ගෝලීය උණුසුමෙන් පීඩාවට පත්වන දූපත්වාසී ජනතාව වෙනුවෙන් සියළු රටවල් එකට එක්විය යුතුයි

රාජ්‍යයන්වල ආර්ථිකයන් ගොඩනගා ගැනීමේ පටු ජාතිකවාදී ක‍්‍රියාවලීන්ට එරෙහිව විද්‍යාවේ මහිමය පෙරට ගත යුතුයි. – ඇමති පාඨලී චම්පික රණවක

පසුගිය අපේ‍්‍රල් 22 වෙනදා මිහිකත දිනය වෙනුවෙන් ලෝකයේ වීදිවලට විද්‍යාඥයින් පිවිසුණා. එය ලෝක ඉතිහාසයේ පළමුවරට විද්‍යාව වෙනුවෙන් මිත්‍යාවට එරෙහිව විද්‍යාඥයින් විදිවලට පිවිසීම ලෙස හැඳින්විය හැකියි. මෙයට ප‍්‍රධාන හේතුව වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ගෝලීය උණුසුම නමින් කි‍්‍රයාවලියක් නොමැති බවත් එම කි‍්‍රයාවලියට මුවා වී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය අඩපණ කරවන සුළු කි‍්‍රයාදාමයක විද්‍යාඥයින් නියැලී ඇති බවත් ප‍්‍රකාශ කරමින් එම ගෝලීය උණුසුම සම්බන්ධයෙන් වූ පැරිස් සම්මුතිය අවලංගු කිරීමට කටයුතු කළ නිසයි.

මේ වන විට එම ගැටළුව ඉතා තීරණාත්මකව නැගෙමින් තිබෙනවා. ඒ පසුගියදා ඇති වූ විද්‍යාත්මක දත්තමගින්. එම දත්තවලට බොහෝ දුරට දායක වී තිබෙන්නේ ඇමරිකාවේ නාසා ආයතනය ඇතුළු තවත් ආයතන ගණනාවක්. එහිදී පෙනී ගොස් තිබෙන ඉතාම වැදගත් කරුණක් තමයි, ආක්ටික් සාගරයේ තිබෙන ස්ථිර හිම 1980 ට සාපේක්‍ෂව 45% කින් පමණ සම්පූර්ණයෙන්ම දියවී ගොස් ඇති බවයි. කලකට පෙර උතුරු ඇමරිකාව හා යුරෝපය විශේෂයෙන්ම රුසියාව සහ උතුරු යුරෝපය අතර කෙටි මුහුදු මාර්ගයක් මේ අයිස්කඳු දියවීම නිසා ඇතිකර ගන්නට හැකිවනු ඇතැයි ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැනටමත් ඒ සඳහා පරමාණු බලශක්තියෙන් දිවයන නෞකා පද්ධතියක් යොදාගෙන තිබෙනවා.

ඒ වගේම මේ ආක්ටික් මහා හිම කන්දට යට වී තිබෙන විශාල පොසිල ඉන්ධන ප‍්‍රමාණයක් මෙයින් ගොඩදාගන්න පුළුවන් කියන හැඟීමත් මේ රටවල්වලට තිබුණා. නෝර්වේ, උතුරු එංගලන්තයේ සහ උතුරු මුහුදේ විශාල වශයෙන් තෙල් හා ගෑස් සම්පත තිබෙනවා. මේ හිමකන්ද දියවී ගියහොත් ඒ මහා තෙල් හා ගෑස් සම්පතෙන් තවත් විශාල කොටසක් ගොඩදාගැනීම මගින් ලෝකයේ බලශක්ති ගැටළුවට විශාල පිළියමක් වෙයි කියා මහා බලාපොරොත්තුවක්, නෝර්වේ ස්වීඩ්න්, එංගලන්තය, රුසියාව වැනි රටවලට තිබුණා. මෙහි වාසිදායක පැති ගැන හිතමින් මේ ආක්ටික් හිම කන්ද දිය වී යෑම ගැන බොහෝ බලාපොරොත්තු සහගතව බටහිර ලෝකයේ සහ උතුරු ලෝකයේ ජනතාව, දේශපාලකයින් ජීවත් උනා. නමුත් විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ ඒ ලැබෙන වාසිය වගේ කිහිප ගුණයක අවාසියක් මෙමගින් සිදුවෙමින් පවතින බවයි. පළමුවෙන්ම මේ ස්ථිර හිම දිය වී යාම නිසා ගෝලීය උණුසුම වැඩිවීමේ කි‍්‍රයාවලියට දරුණු බලපෑමක් ආකාර කිහිපයකින් එල්ල වෙනවා. එකක් තමයි මේ මහා හිම කන්ද විශාල දර්පනයක්, කන්නාඩියක් ලෙස කි‍්‍රයා කරමින් සූර්යාගේ උණුසුම් කිරණ ආපසු හරවා යවනවා. දැන් මේ හිම කන්ද දියවී ගියහොත් ඒ සූර්ය කිරණ කෙලින්ම උරා ගනු ලබන්නේ සාගරය විසින්. ඒ මගින් පෘථිවියේ උණුසුම තවත් ඉහළ යන්න නියමිතයි. අනෙක් පැත්තෙන් මේ හිමකඳු දියවී යෑමේ ප‍්‍රථිපළයක් හැටියට මේ හිම මත සිරවී තිබෙන මීතේන් ආදී ලෝකයේ උණුසුම වැඩිවීමට බලපාන වායූන්, වායුගෝලයට මහාපරිමාණයෙන් නිකුත් වීමට නියමිතයි. අපිත් තෝමෝ ෆ්‍රොරස්ට් යනුවෙන් හඳුන්වන මේ ස්ථිර හිම දියවී යෑම සිදුවුනහොත් අති විශාල මීතෙන් තොගයක් වායුගෝලයට ඇතුළුවීමට නියමිතයි. එමගින් ගෝලීය උණුසුම තවත් වැඩිවීමට ඉඩකඩ ලැබෙනවා.

