මුලු ජීවිත කාලයතුළ විශාල කාපරාසයක් ඇසුරුකළ ද නිතරම මා පිළිබඳව සැකයෙන් බැලීමට උත්සුක වීම විනා අවම වශයෙන් මා පවසනුයේ කුමක්දැයි කියාවත් වටහා ගැනීමට තැත් නොකරති. මෙබඳු සමහරුන්ට මාව පමණක් නොව මා වටා ඇති සෙසු දේ පිළිබඳව පවා ඇත්තේ නොසන්සිඳෙන සැකයකි. වරෙක මට ඇති එක්තරා වැඩිහිටි ඥාතී සුලු මවක් සහ ඇගේ තරුණ දියණියහට ඇතිව තිබුණේ මගේ අධ්‍යාපන සහතික පිළිබඳව පැණයකි. මම ඔවුන්ගේ සැකය දුරු කිරීම සඳහා මගේ අධ්‍යාපන සහතික හා උපාධි ප්‍රදානෝත්සවවලට අදාල තොරතුරු ලබා දුන් නමුදු එයින් ඔවුන්ගේ සැකය මුලුමනින්ම දුරු නොවුනුබව දත හැකි විය. ඔවුන්ගේ මේ වැරදි දෘෂ්ටිය පදනම්වූ සැකය මතුවූයේ මා පිළිබඳ හා මා ලැබූ උසස් අධ්‍යාපනය පිළිබඳ ඊර්ෂ්‍යාව නිසා බව මම මුල් කාලීනවම වටහා ගෙන සිටියෙමි. උපාධි, පශ්චාත් උපාධි සහතිකවල මුල් පිටපත් පෙන්නුවද ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවය සඳහා කැඳවා ගෙන ගියද ඔවුන්ගේ මේ සැකය නැති නොවීමට හේතුව හුදෙක් ඔවුන්ගේ එම සැකයට පදනම වූ ඊර්ෂ්‍යාව මා ඔවුන්ගේ සැකය දුරුකිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලදී තවතව වැඩිවූ බැවිනි. මගේ උපාධි, පශ්චාත් උපාධි සහතික සැබෑ සත්‍ය ඒවා බව හෙළිවීම ඔවුන් මා පිළිබඳව ඇතිකරගෙන තිබූ ඊර්ෂ්‍යාව අධික හා උත්සන්න කිරීමට ඉවහල් විය. මා ඔවුන්ගේ සැකය නැති කිරීමට ගත් සෑම පියවරක් පාසාම ඔවුන්ගේ ඊර්ෂ්‍යාව දෙගුණ තෙගුණ වූයේ ඔවුන්ගේ සැකය හුදු නොදැනීම මත නොව ඊර්ෂ්‍යාව මත පදනම් වූවක් වීම නිසාය. මා පිළිබඳව සමාජයේ ඉහත දක්වන ලද විවිධ වර්ගවල ආකල්ප ඇති කරගත් පුද්ගලයන් ඇති බව මේ අනුව මම වටහාගෙන සිටිමි. මම දැනට මේ පිළිබඳව ලැබූ අත්දැකීම් අනුව තව දුරටත් ඊර්ෂ්‍යාව මත පදනම්ව මාව විවේචනය කිරීමට සැක කිරීමට පෙළඹී සිටින අය මා පිළිබඳව දක්වන කිසිදු ආකල්පයක්, විවේචනයක් කිසිසේත්ම ගණන් නොගන්නා මට්ටමකට පත්ව සිටිමි.

දැනුදු අන්තර්ජාලයේ මා නමින්ම මගේ ඡායාරූප යොදා සකස් කළ ෆේක් එකවුන්ට් හරහා මට විවිධ අයුරින් නින්දා අපහාස, අවලාද, චරිත ඝාතන සිදුකරමින් මා මානසික වැට්ටවීමට කිසියම් පුද්ගලයෙකු හෝ කීප දෙනෙකු කටයුතු කරන බව මම දනිමි. මෙබඳු සිදුවීමකදී මට ක්‍රියාමාර්ග දෙකක් ප්‍රධාන වශයෙන් ගත හැකිය. පළමු එක නම් ඔවුන්ට එරෙහිව පොලිසියේ පැමිණිලි කොට නෛතික ක්‍රියාමාර්ග ගැනීමයි. දෙවැන්න නම් මේ කිසිදු දෙයක් නොදුටුවාක් ලෙස කරබාගෙන මගේ සුපුරුදු ඉගැන්වීමේ, දේශන කටයුතු, ශාස්ත්‍රීය පර්යේෂණ, ග්‍රන්ථ රචනය ආදී මගේ සුපුරුදු දේවල් කරගෙන මගේ පාඩුවේ ජීවත්වීමයි. දැනට මම ජීවිතයේ තරුණ විය පසුකරමින් සිටිමි. මට තවම ජීවත්වීමට ඇත්තේ සුලු කාලසීමාවකි.පොලිසියේ සිට අධිකරණය දක්වා වූ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කාලය, ශ්‍රමය, මුදල් වැය කර ලැබිය හැක්කේ මට එරෙහිව සිදු කරන වැරදි ප්‍රචාර නවතාලීමත්, ඔවුන්ට දඬුවම් ලබාදීමත් යන කරුණු දෙක පමණකි. ප්‍රතිරූප පිළිබඳව කෙදිනකවත් මට කිසිදු හැඟීමක් අවංකව නොවිණ. මේ හේතුව නිසා මට සිදු වූ කිසිදු මූල්‍ය, සමාජ, ශාස්ත්‍රීය අඩුපාඩුවක් නොවීය. මගේ පුද්ගලික දැන හැඳුනුම්කම්වලට, මගේ සමාජ කටයුතුවලට ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවලට මෙමඟින් අමතර ප්‍රචාරක වාසියක් මිසක සිදුවූ අවාසියක් නැත. මා පෞද්ගලිකව ඇසුරු කර මගේ ඥාති හිතමිත්‍රාදීහු, සිසුසිසුවියෝ ආදී සියලු දෙනාම මාව හොඳින් හඳුනති. එබැවින් මේ සිදුකරනා කිසිවක් කිසිසේත්ම මගේ පුද්ගලික ජීවිතය අඩාලවීමට කිසිදු හේතුවක් නොවීය. එබැවින් දැඩි වෙහෙසක් ගෙන අඩු ඵලදායිතාවක් සහිත නෛතික ක්‍රියාමාර්ගවලට යොමුවනවාට වඩා මගේ සිත් ගත්තේ මෙහි සඳහන්වන දෙවන ක්‍රියාමාර්ගයයි. එනම් මේවා සියල්ල නුදුසු නොඇසු ලෙස කරබාගෙන මගේ කටයුතු අනලස්ව වඩවඩාත් ධෛර්ය සම්පන්නව කරගෙන මගේ පාඩුවේ ජීවත්වීමයි. සිය කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් සයිබර් අවකාශයේ සැරිසරා තමන් කිසි දිනෙක නොදුටු නොහඳුනන තමන්ට කිසි දිනෙක කිසි වරදක් නොකළ පුද්ගලයෙකුට නින්දා අපහාස කිරීම තුළින් සැබවින්ම ඔවුන් ලබන ප්‍රතිලාභය කුමක්ද? එහි ඇත්තේ ඔවුන්ගේ නූගත්කම, සෘණාත්මක ආකල්ප පිළිබඳ ගැටලුවකි. ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හා ලිපි මඟින් ප්‍රකාශයට පත්කරවන මගේ අදහස්, ආකල්ප, මතවාද සැබවින්ම නිර්දේශපාලනීයකරණය වූවකි. මට ලොව වඩාත්ම නීරස විෂය නම් දේශපාලනයයි. දේශපානලඥයන් මට වහකඳුරු ගානය. මම ජීවිතයේ සැබෑ සතුට ලබන දෙය නම් ආහාරපානවලටත් වඩා මට අත්‍යවශ්‍ය දේ වනාහී ශාස්ත්‍රීය පර්යේෂණවල නිරතවීම හා ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ, ලිපි රචනයයි. ඇතැම් අවස්ථාවල ආහාරපාන ලබා ගැනීමටත්, ඒවා භුක්තිවිඳීමටත් වඩා මගේ අවධානය යොමුව ඇත්තේ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ රචනයට හා ඒවා කියවීම යන කරුණු දෙකටය. මා මේවාට මගේ මුලු අවධානය යොමුකර ක්‍රියාකරද්දී ඇතැම්විට මා ලියපළකරන දේවල් වරදවා වටහාගනු ලබන යම් යම් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් ඒවා ඔවුන්ට එරෙහිව සිදුකළ දේවල් යැයි වරදවා උපකල්පය කරගෙන ඔවුන්ගේ පුද්ගලික හෝ රාජ්‍ය මහජන බදු මුදල් යොදවා මෙසේ මට එරෙහිව මෙබඳු මඩගැසීමේ කල්ලි, පුද්ගල කණ්ඩායම් යොදවා ක්‍රියා කළ හැකිය. ඒවා ගණන් නොගෙන සිටීමේ ප්‍රතිපත්ති මත තව ටික කාලයක් ගතවීමේදී ඔවුන්ටද ඒවා සිදුකර එපා වේ යැයි මම සිතමි.

