චීන ඉන්දියානු යුද්ධයක් අත ළඟද? – අමාත්‍ය පාඨලී

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පසුගියදා චීන ආරක්‍ෂක ඇමතිවරයා ඉන්දියාවට කිසියම් අවවාදයක් නිකුත් කරනු ලැබුවා. එනම් තමයි 1962 දී සිදු වූ දේ නැවත සිතා බලන්නැයි කියා. එයට ප‍්‍රතිචාර දැක්වූ ඉන්දීය ආරක්‍ෂක ඇමතිවරයා ප‍්‍රකාශ කළේ අද තිබෙන බලගතු ඉන්දියාව 1962 දී තිබූ ඉන්දියාව නොවන බවයි. ඉන්දියාවත් චීනයත් අතර දේශ සීමා අරගලයක් ඇරඹෙමින් තිබෙනවා ද කියන සැකය මේ ප‍්‍රකාශ සමග සිදුවෙනවා. ඔවුන්ගේ මේ ප‍්‍රකාශවලට මුල් උනේ විශේෂයෙන්ම සිකීම් ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක චීනය විසින් ඉන්දියාවට තමන්ගේ බල ප‍්‍රදේශ ආක‍්‍රමණය කළා යැයි චෝදනාවක් එල්ල කිරීමත්, එම ප‍්‍රදේශයේ හින්දු ආගමික වතාවත් සඳහා ගමන් කරමින් සිටි පිරිසකට යම් හිරිහැරයක් කිරීමට චීන හමුදා ඉදිරිපත් වූ බවට එල්ල වූ චෝදනා හා මාධ්‍ය වාර්තා නිසයි. කෙසේ වෙතත් සිකීමය, භූතානයේ මීට සමාන්තර ප‍්‍රදේශයක මහා මාර්ගයක් තැනීම සම්බන්ධයෙනුත් ඉන්දියාව විසින් චීනයට සිය විරෝධය පළ කර තිබෙනවා. එයටත් අමතර වශයෙන් කාෂ්මීරයේ පකිස්ථානයට අයිති ප‍්‍රදේශය හරහා ප‍්‍රධාන ආර්ථික කොරිඩෝවක්, පකිස්ථාන – චීන ආර්ථික කොරිඩෝවක් ඉදිකිරීම ගැනත් ඉන්දියාව චීනයට දොස් නගා තිබෙනවා. මෙය ඉන්දියාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් ලෙසයි ඉන්දීය අගමැතිවරයා ප‍්‍රකාශ නිකුත් කර තිබුණේ.

මේ අනුව පෙනී යන්නේ කිසියම් ආකාරයට ඉන්දියාවත්, චීනයත් අතර දේශපාලනික ආතතියක් ඇතිවෙමින් තිබෙන බවයි. මේ දේශපාලන ආතතිය යුධකාමී දෙයක් බවට පරිවර්ථනය වීමට ඉඩ ඇති ද යන්න ගැනත්, එහි ප‍්‍රතිඵල කවර ආකාරයකින් අපේ රටට, ලෝකයට කෙසේ බලපායි ද යන්න ගැනත් අපි සලකා බැලිය යුතුම වෙනවා. ඇත්තටම චීනය හා ඉන්දියාව යන රටවල් දෙකම මේ ආසියාවේ විශාලතම රටවල්. ජනගහණය වශයෙන් ගතහොත් ලෝකයේම විශාල රටවල්. මේ රටවල් දෙකේම ජනගහණය මිලියන 1,300 කට අධික ප‍්‍රමාණයක් වාසය කරනවා. ඒ අනුව බිලියන 1.3 ක ජනගහණයක් මේ රටවල් දෙකේම ආසන්න වශයෙන් වාසය කරනවා. වැඩිකල් නොගොස් ලෝකයේ වැඩිම ජනගහණය ජීවත්වන රට හැටියට චීනය පරදවා ඉන්දියාව පත්වෙන බවටත් යම් යම් අනාවැකි පළවී තිබෙනවා. ඒ අනුව ලෝකයේ විශාලතම ජනගහණයකින් යුතු රටවල් දෙක ඉන්දියාව හා චීනයයි. ඒ වගේම ආසියාවේ විශාලතම රටවල් දෙකත් මේ රටවල් දෙකයි. මේ රටවල් දෙකම ශ‍්‍රී ලංකාවට ඓතිහාසික වශයෙනුත්, වර්තමානයේ ආර්ථික සමාජ දේශපාලනික වශයෙනුත් අතිශයින්ම වැදගත් රටවල් දෙක බවටත් පරිවර්ථනය වී තිබීම නිසා, මේ රටවල් දෙක අතර ගැටුම අපේ රටට ඉතාම බරපතල ආකාරයෙන් බලපෑමට ඉඩ තිබිය හැකියි.

