චීන මිතුරාගේ නිදහස් ගිවිසුම රටට සතුරුද ?

ඉන්දියාව සමග සෙපා ගිවිසුම ඇතිකර ගැනීමට ලංකාව වසර අටක් පමණ සාකච්ඡා කළේය. තවමත් එය අතර මගය. නමුත්, වසරකට ඩොලර් බිලියන 2.4 ක් තරම් ඉහළ වෙළඳ හිඟයක් තිබෙන චීනය සමග කඩිමුඩියේ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට කටයුතු කරමින් සිටී.

මේ පිළිබඳව බුද්ධිමතුන් සම්බන්ධ කර ගනිමින් ගැඹුරු කතිකාවක් ඇතිවී නොමැති අතර මෙම ගිවිසුමේ මූලික වැඩ කොටස් මෙම දෙසැම්බර් අවසානය වනවිට අවසන් කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟතාවය පළකර ඇත. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ වෙළඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ජාත්‍යන්තර වෙළඳ නියෝජිත Yu Jianhua මහතා විශ්වාසය පලකළේ මෙම නිදහස් වෙළඳ ගිවිසුමට 2014 වසරේදී එළඹිය හැකි බවයි.

චීනය යනු ශ්‍රී ලංකාවට දෙවැනියට වැඩිම ආනයන සිදුකරන රටයි. පසුගිය වසරේ චීනය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වෙළඳාමෙන් ලංකාව පාර්ශවයෙන් සිදුවූ පාඩුව ඩොලර් බිලියන 2.4 කි.

එයින් කියවෙන්නේ කුමක්ද ? ලංකාව චීනයට භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් ලැබූ ආදායම චීනය ලංකාවට භාණ්ඩ හා සේවා ලබාදී ලබාගත් ආදායමෙන් අඩුකළ විට ලංකාවට ඩොලර් බිලියන 2.4 ක හිඟයක් හෙවත් පාඩුවක් සිදුව තිබෙන බවයි.

මෙය සුළු පටු හිඟයක් නොවේ. මෙවැනි හිඟයක් නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම මගින් තව තවත් වැඩිවේද ? අඩුවේද ? ලංකාව පාර්ශවයෙන් එය අපට ඉතාමත් වැදගත් ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපතිවරයා පසුගියදා පවසා තිබුණේ ශ්‍රී ලංකාව සමග වෙළඳ ගනුදෙනු කිරීම මගින් ඔවුන් ලබා ගන්නා ලාභය අති දැවැන්ත බවයි. එය අඩුකර ලංකාවටත් යම් සහනයක් ලබාදීමට කැමැත්තෙන් සිටින බවත් දේශපාලනික වශයෙන් ලංකාව චීනයට ඉතාමත් වැදගත් රටක් බවත් ඔහු කියා තිබුණි.

චීනය ලංකාවටත් ලංකාව චීනයටත් දේශපාලනික වශයෙන් වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. අනාගත ලෝක බලවතා වීමේ ගති ලක්ෂණ හොඳින් පෙන්නුම් කර තිබෙන චීනය සමග ශක්තිමත් මිතු දමක් පවත්වා ගැනීම ලංකාව පාර්ශවයෙන් හයියකි. නමුත්, චීනයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, ශ්‍රමබලකාය, මිල මට්ටම්, ආයෝජන ශක්තිය, වැනි ආර්ථික කරුණු සැසඳීමේදී ලංකාව සිටින්නේ චීනයට වඩා පසු පසිනි. මේ නිසා, ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපතිවරයා කුමක් කීවද චීනය වැනි රුසියෙකු සමග නිදහස් වෙළඳ ගිවිසුමකට යෑමේදී පරිස්සම් විය යුතුය. වඩාත් ගැඹුරින් හැදෑරිය යුතුය.

