ගොඩනැගිලි අනුමත කර ගැනීමේදී නිසි කසළ කළමනාකරණ කි‍්‍රයාවලියක් තිබිය යුතුයි

Champika.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරන නිකසළ පුරවර මහල් නිවාසවල ජනනය වන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය පහසුකරලීම සඳහා තිරසාර විසඳුමක් ලබාදීමෙ අරමුණින් කි‍්‍රයාත්මක වන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. මෙම උත්සවය අද(16) දින බත්තරමුල්ල, සුහුරුපායේ 19 වන මහලේ පිහිටි ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘මේ රටේ මහජනයට වගකීමක් තිබිය යුතුයි තමන්ගේ කසළ අඩු තරමේ වෙන් කරලවත් පළාත් පාලන ආයතන වෙත භාරදීමට. ඒ වගකීම ඉටුකරන්නෙ නැතිව පාරට කුණු දමනවා. ඒ කුණු ගොඩවල්වල ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනවා. අණ්ඩුවට කුණු ටිකවත් එකතු කර ගන්න බැහැ කියා මතයක් ගොඩනගනවා. කුණු දාන්න යන තැන්වල විරෝධය පානවා. ඔය ටික තමයි අපට සමාජයේ දැක ගන්න පුළුවන් තත්වය. කසළ ගැන කියනවා නම් අපේ අමාත්‍යාංශයට කිසිම වගකීමක් නැහැ. නමුත් මේ කසළවලින් වැඩිම පීඩා විඳින අමාත්‍යාංශය අපේ අමාත්‍යාංශය. අපේ නාගරික සංවර්ධන අධිකාරියට, ඉඩම් සංවර්ධන සංස්ථාවට අයත් වටිනා ඉඩම්, පළාත් සභාවත් ඒ වගේම නාගරික ආයතනත් විනාශ කරමින් තිබෙනවා. කසළ දමමින්. හැබැයි ජනමාධ්‍ය ඉදිරියේ වීරයෝවගේ කතා පවත්නවා. මේවා අපට දුන්නනම් විසඳනවා, එක පුවත්පතක පළවුණා මීතොටමුල්ලේ කසළ එංගලන්තෙට ගෙනියන්න හැදුවා මෙගාපොලිස් හරස් උනා කියලා. එංගලන්තෙට එක කුණු කිලෝවක් රැගෙන ගොස් පෙන්නුවොත් ඔය පත්තර අයිතිකාරයයි, එය ප‍්‍රකාශ කළ අයයි මම මේ ධූරයෙන් හෙට ගෙදර යනවා. අමූලික බොරු පතුරුවනවා මේ වගකීම පැහැර හැරලා. දශක දෙකක් මේ ප‍්‍රශ්නය විසඳගන්න, විධිමත් පිළියමකට වැඩකරන්න පළාත් සභාවත් කොළඹ නගර සභාවත්, ඒ අදාල ආයතනත් සමත් වෙලා නැහැ. ඔවුන්ගේ තමයි මේ වගකීම. අපි මේ ඉටු කරන්න යන්නේ අපට සමාජමය පැත්තෙන් පැවරිලා තිබෙනව වගකීමක්. එසේම අපි අපේ තැන්වලට හෙට කසළ දමන එක නතර කළහොත් ඔය පණ්ඩිත කතා, වීරකතා පවත්වන කිසි කෙනෙකුට බිම් අඟලක් නැහැ ඒ කසළ ටික ගෙනිහින් දමන්න. එම නිසා අපි එවැනි අර්බුද කරා යොමුවන්නේ නැහැ. අපි වගකීමෙන් කි‍්‍රයාකරනවා.