චීනයත් ඉන්දියාවත් දෙකම ඓතිහාසික රාජ්‍යයන් දෙකක්. මේ රාජ්‍යයන් දෙකේම ඉතිහාසය ගත් කල් හි අවුරුදු 3,000 කට එපිට ඉතිහාසයකට නෑකම් කියනවා. ඒ වගේම හිමාලය පසුබිමේ තබාගෙන එහි දේශ සීමාව පසුබිමේ තබාගෙන මේ රාජ්‍යයන් දෙක එකට පැවතීම නිසා මේ රාජ්‍යයන් දෙක අතීතයේ විශාල සංස්කෘතික, වෙළඳ ආදී සම්බන්ධතාවන් විශාල ප‍්‍රමාණයක් ගොඩ නැගී තිබුණ බවත් රහසක් නෙමෙයි. අපි දන්නා ඉතිහාසය තුළ චීනය ආර්ථික හා වෙළඳ කි‍්‍රයාවලිය පැත්තෙන් හැම විටම ලෝකයේ මහා ඉහළින් හිටියා. භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම චීනය එදා සිටම පැවතුණු තත්වයක්. විශේෂයෙන්ම 15 වන සියවස පමණ වන විට චීනය බීජිං නගරය පදනම් කරගෙන විශාල වාණිජ ආධිපත්‍යයක් මහ මුහුදේත් ඒ වගේම ගොඩබිමත් පවත්වාගෙන ගියා. සේද මාවතේ ස්වර්ණමය යුගය ඒ 15 වන සියවසේ ඇති වූ තත්වයයි. ඒ අවස්ථාවේදී චීනයේ ෂෙන් හෝ වැනි සෙන්පතියන් නිසා ශ‍්‍රී ලංකාවටත් ඉන්දියාවටත් විශාල වශයෙන් ඔවුන්ගේ වෙළඳ නැව් පැමිණීම සිදු වුණා. එය විශේෂයෙන්ම අරාබියේ සිට පැමිණි වෙළෙන්දන් හා චීන වෙළෙඳුන් අතර මේ ප‍්‍රදේශයේ විශාල වාණිජ වෙනසක් ඇති වෙමින් තිබූ වකවානුව ලෙස හඳුනාගත හැකියි. චීනය වාණිජ හා තාක්ෂණික කාරණා අතරින් එයින් ඉදිරියට යන සම්ප‍්‍රදායක් ඇතිකර ගත්තත්, ඉන්දියාව තමා බොහෝ ආගමික දැනුම පිළිබඳ කාරණා වලදී ප‍්‍රමුඛ විය. ලෝකයේ අද පහළ වී තිබෙන බොහෝ ආගම් මැද පෙරදිගින් හෝ ඉන්දියාවෙන් ජනිත වූ ආගම්. ඒ නිසා විශේෂයෙන්ම බෞද්ධාගම මෙලෙස ඉන්දියාවෙන් චීනය කරා ගමන් කළ ආගමක්. විශේෂයෙන්ම ඉන්දියාවේ සිට චීනයට බෞද්ධාගමේ මූලධර්ම පැමිණියා පමණක් නෙමෙයි චීනයේ සිට ඉන්දියාවට 6 වන සියවසේ සිට පැමිණි විවිධ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, නාලන්දාව, තක්ෂිලාව වැනි ආයතන හරහා විශාල ධර්ම දැනුමක් චීනයට රැගෙන ගිය බවත් සම්බුද්ධ ශාසනය එහි ස්ථාපිත කළ බවත් වාර්තා වෙනවා. ඊට අමතරව විශාල දැනුම් පද්ධතියක් ඔවුන් ඉන්දියාවෙන් රැගෙන ගිය බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාව හා චීනය අතර කිසියම් ආකාරයක ගැටළුකාරී තත්වයක් ඇති වුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ඉන්දියානු සෙබළුන් සහ ඉන්දියාවේ සිට පටවනු ලබන අබිං චිනයට රැගෙන යාම නිසයි. මේ නිසා සුප‍්‍රසිද්ධ ෂැං හයි අබිං යුද්ධය ආරම්භ උනා. ඒ අවස්ථාවේදී ඉන්දියාවේ ඇතැම් සෙබල කණ්ඩායම් චීනයට එරෙහිව සටන් කළ බව වාර්තා වෙනවා. මේ නිසාම විශේෂයෙන්ම පන්ජාබි, ඒ වගේම සිපෝයි ආදී වශයෙන් වෙච්ච සෙබල කණ්ඩායම්වල ප‍්‍රහාරයන්වලට චීනයට මුහුණ දීම නිසා ඉන්දියාව කෙරෙහි යම්කිසි ආකාරයක චකිතයක් සහ වෛරී ආකාරයක් බි‍්‍රතාන්‍යයන් කෙරෙහි තිබුණත්, ඉන්දියානු ජනතාව සිටියේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවීමේ මහා සටනකයි. ඒ අනුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ගැලවීමෙන්, ජපන් පැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමේත් උවමනාව නිසා ඉන්දියාවේ ජාතික කොංග‍්‍රසයත් එමෙන්ම, චීනයේ කෝමින්ටාන් හා කොමියුනිස්ට්වාදීන් සියළු දෙනා අතරත් කිසියම් ආකාරයක සහෝදර බැම්මක් ඇති වුණා. මේ නිසා 1950 දශකය මේ ජාතීන් දෙකටම අතිශය වැදගත්වුණා. මේ ජාතීන් දෙකම හින්දි, චීනි බායි බායි චීනය හා ඉන්දියාව සහෝදරවරු යන සංකල්පය යටතේ ඉන්දීය නායකයා ලෙස ජවහල්ලාර් නේරුත්, චීන නායකයා ලෙස මා ඕසේතුනුත් එකට එකතුවෙලා විශාල බැම්මක් මේ කලාපය තුළ ගොඩනැගුවා. එහි ප‍්‍රතිඵලය උනේ ඉන්දියාව 1950 දී සමාජවාදී චීනය, රතු චීනය, මා ඕගේ චීනය පිළිගැනීමට රාජ්‍යතාන්ත‍්‍රික ලෙස ඉදිරිපත් වීමයි. මේ ජාත්‍යන්තරයේ චීනයට ලැබුණු විශේෂ තත්වයක් වෙනවා. ඒ වගේම 1954 දී චීනය සමග රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ඇති කර ගන්නත් නේරු පසුබට උනේ නැහැ. ඒ අනුව 1950 දශකය චීනය හා ඉන්දියාව එක පැත්තකින් ලෝකයේ පෑගෙන පීඩිත රටවලට නායකත්වය දෙන ප‍්‍රධාන බලවේගයක් උනා පමණක් නෙමෙයි, ඒ රටවල් ටික එකමුතුව ආසියාවේ නැවත නැගීමකට විශාල හේතුවක් උනා. ඇත්තටම නොබැඳි ව්‍යාපාරය, ජවහල්ලාර් නේරු සහ බණ්ඩාරනායක මැතිණිය වැනි අය ඉදිරිපත් වී ගොඩනැගූ අවස්ථාවේදී එයට විශාල වශයෙන් ආශිර්වාද කරපු රටක් හැටියට චීනය හඳුනාගන්න පුළුවන්. කෙසේ වෙතත් 50 දශකය අවසන් වෙනකොට චීනයත්, ඉන්දියාවත් අතර යම් ගැටුම්කාරී තත්වයක් මතුවෙමින් තිබුණා. එහි පළමුවෙනි පියවර වූයේ ටිබෙටය නමින් හඳුන්වන ප‍්‍රදේශයේ සිට පැමිණි දලයිලාමා ඇතුළු පිරිස ඉන්දියාවේ ලැගුම් ගැනීම චීනයේ නොරිස්සුමට හේතු සාධක වීමයි. ඉන්පසු කාශ්මීරය පිළිබඳ ගැටළුව පැන නැගුණා. ඒ අවස්ථාවේදී කාශ්මීරයේ දේශසීමාව පිළිබඳ ගැටළුව මත, ඉන්දියාව හා චීනය අතර විශාල යුද්ධයක් ඇවිලි ගීයා.