කාලයක් තිස්සේ නිවැරදි දේ වශයෙන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව මේ සියළුම පිළිගැනීම් ඒ අයුරින්ම මේ දක්වා අපි පවත්වා ගෙන පැමිණෙන්නෙමු.එහි හරි වැරැද්ද කිසිදු ප්‍රශ්නකිරීමකින් තොරව අපි සියලු දෙනා ඒකමතිකව ගතානුගතිකව විශ්වාස කරන්නෙමු.ඊට පටහැනි වූ සියලු මතවාද ප්‍රකාශ කිරීම පමණක් නොව එසේ සිතීම පවා අවීචි මහනිරයේ හෙලන මට්ටමේ ආනන්තරිය පව්කමක් තරමට ප්‍රබල යැයි අපි අන්ධ ලෙස විශ්වාස කරන්නෙමු. ඔබ අයත් මේ සමාජ කුලකයටම මමද අයත් වෙමි. පාරම්පරිකව හොඳ සිංහල බෞද්ධ දෙමාපිය පරපුරකින් පැවත එන බැවින් මමද ඔබ මෙන්ම බුදු දහමේ සාම්ප්‍රදායික මතවාද, විශ්වාසපිළිගත් කාලයක් තිබිණ. නමුදු සාම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනයෙන් ද බටහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයද විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබූ පුහුණුව ද නිසා සාම්ප්‍රදායික ගැතිබවින් නිදහස්ව විචාරපූර්වක ආකල්පයකින් ඒ පිළිබඳව සිතීමට මට හැකියාවක් ලැබිණ. බුදු දහමේ ආදී කාලීන හැඩතල පිළිබඳව පර්යේෂණවල නියැලීමට අද මට කදිම පිටිවහලක්ව ඇත්තේ ඒ කරුණයි.

බුදු දහම මුල්කාලීන ස්වරූපයෙන් වෙනස්ව යාම ආරම්භවූයේ කෙදිනකදැයි නිශ්චිතව දැක්වීම අපහසු වුවද රහතන්වහන්සේ නමින් ප්‍රකට විමුක්තියට පත් පුද්ගලයන්ගේ ක්ෂයවීම සමඟම ආරම්භවූබව නම් පැවසීම අපහසු නැත.මන්ද දහම ප්‍රතිවේධකර එබඳු අවබෝධයකට පත්වීමට දහම නිර්මලව පැවතීම අවශ්‍ය වන බැවිනි.එසේ නම් අපට මෙහිදී ගැටළු කීපයක් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත.මේ පවතිනුයේ දහමේ පැවති හැඩය නොවේ නම් එහි නිවැරදි හැඩය කුමක් වියයුතුද? එසේ දහම වෙනස්වීමට හේතුව කුමක්ද?යනාදී ලෙස මේ පිළිබඳව ඔබට ගැවළු මාලාවක් ඇතිවන බව මම දනිමි. එසේ නමුදු මෙතැනදී නම් මම ඔබේ ඒ කිසිදු ගැටළුවකට පිළිතුරු නොදෙන්නෙමි.මම මට අවශ්‍ය සියල්ල පවසන්නෙමි.ඔබ එය කියවාගෙන යන්න.මගේ විග්‍රහකිරීම අවසානයේ ඔබගේ ගැටළු සියල්ලට නිසි පිළිතුරු ලැබෙනු ඇත.මන්ද එය විග්‍රහකිරීම අවශ්‍යය.එසේ නොමැතිව එක්වර එම ගැටළුවලට පිළිතුරු ලබාදීමට ගියහොත් ලබාදෙන ඒ පිළිතුරු නිසි පරිදි වටහාගැනීමට ඔබට අපහසුබව මා දන්නා බැවිනි. මා මෙහි 6 ඉලක්කම ඔබ ඉදිරියේ තබා ඔබගෙන් එම අංකය කුමක්දැයි අසන්නෙමි.එය අංක හය බව ඔබ පිලිතුරු දෙනු ඇත.