මීතොටමුල්ලේ ඛේදවාචකයට වගකිව යුතු අයට හරිනම් මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. කොළඹ නගර සභාවත්, එය පාලනය කරන පළාත් සභාවත් එයට වගකිව යුතුයි. අවස්ථා හතරකදි දැනුම් දුන්නා එතනට කුණු දමන්න එපා කියලා. එය දිගටම කරගෙන ගියා එතැන විශාල ජාවාරමක් සිදු වූ නිසා. එතනට කොළඹ නගරයේ කසළ විතරක් නෙමෙයි පිටපළාත්වල කුණුත් ගෙනත් දැම්මා. අද ඇයි කඩුවෙල කුණු දමන්න තැනක් නැත්තේ. ඇයි කොලොන්නාවේ, වත්තල කුණු දමන්න නැත්තේ. රු.8,000 ට‍්‍රැක්ටර් ලෝඩ් එකකට මුදල් අරගෙන රු.2000 ට මීතොටමුල්ල ඇතෑරියා. අක්කර 21 ක වටිනා නාගරික ඉඩමක් විනාශ කළා. මතක තබා ගන්න ගෝල්ෆේස් පිට්ටනියේ සයිස් එක අක්කර 18 යි. මීතොටමුල්ල අක්කර 21 යි. කොච්චර විශාල ඉඩමක් ද කියලා බලන්න මේ විනාශ කර තිබෙන්නේ. මිලියන 1500 කට වැඩි ප‍්‍රමාණයක් වටින ඉඩමක් තමයි මේ නගර සභාවෙන් නාස්ති කර දැම්මේ. ඒ නිසා මේ කි‍්‍රයාවලිය නතර විය යුතුයි. තැන තැන කුණු දදා මේ කොළඹ විතරක් ලස්සනට තියාගෙන, කොළඹ නගරයේ අවලස්සන තෙත්බිම්වල වගුරු බිම්වල යුගය අපි අවසන් කළ යුතුයි. එතනදී මේ පුරවැසියන්ට විශේෂයෙන්ම මේ නාගරික මහල් නිවාසවල අයට දරුණු සමාජ වගකීමක් තිබෙනවා. ඒ සමාජ වගකීම ඔබත් එක්ක ඉටු කරන්නයි අද අපි මේ හමුව කැඳෙව්වේ. අපි හැමෝම ජීවත්වන කාලය තුළ කසළ නිර්මාණය කරනවා. මෙයට දශක දෙකකට, තුනකට කලින් නිර්මාණය කළ කසළවලට වඩා සංකීර්ණ කසළ ප‍්‍රමාණයක් අද අපි නිර්මාණය කරනවා. අද අපේ ආහාර දවටනවල දවටා තමයි අප භාවිත කරන්නේ. වෙනත් භාණ්ඩ හා සේවා ගොඩක් පරිභෝජනය කරනවා. ඇත්තටම අද කොළඹ නගරයේ අද සමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් දවසකට කසළ කිලෝවක් නිර්මාණය කරනවා. හැමෝම රාත්තල් දෙකහාමාරක පමණ කසළ නිපදනවා නොයෙක් ආකාරයෙන්. මේ කසළ අපි හිතලා බැලූවොත් වසරකට කිලෝ 365 ක්. අද ලංකාවේ සාමාන්‍ය ආයු කාලය ලෙස සලකන්නේ අවුරුදු 80 ක්. අවුරුදු 80 ක් කොළඹ නගරයේ ජීවත්වනවා කියා සිතුවොත් අපේ ජීවිත කාලය ඇතුළ කසළ ටොන් 30 ක් මහපොළවට මුදා හරිනවා.