1962 දී නේරුගේ පාලන කාලය අවසන් අදියරේ ඇති වූ මේ යුද්ධය කෙලවර වුණේ ඉන්දියාව භයානක යුධ පරාජයකට මුහුණ දීමෙන්. මෙය නේරුගේ ජීවිතයට භයානක ලෙස බලපෑවා පමණක් නෙමෙයි ශී‍්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැදිහත් වෙලා, සෝවියට් සංගමයට, ඇමරිකාවට ඒ වගේම ලෝකයේ වෙනත් රටවලට බලපෑම් කරලා චීනය හා ඉන්දියාව අතර සමගි සන්ධානය ඇති නොකරන්නට එම සටන භයානක ප‍්‍රතිඵල ඉන්දියාවට අත්පත් කර දෙන්නට ඉඩකඩ ලැබුණා. කෙසේ වෙතත් ඉන්දියාව මේ සටනින් ප‍්‍රබල ප‍්‍රයෝජන ලබාගත්තා. ඔවුන් ප‍්‍රබල ආදර්ශයන්, අත්දැකීම් ගණනාවක් ලබාගත්තා. 1967 දීත් මෙවැනිම ආකාරයට නොවුනත්, යම්කිසි ආකාරයක සුළු යුධ ගැටුමක් ඇති වුණා. 1987 දීත් එවැනිම යුධ ගැටුමක් චීනය හා ඉන්දියාව අතර ඇති වුණා. කෙසේ වෙතත් චීනය හා ඉන්දියාව අතර හිමාලය වටා වැටී තිබෙන මේ දේශ සීමාවේ භූතානයේ, සීකීමය, අරුණාචලම් ප‍්‍රදේශය ආදිය සම්බන්ධයෙන් දේශ සීමා ගැටළු තවමත් විසඳී නැහැ. ඒ වාගේම කාශ්මීරය පිළිබඳ ගැටළුවේදීත් චීනය හා දේශ සීමා ගැටළුව විසඳී නැහැ. මේ තත්වය තුළ 1988 දී රජිව් ගාන්ධි අගමැතිතුමා චීන සංචාරයක නියැලූනා. මේ මගින් චීනය හා ඉන්දියාව අතර විශාල සබඳතාවයකට මුල පිරුණා. එහි ප‍්‍රතිඵලය උනේ 1993 දී චීනය හා ඉන්දියාව අතර නරසිංහ රාඕ අගමැතිතුමාගේ කාලයේදී බලගතු දේශසීමා ගිවිසුමක් අත්සන් කිරීමයි. මේ ගිවිසුමේ සාර්ථකත්වය පිළිබඳව ඉන්දීය රාජතාන්ත‍්‍රිකයන්ගේ අදහස නම් එම ගිවිසුමෙන් පසු ඉන්දීයාවට තමන්ගේ ඊසාන දිග ප‍්‍රදේශයෙන් හෝ නැගෙනහිර ප‍්‍රදේශයෙන්, උතුරු ප‍්‍රදේශයෙන් එල්ල වූ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් හෝ ත‍්‍රස්තවාදී කරුණු කටයුතු වලින් කිසිම අනතුරක් සිදු නොවුණ බවයි. ඒ අනුව චීන දේශ සීමාව හරහා කිසිම ආකාරයක ත‍්‍රස්තවාදී කටයුත්තක් ඉන්දියාවට සිදු නොවුණ බව ඒ රාජ්‍යතාන්ත‍්‍රිකයින් විශ්වාස කරනවා. ඒ වගේම එය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලෙසයි ඔවුන් සලකන්නේ එම 1993 ගිවිසුමෙන්. ඊට පසු ඉතා ඉක්මනින් චීනය, ඉන්දියාව ආර්ථික අතින් පරදවමින් බලගතු රටක් බවට පරිවර්ථනය උනා.