නමුත් එය අංක නවය අනිත් පැත්තට සටහන් කිරීමබව පැවසිය හැකිය. එකම ඉලක්කම විවිධ පැතිවලින් නරඹන කීප දෙනෙකුට සංජානනය වනුයේ කීප ආකාරයකටය.බුදු දහම පිළිබඳවද මේ ප්‍රකාශය වලංගුය.එදා විවිධ අයට බුදුන් වහන්සේ ලබාදුන් උපදෙස්,විග්‍රහ අද අප වටහා ගනුයේද සංජානනය කරගනුයේද එදා ඒ අය ඒවා බුදුරදුන් වෙතින්ම සංජානනය කරගත් ආකාරයටම නොවේ.එසේම කටපාඩමින් රැකගෙන පරම්පරාවෙන් පවත්වාගෙන වසර දහස් ගණනක් තිස්සේ රැක ගෙන පැමිණියේද මුල්කාලීනව බුදු මුවින්ම දේශනාකළ අර්ථයෙන්ම නොව ඒ අයට සංජානන වන ස්වරූපයෙනි.මෙය කියවන ඔබ ගිහියෙකු හෝ පැවිද්දෙකු වියහැකිය.දහම පිළිබඳ දැනුම මඳ අවශේෂ සමාජයට මිසක මට ඔබගේ බාහිර හැඩය වැදගත් නැත.මට වඩාත් වැදගත් යමෙකුගේ මානසික හැඩයයි.

දහමේ මූලික හැඩය ප්‍රායෝගිකත්වයයි.ප්‍රායෝගිකත්වය නොමැති බුදුදහමක් බුදුන් වහන්සේ දේශනා නොකළ සේක. නමුදු අද ශේෂව පවතින බුදුදහමේ හැඩය සකස්ව ඇත්තේ එහි එදා පැවති සජීවිගුණය පවතින අයුරින් නොවේ. මූලිකපාලි දේශනා, අට්ඨකථා, ටීකා, ටිප්පනී,කෝෂ ග්‍රන්ථ මේ සියල්ලෙහිම මූලික අර්ථය බුද්ධ වචනය ශාස්ත්‍රීයව විග්‍රහකිරීමයි.මේ ශාස්ත්‍රීයත්වය තුළ ප්‍රායෝගිකත්වය ගිහිලීයාමට කරුණු සැලසී තිබේ. එදා පැවතියේ අලිඛිත දහමක් වුවද අද පවතිනුයේ ලිඛිත දහමකි. ලේඛගත පාලිය ද අද ව්‍යවහාර නොවන බසකි.සංරක්ෂණයට මූලික තැනක් දීමට සිදුවීම නිසාම නොදැනුවත්ව වාගේ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමුකිරීමට අවකාශ මඳවී ඇත. බුදුරදුන් ජීවමාන කාලයේදී උන් වහන්සේගේ අනුගමනය කිරීමෙන් ධර්මප්‍රතිවේධයට පත් විශාල පිරිසක් වූහ.එකල ධර්ම ඉගෙනීම හා ප්‍රතිවේධය යන දෙකම ස්වකීය කාර්යභාරයන් ලෙස සැලකිනි.බුදුරදුන් හා සම කාලීන ප්‍රමුඛ ශාවකයන් පිරිනිවීමෙන් පසු කාලයේදී ක්‍රමිකව සංරක්ෂණ අවශ්‍යතාව වඩාත් ඉස්මතුවිය. තව තවත් කල් ගත වීමේදී ප්‍රතිවේධ අවශ්‍යතාව යටපත්කරමින් සංරක්ෂණ අවශ්‍යතාව මුල්තැනට පත්විය.ත්‍රිපිටක ධර්ම සංගායනා පැවැත්වීම, ධර්මප්‍රචාරය යන කරුණුවලට එහිදී මූලිකත්වය ලැබිණ.එකම භික්ෂු පිරිස වුවද සංරක්ෂණ අවශ්‍යතාව හා ප්‍රතිවේධ අවශ්‍යතාව යන දෙආකාරයක අරමුණු පාදනම්කරගත් ගුරුකුල දෙකක් බවටද පත් විය. සංරක්ෂණ අවශ්‍යතාව අරමුණුකළ භික්ෂු ගුරුකුලය ග්‍රාමවාසී යන නමින්ද ප්‍රතිවේධ අවශ්‍යතාව අරමුණු කර ගත් භික්ෂු ගුරුකුලය ආරණ්‍යවාසී යන නමින්ද හැඳින්විණ.