ඒ වගේම මේ හිමකන්ද සම්පූර්ණයෙන්ම දියවීමෙන් සිදුවනුයේ සාගර ජලය වැඩිවීමයි. සාගරයේ ජල ම්ටටම ඉහළ යාමට මෙය ඉතාමත් තදබල හේතුවක් විශේෂයෙන්ම මේ සියවස තුළ සෙන්ටිමීටර් 74 කින් පමණ ඉහළ යතැයි බලාපොරොත්තුවන සාගර ජල මට්ටම තවත් ඉහළට ගමන් කිරීමට නියමිතයි. එය ඇතැම් විට මීටර් කිහිපයක් විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අඟවනවා. එසේ වුනහොත් බොහෝ දූපත් රාජ්‍යයන්ට සහ වෙරළවල ගොඩනගා ඇති නගරවලට බරපතල අනතුරුදායක තත්වයක් අතිවෙන්න නියමිතයි. එමෙන්ම උතුරේ තිබෙන හිම කන්දත් දකුණේ තිබෙන හිම කන්දත් කියන ආක්ටික්, ඇන්ටාට්ටික් හිම කඳු දෙක තමයි ලෝකයේ සුළං, මෝසම්වැසි ඒ වගේම දියරළවල ප‍්‍රවාහයන් තීරණය කරන්නේ. සූර්යයා පෘථිවි ගෝලයේ උතුරට යනවිට උතුර රත්වෙනවා. එවිට උණුසුම් වායුව, උණුසුම් ජලය පහළට ගමන් කිරීමට සිදුවෙනවා. සූර්යයා දකුණට ගමන් කරනවිට එවැනිම කි‍්‍රයාවලියක් ප‍්‍රතිවිරුද්ධ දිශාවට සිදුවෙනවා. දැන් ලංකාව වැනි රටවලට මෝසම් වැසි ලැබෙන්නේ මේ කි‍්‍රයාවලිය නිසා. උතුරේ උණුසම සහ අනෙකුත් ප‍්‍රදේශවල උණුසුම අතර පරතරය අඩු උනහම මේ සුළං රැළි, දිය රැළි, මේ මෝසම් වැසිවලට බරපතල බලපෑමක් එල්ල වෙන්න නියමිතයි. එල්නිනෝ, ලානිනෝ වැනි ආචරණයන් හි ඇතිවීම තවත් වේගවත් විය හැකියි. එනිසා අප වැනි මෝසම් වැසිවලින් යැපෙන රටවල්වලට මෙන්ම මුහුදු ජීවීන්ටත්, මුහුදු රළමත කි‍්‍රයාත්මක වන අනෙකුත් ස්වභාවික පරිසර කි‍්‍රයාවලීන්වලටත් මාරක බලපෑමක් මෙමගින් සිදුවෙන්න නියමිතයි. එපමණක් නොව මෙම යෝධ හිමකඳු දියවීමත් සමග සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය ගමන් කරන ඒ පථයට පෘථිවිය දක්වන්නේ අංශක 23.5 ක ඇලයක්. මෙම ඇලය වෙනස්වීමටත් මෙය බලපානවා. මෙමගින් පෘථිවියේ චම්බක ක්‍ෂෙත‍්‍රය වෙනස්වීමටත් බලපානවා. විශේෂයෙන්ම ගුවන් යානාවල ගමන් මාර්ගවලටත්, ගුවන් යානා අහසේදී අනතුරුවලට ලක්වීම මෙන්ම මග වැරදීමටත් මෙය සිදුවිය හැකියි.

එනිසා මුහුද දියවී යෑමෙන් තමන්ට මහත් ආර්ථික වාසි ලැබෙනවා යැයි උතුරු කලාපයේ ජීවත්වන ජනතාව කල්පනා කළාට ලෝකවාසීන්ටනම් එය භයානක අනතුරක්. මේ විද්‍යාඥයින්ගේ පාරට බැසීම ගැන අවිද්‍යාවට එමෙන්ම ආත්මාර්ථකාමී ආර්ථික කථනයන්ට, රාජ්‍යයන්වල තම තමන්ගේ ආර්ථිකයන් ගොඩනගා ගැනීමේ පටු ජාතිකවාදී කි‍්‍රයාවලීන්වලට එරෙහිව විද්‍යාවේ මහිමය අපි පෙරට ගත යුතුයි. විශේෂයෙන්ම නොබිඳිය හැකි විද්‍යාත්මක තර්කවලට ඉඩකඩ ලබාදිය යුතුයි. විශේෂයෙන්ම ගෝලීය උණුසුමෙන් පීඩාවට පත් වෙන දිවයින් වාසී ජනතාවට, පීඩිත ජනතාව වෙනුවෙන් ලෝකය එක තැනකට පැමිණිය යුතු අවස්ථාව එළඹ තිබෙන බව ප‍්‍රකාශ කල යුතුයි.

scroll to top