ඉන්පසු විවිධ ආණ්ඩු යටතේ, මන්මොහන් සිං අගමැතිතුමාගේ ආණ්ඩුව යටතේ, නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාගේ ආණ්ඩුව යටතේ ඉන්දියාව හා චීනය අතර වාණිජ සම්බන්ධතා සීග‍්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තත් ක‍්‍රමක‍්‍රමයෙන් පසුගිය වසරේ සිට චීන සමාගම් මැසිවිලි නගන්න පටන් ගත්තා ඉන්දියාවෙන් ඔවුන්ට නොයෙක් හිරිහැර සිදුවෙන බවට. මෙයට හොඳම උදාහරණය වනුයේ ලෝකයේ ප‍්‍රධානම ඉලෙක්ට්‍රොනික් උපාංග ආයතනය වන හුවායි ආයතනය තමන්ට ඉන්දීය බලධාරීන් එහි ව්‍යාපාර කටයුතු කරන්නට ඉඩ නොදෙන බවට කළ බලගතු චෝදනාවයි. ඒ වගේම මේ කාලය වන විට අලුත් තත්වයක් උදා වී තිබෙනවා. ඒ අලුත් තත්වය තමයි චීනයේ නව දේශපාලනික ආර්ථික ප‍්‍රවිශ්ඨය. ඒ ප‍්‍රවිශ්ඨය තමයි අපි ඕ.බී. ඕ.ආර්. නමින් හඳුන්වන එනම් එක තීරයක්, එක මාවතක් නමැති 21 වෙනි සියවසේ සේද මාවතේ කතාව. චීනය ගොඩබිම් මාර්ගය හරහා, හිමාලය හරහා යුරෝපයට මහා මාර්ග පද්ධතියකුත්, දුම්රිය මාර්ග පද්ධතියකුත් සකසමින් තිබෙනවා. සකසා තිබෙනවා. ඊට සමාන්තරව චීනය විසින් ආර්ථික කොරිඩෝර ගණනාවක් විවිධ රටවල් හරහා නිර්මාණය කරමින් තිබෙනවා. ඒ ගොඩබිම් මාර්ගය මෙන්ම සේද මාර්ගය ද එකට යාවෙන ආකාරයටයි. ඒ වගේම විශේෂයෙන්ම පකිස්ථානයේ ගොඩනගා ඇති ග්වාඩා වරාය හරහා ආර්ථික කොරිඩෝවක් ඉදිකරමින් තිබෙනවා ඉන්දියාව විසින් මේ ආර්ථික කොරිඩෝවට තමාගේ විරෝධය පළකරමින් තිබෙනවා. එය කාශ්මීරය උඩින් ගමන් කරනවාය කියා. මෙයට චීනය දී තිබෙන පිළිතුර නම් ඔවුන්ගේ ප‍්‍රදේශයක් වන තායිවානය සමග ඉන්දියාව සිදු කරන ගණුදෙනුවත්, ටිබෙටයේ දලයිලාමාට දී තිබෙන දේශපාලන රැකවරණයත්.

