ජනතාවගේ ආකල්ප හා ජීවන තත්වය වෙනස් කිරීමකින් තොරව ඩෙංගු උවදුර මැඩලිය නොහැකියි

Champika.jpg

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ වෝටර්ස් ඒජ් හෝටලය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය කාලය මුළුල්ලේ මෙරට ආර්ථිකයේ ඉතාම වේගයෙන් අඛන්ඩව වර්ධනය වූ ක්‍ෂෙත‍්‍රයක් තමයි සංචාරක ව්‍යාපාරය. නමුත් පසුගිය ජුනි, ජූලි මාසවල අනෙක් වසරවලට සාපේක්‍ෂව විදේශීය සංචාරකයින්ගේ යම් පසුබෑමක් සිද්ධ උනා. මෙය අපේ රටේ ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ, රැකියා ක්‍ෂෙත‍්‍රයේ විශේෂයෙන්ම හෝටල් ක්‍ෂෙත‍්‍රයට බලපෑමක් එල්ල කළා. එයට ප‍්‍රධාන හේතුව උනේ ඇතැම් රටවල් තමන්ගේ සංචාරකයින්ට ලංකාවේ සංචාරය කිරීම සෞඛ්‍යයට තරමක් අහිතකරයි කියලා නිවේදනයක් නිකුත් කිරීම. විශේෂයෙන්ම කසල සහ ඩෙංගු මෙහිදී ප‍්‍රමුඛතාවයෙන් යුතුව සඳහන් වෙලා තිබුණා. මේ පිළිබඳ විශේෂඥයෝ මෙතන ඉන්නවා. මේ දෙක අතර කොයි විදිහේ සම්බන්ධයක් තිබෙනවා ද කියන එක සොයා බැලිය යුතු කාරණයක්. මේ ගැටළුව ජයගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන් බෙහෙත් හේත් කරන්න. නමුත් මේ ඩෙංගු මදුරුවාගේ ස්වභාවයත් ඔහුගේ ව්‍යාප්තියත්, විටින් විට තමන්ගේ ස්වරූපය වෙනස් කර ගැනීමත් කියන කරුණු නිසා මේ ප‍්‍රශ්නය ඉතාම බරපතල ගැටළුවක් බවට පත් වුනා. පළවෙනි මාස 6 ඇතුළත 300 කට අධික පිරිසක්, විශේෂයෙන්ම දරුවෝ මිය ගියා. ඒ වගේම ලක්‍ෂයකට අධික පිරිසකට ඩෙංගු වැළඳුණ බවට වාර්තා ඇති වුණා.

මේ ඩෙංගු මදුරුවා පරාජය කිරීම සමාජ වගකීමක්, පුද්ගල වගකීමක්, අපි හැමෝගෙම වගකීමක් බවට පරිවර්තනය වෙනවා. කසළ කළමණාකරණයත් එහෙමයි. කසළ කළමනාකරණයත් ඒ විදිහට අපි හැමෝගෙම පෞද්ගලික පොදු ආයතනවල වගකීමක් වෙනවා. මීතොටමුල්ල සිදුවීමෙන් පස්සේ කොළඹ නගරය ඇතුළු මේ අවට ප‍්‍රදේශවලත් විශාල ලෙස කසළ ගොඩ ගැහුණා. ඒ වගේම විධිමත් කසළ එකතු කර ගැනීමේ කි‍්‍රයාවලියක් දියත් කරගන්න බැරි උනා. ඒ නිසා විශාල ප‍්‍රශ්න පැණ නැඟුණා. අපි ජූලි 05 වෙනිදා අපේ අමාත්‍යාංශයෙන් විශේෂ මැදිහත්වීමක් කරලා කොළඹ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ මේ යනාදි ප‍්‍රධාන මහානගර සියල්ලම අපේ යටතට අරගෙන ඒ කසළ විධිමත්ව බැහැර කරන්න, විධිමත්ව එකතු කරන්න කටයුතු කළා. එහිදී මේ රට ගැන ඉතාම කණගාටු දායක තොරතුරු ගණනාවක් අපට අනාවරණය උනා. විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ඉල්ලීම පරිදි ඇලවල් පවිත‍්‍රකරණය කරන්න ආරම්භ කළා. ජලය හි`ගකම නිසා ඇලවල්වලින් දුර්ගන්ධයක් පැතිරෙනවා. අපි දැකපු දෙයක් තමයි කොළඹ නගරයේ විශාල වශයෙන් මේ ගැටළුවලට හේතුව ජනතාව වැසිකිලි කැසිකිලි පාවිච්චියේදී ඔවුන්ට ඒවා අහිමි වීම නිසා, නැති වීම නිසා ඔවුන් එම කටයුතු සිදු කරන්නේ සිලි සිලි බෑග්වලට. ඉන්පසු ඒවා ඇලමාර්ගවලට විසිකිරීම මහා පරිමාණයෙන් තිබෙන විත්තිය ඇල මාර්ග සුද්ද කරන්න ගියහම දැනගත්තා. රටේ අධිවේගී මාර්ග හදන්න අපි ප‍්‍රකෝටි ගණන් වියදම් කරනවා. ඒ වගේම වෙනත් උමං මාර්ග, දර්ශනීය තළයන් හදන්න, අති විශාල වශයෙන් නගර අලංකරණය කරන්න වියදම් කරනවා. නමුත් වැසිකිළි කැසිකිළි නැති පිරිස් ඒ විදිහට කි‍්‍රයාකරනවා. මෙය ඉතා භයානක තත්වයක්. ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ හැමෝට අවශ්‍යයි. මේ හැමෝම මේ රෝග බීජ ව්‍යාප්තියට අනිවාර්යයෙන්ම බලපානවා.