දෙරට අතර තිබෙන ආර්ථික තරගයේදී දැනටමත් ගව් ගණනක් ඉදිරියෙන් සිටින චීනයට ලංකාවේ කර්මාන්ත බිලි නොවන ආකාරයට ඉතාමත් සැලකිල්ලෙන් මෙම තීන්දු තීරණ ගත යුතුය. මෙවැනි නිදහස් වෙළඳ ගිවිසුමක් මගින් චීනයේ නිෂ්පාදන විශේෂඥතාවය, දැනුම ලංකාවේ නිෂ්පාදකයින්ට ලබාගත හැකි බවත් ලංකාවේ නිෂ්පාදන වලට චීන වෙළඳ පොළ වඩාත් විවෘත වනු ඇති බවත් සත්‍යයකි. එසේම, ඇඟලුම් කර්මාන්තය සම්බන්ධයෙන් වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙන මෙම ගිවිසුමේදී ලංකාවේ නිෂ්පාදකයින්ට චීන සුප්‍රසිද්ධ ඇඟලුම් සන්නාමවල ඇනවුම් ලබාගත හැකි බවත් දැනට ඩොලර් බිලියන 2.5 ක් වන ලංකාවේ වාර්ෂික ඇඟලුම් ආනයන ආදායම 2016 වසර වනවිට ඩොලර් බිලියන 05 ක් දක්වා වර්ධනය කර ගැනීමට මෙම ගිවිසුම ඉවහල් වනු ඇති බවත් ඇතමුන් ගොඩනගන තර්කයකි.

මෙවැනි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයෙන් පමණක් නොවේ. ලංකාව හා ඉන්දියාව මෙන්ම ලංකාව හා පාකිස්තානය අතර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම් භාවිතා කරමින් ලංකාවේ සිට එම වෙළඳ පොළ වලට තීරු බදු රහිතව භාණ්ඩ යැවීමේ අවස්ථාව මේ නිසා චීනයට විවෘත වේ.

එසේම, පවතිනවාට වඩා සහනශීලි ආකාරයෙන් ශ්‍රී ලංකා වෙළඳ පොළට ඇතුළුවීමේ අවස්ථාව චීන නිෂ්පාදන හා ආයෝජන වලට මෙම ගිවිසුම නිසා නිසැකවම ලැබෙනු ඇත.

මේ නිසා, රාජ්‍ය මට්ටමින් දෙරටේ නිළධාරීන් සිනා සී අතට අතදී මෙවැනි ගිවිසුමක් මගින් සටනට යොමු කරන්නේ දෙරටේ කර්මාන්ත කරුවන්ය. ලොතරැයියකින් පෙන්වන ත්‍යාග මුදල වඩාත් වැඩිවන විට ජනතාව වඩ වඩාත් ටිකට් පත් මිලදී ගනිති. ඒ අපේක්ෂාව ඉහළට එසවෙන නිසාය. චීනය තරම් දැවැන්ත වෙළඳ පොළක් පෙන්වන විටද අපිට ඇති වන්නේ එවැනිම සුවිශාල වූ අපේක්ෂාවකි. නමුත්, තරගයේ බොහෝ අංශ වලදී චීනය ප්‍රබල බවත් අපි දුබල බවත් තේරුම් ගෙන මෙවැනි ගිවිසුමකට ඇතුළත් කළ යුත්තේ කිනම් කරුණු දැයි තීරණය කිරීම ඉතාමත් වැදගත්ය. නොමැති නම් සිදුවන්නේ ගිවිසුමෙන් අපි ඵල නෙලනවාට වඩා කිහිප ගුණයකින් චීනය ඵල නෙලීමයි. එවිට චීන වෙළඳාමෙන් ලංකාව පාර්ශවයෙන් තිබෙන වෙළඳ හිඟය තව තවත් වැඩිවනු ඇත.

මේ නිසා, චීනය හා ලංකාව අතර වෙළඳාමේදී ලංකාව පාර්ශවයෙන් තිබෙන දැවැන්ත පාඩුව අඩු කිරීමට චීනය අදහස් කර ඇතැයි මෙරට සිටින චීන තානාපතිවරයා කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වඩාත් පරිස්සම් විය යුතුය.

ජයන්ත කෝවිලගොඩගේ

scroll to top