කෙසේ වෙතත් මේ ඕ.බී. ඕ.ආර්. එනම් එක තීරයක් – එක මාවතක් ලෙස චීනය විසින් මේ මුළු කලාපයම උතුරු ඇමරිකාව ඇරෙන්නට අනෙකුත් සියළුම ලෝකයේ කලාපයන් එකට යාකරන මේ ආර්ථික කි‍්‍රයාදාමයන් ගැන ඉන්දියාව කිසියම් ආකාරයක සැකමුසුභාවයකින් සිටින බවයි පෙනී යන්නේ. ඉන්දියා ආර්ථික විචාරකයින්ගේ මතය නම්, ඉන්දියාව මෙය දේශපාලනික වශයෙන් හඳුනාගන්නේ නැතිව මේ ආර්ථික කි‍්‍රියාවලියට ඔවුනුත් එකතු විය යුතු බවයි. විශේෂයෙන්ම ෂැං හයි සම්මුතිය මගින් රුසියාව, මධ්‍ය ආසියාව, පකිස්ථානය, ඉන්දියාව හා චීනය එකට එකතුවී තිබෙන නිසා මෙය ඉතාමත් බලගතු ලෙස ඔවුන්ට බලපාන බවත් ඉන්දියාව මේ කි‍්‍රයාවලිය මගින් එකතු එකතුවෙනවා නම් ඉන්දියාවට ඉතා පහසුවෙන් යුරෝපයට භාණ්ඩ යැවීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් බොහෝ ආර්ථික විචාරකයින් පවසනවා. නමුත් ඉන්දියාව මේ දෙස බලන්නේ ආර්ථික කෝණයෙන් නෙමෙයි දේශපාලනික කෝණයෙන්. ඔවුන් කල්පනා කරන්නේ චීනය සිය ආධිපත්‍යය මේ මුළු කලාපයේම පැතිරවීමට මේ මාර්ග පද්ධතිය හා මේ නාවික මාර්ග පද්ධතිය යොදාගනු ඇතැයි කියා.

ඒ අර්ථයෙන් මේ දෙපිරිස අතර කිසියම් ගැටුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා පමණක් නෙමෙයි පසුගියදා නරේන්ද්‍ර මෝඩි මහතා ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයේදී මේ පිළිබඳව යම් සඳහනක් ඇති කිරීමට ඔහුට හැකි වුණා. ඒ අනුව ට‍්‍රම්ප් – මෝඩි සාකච්ඡාවලදී ඉන්දියාවේ අනන්‍යතාවයට, ස්වෛරීත්වයට බලපාන ආකාරයේ සංවර්ධන කි‍්‍රයාවලීන්වලට විරෝධතාවය ඇති වීම පිළිබඳව යම් එකඟතාවයක් ඇති කරගත්තා. එය චීනයට එරෙහිව ඇති කරගත්ත එකඟතාවයක් බව ඉතා පැහැදිලියි. ඒ අනුව මේ කලාපය තුළ දැනටමත් කිසියම් ආකාරයක යුධ දේශපාලනික ආර්ථික කඳවුරු දෙකක් නැවත බෙදී යමින් තිබෙනවා. එක් පාර්ශවයක ඇමරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය, ඉන්දියාව, හා ජපානය. අනෙක් පාර්ශවයට චීනය, රුසියාව, පකිස්ථානය හා ඉරානයත් ඇතුළු වෙමින් තිබෙනවා. මේ නිසා ලෝකය විවිධ රටවල් අනාගතයේ ඇතිවන මේ දෙපාර්ශවයේ ගැටුම දකුණු ඉන්දීය කලාපයටත්, දකුණු ආසියානු කලාපයටත්, ඉන්දියානු සාගරයටත් පැතිර යාම දැන් වැලැක්විය නොහැකි බවයි පෙනී යන්නේ. අද සිරියාවේ මේ කඳවුරු දෙක දෙපසට වී සටන් කරන ආකාරය වක‍්‍ර යුද්ධයකට නියැලී තිබෙන ආකාරය අපට දැක ගත හැකියි.