අපි හැමෝම බොරැල්ල කනත්තේ වැලලෙන්න යනවා. ඒ සඳහා අඩි හයහාමාරක් දිග, අඩි තුනහමාරක් පළල වලක් කපනවා. ඒ වලේ තමයි අවසාන වශයෙන් වැලලෙන්නේ මිය යන මිනිසුන් ලෙස. හැබැයි අප මතක තබා ගත යුතුයි අපේ දේහය බොරැල්ල කනත්තේ වල දමන්න කපන වල වගේ 300 ගුණයක් විශාල වලක් අවශ්‍යයි අපි අවුරුදු 80ක් තිස්සේ බැහැරලන කසළ වලදමන්න. මීනි වලවල් 300ක් අවශ්‍යයි. එය තමයි අප විසින් මහපොලවට මුදා හරින කසළ ගොඩේ පරිමාව. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තිබෙනවා, ඒ වගේ 300 ගුණයක කුණු කන්දක් මේ අවුරුදු 80 ක කාලය තුළ උපතේ සිට මරණය දක්වා අප ගොඩගසනවා. මේ සඳහා විසඳුමක් අපට අවශ්‍යයයි.

1989 ඉඳන් මීතොටමුල්ලට කුණ ගෙනත් දැම්මා. හැබැයි මීතොටමුල්ලට කොළඹ කුණු එන්න ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය කුණු ප‍්‍රශ්නෙ විසඳන්න, සරත් එන් සිල්වා මහත්මයා රටේම ප‍්‍රශ්න විසඳන්න ගියා වගේ කුණු ප‍්‍රශ්නෙත් විසඳන්න ගිහින් මීතොටමුල්ලට කුණු දමන්න කියා නියෝගයක් දුන්නා. මුලින් මාස 6කට ඊට පස්සේ අවුරුදු 2 ට ඊට පස්සේ දිගටම. මුලින් අක්කර දෙකයි. ඊට පස්සේ 21 යි. මෙම වගුරු බිමේ දැන් කොහොම හරි ටොන් මිලියන 3 ක් කුණ තිබෙනවා. කුණු කන්ද නාය ගියහම එක්කෙනෙක්වත් ආවේ නැහැ එහි වගකීම භාර ගන්න. අපේ අමාත්‍යාංශය මගින් තමයි එහි වගකීම භාරගෙන එය ස්ථාවර කළේ. මාධ්‍යවලට ලොකු කතා කියන අය ඉන්නවා. මීතොටමුල්ල ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම ඒ කුණු දමපු අය වගකිව යුතුයි. මොකද ඒ කසළ කන්ද විධිමත්ව කළමනාකරණය කළේ නැහැ. මේ රටේ කැලෑ වල් අලියෙක්ගේ බර ටොන් තුනයි. ඔතන වල් අලි ගොඩගැසුවා නම් වල් අලි දශලක්ෂයක් ගොඩගසන්න තිබුණා මීතොටමුල්ලේ කුණු කන්දේ. ඒ කියන්නේ මේ මුළු ලෝක ඉතිහාසේ ඉඳන් හිටපු අලි ගෙනල්ලා ගොඩගැහුවත් මේ කුණු කන්ද ඊට වඩා ලොකුයි. මතක තබා ගන්න ගාලූමුවදොර පිටියට වඩා ලොකුයි. මෙය සහසික අපරාධයක් මේ කර තිබෙන්නේ. මේ සඳහා පරිසරවේදියෝ තැන තැන උද්ඝෝෂණය කරනවා මේ සදහා ඔවුනුත් වගකිව යුතුයි. හැම තැනම දාන්න බැරිනම් කොහොමද මීතොටමුල්ලේ කුණු දාන්න කියන්නේ, කොහොමද දසලක්‍ෂ ගණන් ජීවත් වෙන කැළණි ගං දෙපස කුණු දාන්නේ. මේ පිළිබඳව පටු විදියට නොසිතා කසළ නිසි ලෙස බැහැර කරන සෑම තැනක් පිළිබඳව නිසි අධ්‍යනයකින් කටයුතු කළ යුතුයි.