ඒ වගේම ඇළ මාර්ග පිළිසකර කිරීමත් සෑම සතියකට වරක්ම කි‍්‍රයාත්මක කරනවා. නාවික හමුදාව අපිට ඒ තොරතුරු ලබාදෙනවා. ඒ අනුව සෑම සතියකම ඒ ඇළ මාර්ග පවිත‍්‍රකරණය සිදු කරනවා. නමුත් ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම්වලින් තොරව, ඒ වගේම ජනතාවගේ ජීවන තත්වය වෙනස් කිරීමකින් තොරව මෙය අපට ඉටු කර ගන්න බැහැ. ඒ නිසා මේ වෝටර්ස් ඒජ් ආයතනය තමන්ගේ හෝටලය අවට ප‍්‍රදේශය ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත ප‍්‍රධාන විනෝදාස්වාද නගරය බවට පරිවර්තනය වෙන්න නියමිතයි. ඒ නිසා මේ අවට ප‍්‍රදේශවාසීන් සමග එකතු වෙලා මේ කාර්යය සාධන බලකායක් හදලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයින්ගේ උපදෙස් ඇතිව ඩෙංගුවලින් විරහිත කලාපයක් බවට පරිවර්තනය කරන්න දරන උත්සාහය ඉතාමත්ම අගය කරනවා. එයට සෑම කෙනෙකුගේම සහයෝගය අපට අවශ්‍යයි. ආණ්ඩුවට විතරක් මේ කටයුත්ත කරන්න බැහැ. ආකල්පමය වෙනසක් අපට අවශ්‍යයි. ඒ වගේම පහසුකම්වල වෙනසක් අපට අවශ්‍යයි. ඒ වගේම රටේ ආයෝජන හරි තැන්වලට, ජනතාවට බලපාන දැනෙන තැන්වලට සිදුකිරීමේ අවශ්‍යතාවයත් මේ ඩෙංගු හා කසළ කළමණාකරණ සිදුවීම් වලින් අපේ රටට හොඳට පෙනී ගිහින් තිබෙනවා. මොකද කසළ කළමණාකරණයට අපි සත පහක්වත් ආයෝජනය කර නැහැ පසුගිය දශක ගණනාව තුළ. ඒ නිසා විශාල ගැටළු එම ක්‍ෂෙත‍්‍රයේ පැණ නැගිලා තිබෙනවා. ඒ නිසා මෙය උතුම් අවස්ථාවක් කරගෙන, මේ කටයුත්ත සාර්ථක කරගෙන රටට ආදර්ශයක් ලබාදෙන්න ඒ සියළු දෙනාමට හැකියාව ලැබේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා’ යයි පැවසීය.

scroll to top