ඉතින් මේ තත්වය තුළ ඉන්දියාව කවර කි‍්‍රයාදාමයකට ගමන් කරයි ද කියන ගැටළුව පැන නගිනවා. අද මේ රටවල් දෙක ගත්තයින් පස්සේ, මේ රටවල් දෙක අතර යම් යම් සමානකම් වගේම අසමානකම් විශාලයි. මේ රටවල් දෙක අතර ගැටුමක් ඇති වුවහොත් මේ ගැටුම ලෝක ගැටළුවක් බවට පරිවර්ථනය වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා ඇති. එවැනි තත්වයක් තුළ කුමන ආකාරයක ප‍්‍රථිපල ලැබේදැයි කියන එක ගැන හිතා ගන්නටත් අමාරුයි. මොකද ඉන්දීය ජනගහනය මා කළින් සඳහන් කළා වගේ මිලියන 1300 යි. ඒ වගේම අද ඉන්දියාව ටි‍්‍රලියන 2.3 ක ආර්ථිකයක් සහිත බලගතු ආර්ථිකයක්. හැබැයි චීනය එමෙන් පස්ගුණයක් විශාල ආර්ථිකයක් බව අපි අමතක කළ යුතුයි. ඒ වගේම ඉන්දීය යුධ හමුදාව මිලියනයකට අධික ප‍්‍රමාණයක් එකවර සන්නද්ධ සටනකට යැවිය හැකි යුධ හමුදාවක්. චීන යුධ හමුදාව එමෙන් දෙගුණයක් විශාල රතු හමුදාවක්. ඉතාම විනයානුකූලව මධ්‍ය ගතව ගොඩනැගූ රාජ්‍යයක්. නමුත් ඉන්දියාව එවැනි බලගතු මධ්‍ය ගත රාජ්‍යයක් නෙමෙයි. ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවක බෙදුම්වාදී කැරළි තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ චීනයට සම්බන්ධ ප‍්‍රදේශවල එවැනි බෙදුම්වාදී සටන් අප‍්‍රමාණව පවතිනවා. ඒ වගේම රතු තීරය නමින් එහෙම නැත්නම් Red Belt නමින් හඳුන්වන ප‍්‍රාන්ත 14 ක මාවෝවාදී කැරළි කෝලාහල පවතිනවා. මේ මාවෝවාදී කැරළිකරුවන්ට හෝ මේ බෙදුම්වාදී කැරළිකරුවන්ට චීනය අවි සපයන බවක් හෝ චීනය ඔවුන්ව අනුග‍්‍රහය දක්වන බවක් පෙනෙන්නට නැහැ. නමුත් යම්කිසි ආකාරයක සන්නද්ධ කි‍්‍රයාවලියක් ඇති වුනොත් මේ කි‍්‍රයාදාමයන්ට උදව් කිරීමට යම් යම් ආකාරයට

මැදිහත්වීම් සිදුවන්නට ඉඩ නැතිවා නෙමෙයි. ඇත්තටම ඉන්දියාව යුධ දේශපාලනික අතින් එවැනි සටනකට යාමට සුදුසු තත්වයක නොවන බවයි බොහෝ දෙනෙකුගේ හැඟීම. කෙසේ වෙතත් මෙවැනි සටනකදී ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය බොහෝ දුරට පෙළගැසෙන්නේ ඉන්දියාව සමගයි.

එවැනි තත්වයක් තුළ ඉතාම බලගතු යුධ දේශපාලනික ත්ත්වයක් ඉන්දියාවත් හිමිවනවාට සැකයක් නැහැ. කෙසේ වෙතත් මෙය ඉතාමත්ම විය නොයුතු, එසේම වීම වැලැක්විය යුතු කි‍්‍රයාවලියක්. එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය මේ කි‍්‍රයාවලියට මැදිහත් වී මේ මහා රටවල් එක එකට ගැටීම වැලැක්වූවා සේ කවුරුන් හෝ මැදිහත් වී මේ මහා රටවල් දෙකේ මේ ගැටීම වැලැක්විය යුතුයි. ඇත්තටම මේ රටවල්දෙකට එකට ගමන් කරනවා නම් දෙපාර්ශවයටම ළඟාකර ගත හැකි විශාල බලාපොරොත්තු, විශාල හැකියාවන්, විශාල ප‍්‍රතිලාභ අපරිමිතයි. අනන්තයි. ඇත්තටම මේ රටවල් දෙක එකට හිතන තත්වයකට පත් කිරීමට කටයුතු කිරීම ගැන විශේෂයෙන්ම රුසියානු ජනාධිපතිවරයාට අපේ ප‍්‍රණාමය පිරිනැමිය යුතුයි. මේ මෑතදී පකිස්ථානය හා ඉන්දියාව කියන රටවල් දෙකම ෂැංහයි ආරක්‍ෂක සංගමයට බඳවා ගැනීම තුළින් මේ රටවල් දෙක අතර තිබෙන යම් යම් ගැටුම්කාරී තත්වයන් විශේෂයෙන්ම පකිස්ථානය හා ඉන්දියාව අතර අතුරු ගැටුමටත් කිසියම් ආකාරයක මෙහෙවරක් කරන්න ඔහුට හැකියාව ලැබීම මේ කලාපයට සහනයක්.