පසුගියදා අප අග‍්‍රාමාත්‍යතුමා සමඟ චීනයේ සංචාරයක නිරත වුණා. එහිදි අප සොයා බැලුවා චීනයේ ධනවත්ම කාන්තාව පිළිබඳව, ඇය නමින් ෂැංයෙං. ඇය 1989 බිජීං නගරයේ ටියෙන්මාන් කැරැල්ලට සම්බන්ධවී රජය විසින් මර්දනයට කරනු ලැබු මොහොතේ තම පෙම්වතා සමග ඇමරිකාවට පලා යනවා. ඇය යන්නේ ලොස්ඇන්ජලිස් නගරයට ඇය කෙටි කලකින් ව්‍යාපාරයක නිරත වෙනවා. ලොස්ඇන්ජලිස් නුවර තමයි ලොව ලොකුම කුණු කන්ද තියෙන්නේ. ඔවුන් මෙම කුණු කන්දේ කාඩ් බෝඩ් එකතු කරන්න පටන් ගන්නවා. එම කාඩිබොඩ් චීනයට අපනයන කරනවා. ඇමරිකාවේ විශාලතම අපනයනය මෙයයි. අද ඇය චීනයේ මෙන්ම ලෝකයේම ධනවත් කාන්තාවක් බවට පත් වී තිබෙනවා. ඇයගේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 4.4 ක් වෙනවා. චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට නැව් ගණනාවක ඉලෙක්ට්‍රොනික උපාංග යවනවා. ඊට වඩා විශාල කන්ටේනර් ගණනාවක ඇමරිකාවෙන් චීනයට කසළ එවනවා. එය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ලොකුම අපනයනය. කසළ කියන්නේ බලගතු සම්පතක්. ඇමරිකා එක්සත් ජනපදයට පමණක් නෙමෙයි අපේ ලංකාවටත් මේ වගුරු බිම් විනාශකරන, පස, වායුව, ජලය විනාශ කරන විනාශකාරී දෙයක් නෙමෙයි මෙය බලගතු සම්පතක්. එය විධිමත්ව පරිහරණය කරන්න අපි හැමෝගෙම සමාජ වගකීමක් තිබෙනවා. එය ඉටුකරන්න අපි හැමෝම කටයුතු කරන්න ඕනේ.

මෙම කසළ කළමනාකරණය ලංකාවේ අසාර්ථක වෙන්න හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි නීතිමය වශයෙන් තිබෙන ප‍්‍රශ්නය. කසළවල අයිතිය තිබෙන්නේ පළාත් පාලන ආයතනවලට. නගර සභා ප‍්‍රාදේශීය සභා දැන් තිබෙන්නේ පළාත් සභා යටතේ. ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වුවහෝත මහඇමතිලා ඒ සඳහා විරුද්ධ වෙනවා. එය ඔවුන්ගේ වගකීමක් බැව් පවසා. මේ සඳහා නිශ්චිත නීත්‍යානුකූල වගකීමක් නැහැ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාටත් යෝජනා කළා මධ්‍යම පරිසර අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය වගේ අඩුගානේ මේ ප‍්‍රධාන නගරවල කසළ ටිකේවත් ගැටළුව විසඳන්න බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් දැන් රටට අවශ්‍යයි. එහෙම නැතිව මේ ගැටළුව විසඳන්න බැහැ. අඩුම තරමේ ප‍්‍රධාන නගර සඳහාවත් නිශ්චිත කසළ කළමනාකරණ අධිකාරියක් බිහි නොකරණ තාක් මෙම ගැටලූව විසඳිය නොහැකියි.