තවත් කල්ගතවීමේදී මේ පිරිස් දෙක අතරින් ග්‍රාම වාසී ගුරු කුලය ධම්මකථික ලෙසද ආරණ්‍යවාසී ගුරුකුලය පාංශුකුලික ලෙසද නම් විය. නියඟ, දුර්භික්ෂ, රෝග බිය ආදී ස්වභාව ධර්මයෙහි අනර්ථකාලී බලපෑම හමුවේ කල්ගතවීමේදී ප්‍රතිවේධයට වඩා ධර්ම සංරක්ෂණ අවශ්‍යතාව මූලිකත්වය ගනු ලැබිණ. සසුන්ඉතිහාසයේ පැවති සුප්‍රසිද්ධ විවාදයකදී පංශුකූලිකයන් අභිභවා ධම්ම කථිකයන් ජය ගනු ලැබීම මෙහි පැහැදිලි හැරවුම් ලක්ෂය සේ දැක්විය හැකිය.

සැබවින්ම ප්‍රතිවේධ ධර්මයක් ඇත.නමුදු එය අද පවතින ධර්මප්‍රතිරූපකයෙන් වැසී ඇත.එය යම් අයෙකු විසින් සිතාමතා කළ ක්‍රියාවක් නොවේ.කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රමිකව සිදුවූ දෙයකි.සැබෑ සජීවිබුදුදහම සොයා යා හැකිය.එය සෙවීමෙන් අත්පත් කරගත යුත්තකි.තමතමන්ගේ දෘෂ්ටිග්‍රහණය අනුව සිදුකරන්නා වූ අර්ථකථන නිසා සිදුවී ඇත්තේ දහමේ සැබෑ සජීවි ස්වරූපය වැසී යාමකි.දහමේ සැබෑ ස්වරූපය ප්‍රයත්න දරා හෙළිපෙහෙළි කර අවබෝධ කරගැනීමේ පොදු වුවමනාවක් මෙන්ම පෞද්ගලික වුවමනාවක් මාහටද ඇත.ලාබාල ගැටවර වියේ සිට මැදිවිය දක්වා ජීවිතයේ විශාල කාලසීමාවක් පාලි ත්‍රිපිටක දහම අධ්‍යයනය හා පර්යේෂණ කිරීමට මා කැපකලේද මේ නිසාමය. දැනට මා දන්නා හා අවබෝධකරගෙන ඇති බුදුදහම සමාජයේ ප්‍රචලිතව පවතින ජනප්‍රිය බුදු දහමෙන් වඩවඩාත් ඈතට ගොස් තිබේ.ඇතැම් දේ පැවසිය හැකිය නමුදු ඇතැම් දේ පැවසිය නොහැකිය.එසේ පැවසිය නොහැක්කේ පැවසුවහොත් ඔබ තදින් උරණවන බව මා හොදින්ම දන්නා නිසාය. සාම්ප්‍රදායිකව තදින් වැළඳගෙන සිටින ජනප්‍රිය මත කොපමණ නිවරදි දෙයක් පිණිස හෝ නැතිවයද්දී ගිහිපැවිදි භේදයකින් තොරව මිනිසුන් දැඩිව කෝප වන බව මම වටහා ගෙන සිටිමි. මගේ ප්‍රතිරූපය පිළිබඳව කිසිදු ගැටළුවක් මට නැත.මම ප්‍රතිරූප නඩත්තු නොකරමි. නමුදු සාධිකාරී බවට ඇහුම්කන් දෙන ස්වරූපයක් සමාජයේ පවතින නිසා මෙසේ යම් තරමින් හෝ අදහසක් ඔබ වෙතට ගෙන ඒමට මට හැකිව ඇත.මෙය කියවන ඔබ මා මිථ්‍යාදෘෂ්ටිය ව්‍යාප්තකරන්නෙකු යැයි හංවඩු ගැසුවහොත් ඒ මතයම දරණ ඔබ වැනි තවත් අය සිටියහැකි නිසා මෙබඳු ලිපි අන්තර්ගත කර රචිත මගේ ශාස්ත්‍රීය පර්යේෂණ, කාලීන සමාජ විමර්ශන කෘති මඟින් මේ අදහස් ටික වත් කීමට මට ‍නොහැකි වේ. එබැවින් වැරදි මත පිළිගන්නා බහුතරයක් මැද සම්පූර්ණ සත්‍යය දනිතත්,එය පැවසීමේ අනතුරක්ද තිබේ.