කෙසේ වෙතත් චීනය ලංකාවේ විශාලතම ආයෝජකයා. ඒ වගේම ඉන්දියාව ලංකාවට ආසන්නයෙන්ම පවතින භූ දේශපාලනික මිතුරා. ඒ වගේම ලංකාව අතීත දේශපාලනයේ බොහෝ දුරට අවුල්වීමට මේ ඉන්දියාව සමග ඇති සම්බන්ධය බලපාන බව තිස් අවුරුදු ත‍්‍රස්තවාදී යුද්ධයෙන් අපි ඉගෙන ගත් බලගතුම පාඩම. ඒ නිසා මේ රටවල දෙක අතර ඇතිවන, අරුනාචලම් ප‍්‍රදේශය වේවා, භූතානය වේවා, සීකීමය වේවා, කාශ්මීරය වේවා ගැටුම ඉන්දියානු සාගරයට ව්‍යාප්ත වීමට ඉඩ තිබෙනවා. එවැනි තත්වයක් තුළ අපට ආර්ථික, සමාජ, දේශපාලනික, අර්ථයෙන් ඒ ගැටුම බලපාන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා අප සියළු දෙනාම ප‍්‍රාර්ථනා කළ යුත්තේ එවැනි ගැටුමක් ඇති නොවිය යුතු බවත්, එවැනි ගැටුමක් වැලැක්වීමට හැමදේම අප කළ යුතු බවත් එවැනි ගැටුමකදී අපි සම්පූර්ණයෙන්ම නොබැඳි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි. අපට එක තීරයක් – එක මාවතක් ආර්ථිකමය වශයෙන් බලපාන භූගෝලීය වශයෙන් බලපාන අපට වැදගත් කි‍්‍රයාවලියක් මිසක් ඒ කිසිසේත්ම චීන කඳවුරකට අප බැඳෙන දේශපාලන කි‍්‍රයාවලියක් විය යුතු නැහැ. ඒ වගේම ඉන්දියාව යම් යම් ආරක්‍ෂක ව්‍යාපෘති සඳහා ඇමරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය, ජපානය ආදිය සමග එකට කටයුතු කළත්, අපට ඒවාට මැදිහත් වෙලා කටයුතු කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම ජපානය අපට විශාල වශයෙන් ආධාර කළ රටක් උනත් මෙවැනි දේශපාලන සම්බන්ධතාවයන් වලට බැඳීමට අප ගමන් කළ යුතු නැහැ. අපි දේශපාලනික වශයෙන් නොබැඳි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් අපට මේ ගැටුම්වලින් තොරව මේ රට බලගතු රටක් බවට පත් කිරීමට, මහ රටක් බවට පත්කිරීමට හැකියාව ලැබෙනු ඇත. එතනදී අපේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම ශක්තිමත් නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් විය යුතුයි. ඉන්දීය කලාපයම සාම කලාපයක් කිරීම සඳහා බණ්ඩාරණායක මැතිණිය ගෙන ආ යෝජනාව නැවත කරලියට ගෙනවිත් මේ කලාපය සාමය සුරක්‍ෂිත කිරීමට, කටයුතු කිරීමට මුල්තැන ගැනීමට ලංකාව ඉදිරිපත්විය යුතු බව ඉතාම පැහැදිලියි.’

scroll to top