අනෙක් කාරණය අරමුදල්, මේ කසළ සඳහා මුදල් වියදම්කරන්න විදිහක් නැහැ. අපි ඒ කාළේ ඇති කළා ප්ලාස්ටික් සෙස් බද්ද. එයින් යම් මුදලක් එකතු කර දුන්නා මධ්‍යම පරිසර අධිකාරියට. අදටත් මධ්‍යම පරිසර අධිකාරියේ කසළ කළමනාකරණය සඳහා අප ආරම්භ කළ පිළිසරු ව්‍යාපෘතිය මිස එයට පිටින් එක වැඩපිළිවෙලක්වත් කිසි කෙනෙක් සාදා නැහැ. කසළ ජනනය කරන අයට කසළ වියදම දැරිය යුතුයි. අද මේ හමුවේ අරමුණක් එය. සියළුම මහල් නිවාසවල අය තමන්ගේ කසළවල වගකීම භාරගත යුතුයි. ඒ කසළ නගර සභාවට දීලා එළියට දාලා නිදහස් වෙන්න බැහැ. ඒ කසළ පරිවර්ථනය කරන්න. කසළවලට විධිමත් පියවර ගන්න නගර සභාවට අරමුදල් වැයවෙනවා. ඒ බර සෑම නාගරිකයෙක්ම ගත යුතුයි. එහෙම නැතිව මේ ගැටළුව කවදාවත් විසඳිය නොහැකියි. තමන් විසින් ජනනය කරන කසළවල වියපැහැදම අදාල පුද්ගලයින් දැරිය යුතුයි. අදාල අයගෙන් එම වියපැහැදම් ලබාගෙන කසළ විධිමත් කළමනාකරණයකට යටත් කිරීම නගර සභාවල වගකීමක්. කසළ ඇතිවීම අවම කරන්න. කසළ වර්ගීකරණය කරන්න, දිරායන කසළ, දිරා නොයන කසළ ලෙස නගර සභාවලට භාරදෙන්න වගේම ඒ සඳහා යම් මිලක් අය කරන්න දැන් නගර සභාවලට සිදුවෙනවා. ඒ සඳහා සහයෝගය දීම ඔබගේ යුතුකමක්.

ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගොඩනැගිලි බලපත‍්‍ර ලබාගැනීමට නම් කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් කි‍්‍රයාවලියක් ඉදිරිපත් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලේ කොළඹ මහ නගර සභාව,දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, කොලොන්නාව නගර සභාව කිසිම ආකාරයක නිශ්චිත කි‍්‍රයාපටිපාටියකින් තොරව ගොඩනැගිලි දස දහසකට වඩා නීතිවිරෝධිව ඉදිකරන්න ඉඩ දී තිබෙනවා. ඒවා තමයි දැන් කඩා වැටෙන්නේ. අවාසනාවකට ඒවට යටවෙන මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් උසාවි ගියහම ඒ අපරාධකාරයින්ව නිදහස් කරලා ගෙදර යවනවා. උසාවිවලින් යුක්තිය ඉටු නොවෙන කොට අහසේ හෙන තමයි දැන් බලාපොරොත්තු විය හැක්කේ. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා. මේ නීති විරෝධි ඉදිකිරීම්වලට ඉදිරියේ ඉඩ දෙන්නෙත් නැහැ, ඉදිකර තිබෙන එවත් අපි නීතිය ක‍්‍රියාත්මක කරනවා. සියළුම දෙනා තමන්ගේ කසළවලට ස්ථානයක් අනිවාර්යයෙන්ම තමන්ගේ මහල්නිවාසවල පවත්වාගත යුතුයි. මහල් නිවාසවල විධිමත්ව මේ වැඩපිළිවෙල ස්වෙච්ඡාවෙන්ම කරගෙන යා යුතුයි. ඔබට කාලයක් දෙනවා එම කටයුත්ත සිදු කරන්න. නැතිනම් අපට සිදුවෙනවා මේ පිළිබඳව බලගතු පියවරයන් ගන්න. එනිසා නල ජලය පාවිච්චි කර ඉවත් කෙරෙන අප ජලය ටික කාණුවට දාන්න, තමනගේ කසළ ටික එළියට විසි කරන්න හෝ නගර සභාවට භාරදෙන්න, භාර දී අපි නිදහස් කියලා කියන්න මින් ඉදිරියට හැකියාවක් නැහැ.අපේ කසළවල වගකීම අප භාරගත යුතුයි. ඒ සඳහා ඔබ සියළු දෙනාම අපත් සමග සහයෝගයෙන් කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා’’ යැයි පැවසීය.

scroll to top