චෝගම් ඇමතූ පැකර් ලංකාවේ රස, තලු මරා කියයි

Sri Lanka could be tourist mecca for rising Asian middle class: James Packer

දැඩි කතා බහට ලක්වී තිබෙන ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් අද පෙරවරුවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ඉන්දියාවේ හා චීනයේ ජනතාවගේ ආදායම් තත්ත්වය පිළිබඳව ඇති වෙමින් තිබෙන වෙනස්කම් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරික කටයුතු සඳහා හිතකර ලෙස අනාගතයේදී බලපානු ඇති බවයි.

ආසියාවේ ආදායම් තත්ත්වය ඉහළ යමින් තිබීම නිසා සංචාරක කර්මාන්තය සහ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ආසියානුවන් කරන ඉල්ලුම වේගයෙන් වැඩිවෙමින් තිබෙන බව මෙහිදී පැකර් පැවසීය.

2000 වසරේදී ඉන්දියානුවන් මිලියන 04 ක් පිට රටවල සංචාරය කර තිබෙන බවත් 2020 වනවිට සංචාර සඳහා පිටරට යන ඉන්දියානුවන් ප්‍රමාණය මිලියන 50 ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සංචාරක ආයතනය ඇස්තමේන්තු කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ඇස්තමේන්තු වලට අනුව නැගී එමින් තිබෙන චීන මධ්‍යම පන්තියද විදේශ සංචාර සඳහා දැඩි කැමැත්තක් දක්වන බව කීය. 2000 වසරේදී චීන ජාතිකයින් මිලියන 10 ක් විදේශ රටවල සංචාරය කර ඇතැයි පෙන්වා දුන් හෙතෙම පැවසුවේ 2011 වසරේදී එම ප්‍රමාණය මිලියන 70 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. 2015 දී එම ප්‍රමාණය මිලියන 100 ක් දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ජේම්ස් පැකර් රැස්ව සිටි දෙස් විදෙස් නියෝජිතයින් අමතා පැවසීය.

මේ නිසා, නැගී එන චීන සහ ඉන්දියානු මධ්‍යම පන්තියට අවශ්‍ය වන්නේ කුමක්දැයි සංචාරක අධිකාරීන් හා මෙහෙයුම් කරුවන් සොයා බැලිය යුතු බවත් නොමැති නම් සංචාරක කර්මාන්තයෙන් ජය ලබාගත නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ නැගී එමින් තිබෙන ඉන්දියානු හා චීන මධ්‍යම පන්තියේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස ලංකාව ඉදිරියෙන්ම තිබෙන බව ජේම්ස් පැකර් පෙන්වා දුන්නේය.

පැකර් විසින් චීන හා ඉන්දියානු සංචාරකයින් ඉලක්ක කර ඩොලර් මිලියන 400 ක පමණ ආයෝජනයකින් කැසිනෝ පහසුකම්ද ඇතුළත් මිශ්‍ර හෝටල් ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එයට අදාළ ගැසට් පත්‍රයට සංශෝධන සිදුකර ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව අරමුණු කර තිබෙන්නේ 2016 වන විට මෙරටට සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීමටයි.

2030 වසර වනවිට, චීනය තුළ සිටින මධ්‍යම පාන්තික පාරිභෝගිකයින් ප්‍රමාණය බිලියන 1.4 ක් දක්වා ඉහළ නගිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

පැකර් පැවසුවේ 2030 වනවිට යුරෝපයේ හා ඇමරිකාවේ සිටින මැද පන්තියේ පාරිභෝගිකයින් ප්‍රමාණය මිලියන 780 ක් පමණ වන බවත් මේ නිසා චීනයේ වෙළඳ පොළේ තිබෙන විශාලත්වය අවබෝධ කරගත හැකි බවයි.

ධනවත් චීන පාරිභෝගිකයින් සුපිරි සංචාර, සුපිරි හෝටල් හා අවන්හල්, සුපිරි විනෝදාස්වාද පහසුකම්, සූදු හා කැසිනෝ සඳහා නැඹුරුවක් තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

scroll to top