සජීවී සැබෑ මුල්කාලීන බුදු දහම අන්තවාදී බවින් තොරය.එසේම ස්වභාවය (nature) පාදක කරගත්තකි. බුදුරදුන් තමන්වහන්සේව හඳුන්වාගනු ලැබුවේ තථාගත යන පදයෙනි.එය පරමාර්ථ සත්‍ය අවබෝධකර ගත් තැනැත්තා හැඳින්වීමට යොදනලද පුරාණ යෙදුමකි.තථ යනු ස්වභාවය,පරමාර්ථය යන අරුත් දේ. ආගත නම් පාලි භාෂාවෙන් පැමිණි යන අරුතයි. තථ+ආගත=තථාගත ලෙස මෙය සැකසී ඇත. පරමාර්ථය හෙවත් ස්වභාවය අවබෝධ කර ගත්, නැතහොත් පරමාර්ථයට හෙවත් ස්වභාවයට පැමිණි තැනැත්තා යන අදහස තථාගත යන පදයේ තිබේ. විශ්ව ක්‍රියාකාරීත්ව අනුව සිය පැවැත්ම සකස් කර ගත් යන අදහසද මෙහි ගැබ්ව ඇත.සත්‍යාවබෝධයෙන් තොර සාමාන්‍ය අය විශ්ව ක්‍රියාකාරීත්වයට එරෙහිව යන්නන්ය. ඔවුන් තුළ පින් පව්, කුසල් අකුසල් මේ හේතුව මත පවතියි. පරිපූර්ණ වශයෙන් විශ්ව ක්‍රියාකාරීත්වයට අනුගතවූ අයගේ ක්‍රියා පින්පව්, කුසල් අකුසල් ආදියෙන් තොර පූර්ණ ක්‍රියාපමණක් වන්නේද එබැවිනි.විශ්ව ක්‍රියාකාරීත්වයට හේතුඵල ධර්මතාව පදනම්වේ. හේතු ඵල ධර්මතා අවබෝධයෙන් විශ්ව ක්‍රියාකාරීත්වයට අනුව සිය පැවැත්ම සකස් කර ගත හැකිය. රහතන්වහන්සේ කෙනෙකු බිහිවනුයේ මේ පූර්ණ අවබෝධයට පත්වීම නිසාය. එය අවබෝධ කරගැනීම පහසු නැත.අපහසුද නැත. පහසු නැත්තේ ඔබ මේ තාක් දරණ සියලු දෘෂ්ටි මතවාද ආදියෙන් ඉවත්වීම පහසු දෙයක් නොවන බැවිනි. අපහසු නැත්තේ සියල්ලේ සැබෑ ස්වභාවය එය නිසාය. ස්වභාවය (nature) වෙතට අවධානය, සිහිය යොමු කිරීම විදර්ශනා භාවනාවේ මූලික ලක්ෂණයකි. ඔබගේ සිරුර, සිතිවිලි, ආවේග, කරුණු ආදී කුමන කරුණක් අරමුණු කරගෙන හෝ එහි මුලික ස්වභාවය පිරික්සීම විදර්ශනා භාවනාවේ මූලික කාර්යයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් සතර ආකාරයකින් ස්වභාවය කෙරෙහි සිහියද අවධානයද යොමු කිරීම මෙහිදී සිදු වේ. එහිදී කිසිවක් යටපත් කරන්නේ නැත. කිසිවකින් පළායන්නේද නැත.සිහියෙන් හා අවධානයෙන් අරමුණ දෙස පිරික්සුම් නුවණ යොමු කිරීමක් පමණක් සිදුකරනු ලබයි.මේ පිරික්සීම නිසා නුවණ, සිහින දියුණු තියුණුව යයි. පිරික්සීම සමඟම වඩ වඩාත් ස්වභාවය (nature) වෙතට අවධානය, සිහිය යොමු වේ. මනස, සිරුර දෙකම ස්වභාවයට අනුකූල වේ.සියළු කායික ක්‍රියා, සිතිවිලි, හැඟීම්, ආවේග, සියල්ල තුළ ස්වභාවය පමණක්ම දකියි. තථය, සත්‍යය හෙවත් නිර්වාණයට පර්යාය පදයක් ලෙස භාවිතා කර ඇති බව මහාචාර්ය පුජ්‍ය වල්පොළ රාහුල හිමියෝ දක්වති. “ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නො කිරීමේ හේතුවෙන් මටත් ඔබටත් සසර බොහෝ කාලයක් සැරිසරන්නට සිදුවිය.