ගිවිසුමකින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට ඩොලර් මිලියන 14ක පාඩුවක් ඇමති අර්ජුන පවසයි.

Arjuna-Ranathunga-2.jpg

දෙසැ 28, 2015 (විමසුම) –පසුගිය පාලන සමයේ නෞකා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා නැව් සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක පාඩුවක් සිදුව ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුවේ මව්රට තරුණ සංවිධානයේ පළමු හමුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. මව්රට තරුණ සංවිධානයේ නිල ප්‍රකාශය වූ මව්රට පුවත්පත් සඟරාවද මෙහිදී එළි දැක්විණ. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති එම අවස්ථාවට මව්රට තරුණ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝද සහභාගි වූහ. ඔවුන් අමතමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ඉකුත් සමයේ නෞකා මිලදී ගැනීම සඳහා ඇති කර ගත් ගිවිසුම නැව් සංස්ථාවට ඉතා අවාසිදායක වූ බවයි.

“අපේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා නැව් සංස්ථාවට නැව් දෙකක් ගන්න ඇණවුම් කරලා තියෙනවා. මුලින් එක නැවක වියදම ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 44 යි. නමුත් ඒක සාකච්ඡා මාර්ගයෙන් ඩොලර් මිලියන 35 කට අඩුකරගෙන තියෙනවා. නමුත් අපිට තේරුණා මේ මුදලත් වැඩියි කියලා. අපි ආවට පස්සේ නෞකා විකුණන සමාගම සමඟ සාකච්ඡා කළා. අපි බැලුවා තවත් මේ මුදල අඩු කරගන්න. නමුත් ගිවිසුම් ගහලා තියෙන්නේ අපිට වාසි වෙන විදියට නෙවෙයි. පිටරට තියෙන මේ නැව හදන සමාගමට වාසිවෙන විදියටයි. අපිට පුළුවන් මේවා නවත්වන්න. නැවැත්තුවොත් වෙන්නේ නඩු මාර්ගයට යන එක. එහිදී අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒනිසා මේ ගිවිසුම් නතර කිරීම එතරම් පහසු වී නැහැ… ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

2013 වර්ෂයේදී නෞකා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා නැව් සංස්ථාව ගිවිසුම් ගත වූ ආයතනය වන්නේ චීනයේ ඇවික් ඉන්ටර් නැෂනල් සමාගමයි. නොඉල්ලූ යෝජනාවක් (Unsolicited Proposal) මත එය සිදු කර ඇත. එම නෞකා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා නැව් සංස්ථාව මහජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක ණය මුදලක්ද ලබා ගෙන තිබේ. කෙසේනමුත් නවතම වෙළඳ පොළ සමීක්ෂණයන්ට අනුව මෙකී නැවක මිල අලුතින් එක්වන කොටස් සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 27ත් 28ත් අතර ප්‍රමාණයක පවතී. නමුත් ගිවිසුම අනුව එය ශ්‍රී ලංකා නැව් සංස්ථාවට මිලදී ගැනීමට සිදුව ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 35කටය. මේ නිසා නෞකා ගනුදෙනුවේදී ශ්‍රී ලංකා නැව් සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 14කට ආසන්න ප්‍රමාණයක මුල්‍ය පාඩුවක් වී ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පෙන්වා දෙයි.

“මම දැකපු දෙයක් තමයි වරාය සහ නාවික අමාත්‍යාංශය යටතේ තිබුණ සියලුම ආයතනවල ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ අපිට වාසිවෙන විදියට නෙවෙයි. පිට පුද්ගලයින් ගැන හිතලා ඒ අයට වාසි වන විදියට. ඒ නිසා අපි මේ ආයතන පළමුව ගොඩ නඟන්න ඕන. ඒ නිසයි අපි කල්පනා කළේ මේ ආයතනවලට තවත් 500ක් 1000ක් ගෙනල්ලා පුරවන්නේ නැතිව ගෙනයන්නේ කොහොමද කියලා…. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

scroll to top