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළහ. තථ, අවිතථ, අනඤ්ඤ ආදී ලෙස සත්‍යයෙහි මූලික ලක්ෂණ තුනක් ඇත. මෙහි තථ යන්නෙන් ඒකාන්ත සත්‍ය බව ද, අවිතථ යන්නෙන් සැමදා ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍ය බව ද අනඤ්ඤතථ, අන් පරිද්දකින් නො වන බව ද අදහස් කෙරෙයි. බුදු, පසේ බුදු, මහරහතුන් ආර්ය තත්වයට පත් කරන හෙයින් මෙම සත්‍ය සතර ආර්ය සත්‍ය නමින් හැඳීන්වෙයි. මෙම ආර්ය සත්‍ය සතරට තව කිසිවක් එකතු කරන්නට නැත. එසේ ම සත්‍ය සතරක් නොව තුනෙකි. තැනහොත් දෙකෙකි යයි අඩු කිරීමක් ද කළ නොහැකිය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය. දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු ය. දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය වැඩිය යුතුය.

මේ ගැඹුරු පරමාර්ථ තථය, වනාහී නිවනයි. නිවීම නම් ස්වභාවයෙන් ඔබ්බට යන්න යළිත් ස්වභාවය අනුව සකස්වීම තුළ දැනෙන මානසික සචේතනික බවයි. සෙලවීම, කැඩීම, බිඳීම ස්වභාවයෙහිම ලක්ෂණය මිසක අන් යමක් නොවන බවට ඇති අවබෝධය සිත ගැඹුරු නිශ්චලත්වයට පමුණුවයි. කාය, චිත්ත ක්‍රියාකාරීත්ව දෙකෙහි සමෝධානික තුළින් විශ්ව ක්‍රියාකාරීත්වය අවබෝධකර ගැනීම නිසා සිත අකෝප්‍ය බවට පත් වේ. සමස්ත විශ්ව ක්‍රියාකාරීත්වය තුළ පුද්ගල සම්මුතිය දියැවී යයි. පුද්ගල අනන්‍යතා ගොඩනැඟීම නතර කරයි. මේ ගැඹුරු අවබෝධය තුළ පුද්ගලයෙකු නැත. විශ්ව ක්‍රියාකාරීත්වය අනුව නාමකය පවත්වයි. ස්නායු පද්ධති පවතින නිසා වේදනා දැනීම් තිබුණ ද ඒ වේදනා දැනීම්ද විශ්ව ක්‍රියාකාරීත්වයේ ලක්ෂණයක් මිසක පුද්ගල ලක්ෂණ ලෙස නොදකියි. විශ්වයේ පවතින සියළු ධර්මතාවලට හිතකර ලෙසටම සිය නාමකය පවත්වයි. පුහුදුන් බවේ ලක්ෂණ පුද්ගල ප්‍රතිලාභයි. ආර්ය බවේ ලක්ෂණ විශ්ව ධර්මතාවලට හිතකරවන ප්‍රතිලාභයි. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, දිට්ඨි, අවිජ්ජා ආදී සේ විග්‍රහ වූ සංයෝජන හට ගැනීමට මුල්වනුයේ පුද්ගල ප්‍රතිලාභයි. පුද්ගල ප්‍රතිලාභවල සිට විශ්වප්‍රතිලාභ කරා නාම කය සකස්වනුයේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී අනුක්‍රමික මානසික මට්ටම් ලෙසිනි.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top