ගබ්සාව සදාචාරාත්මක ද?

ස්ත්‍රී දුෂණය, අපයෝජනයට, අපචාරයට, අතවරයට ලක්වූ කාන්තාවන් දෙස අප සමාජය බලන ආකාරයේ බොහෝ ගැටළු තිබේ. කෙතෙක් විද්‍යාව හා තාක්ෂණය දියුණුවුවද තවමත් අපේ සමාජය අති සාම්ප්‍රදායිකය. එබඳු අවාසනාවන්ත සිදුවීමකදී බොහෝ විට ස්ත්‍රියටම වරද පටවන අවස්ථා දක්නට ඇත. පිරිසක් (බොහෝ විට පුරුෂ පක්ෂය) එවැනි තරුණියන්ගේ අසරණ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට ප්‍රයත්න දරති. තවත් පිරිසක් (බොහෝ විට කාන්තා පක්ෂය)අර දූෂණයවූ තරුණිය පහත්කොට තමන් උසස් වීමට (අත්තුක්කංසන පාරවම්භන) වෙර දරති.රෝම ලන්දේසි නීතිය ඉදිරියේදීද ඇය උපහාසයට ලක්වෙයි.බොහෝ විට වැරදි කරුවන්ට ප්‍රමාණවත් දඩුවම්ද නොලැබෙයි. මේවා වහ වහා නිවැරදි විය යුතු කාරණාය. බොහෝ විට දූෂණයට ලක් වූ තරුණියක් හෝ විවාහයට පෙර ගැබ් ගත් තරුණියක් ගබ්සාවට පෙළඹෙන්නේ සමාජයේ ගැරහුම් නිසාය. එයින් ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. ඉපදීමට පසු දරුවන් මරා දමන කාන්තාවන්ද දක්නට ඇත. අඩුම වශයෙන් එවැනි දරුවන් මරා නොදමා වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දීමට හෝ පෙළඹවීමක්, යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි. සමාජයේ පිළිගැනීම ගෞරවය සහ ආරක්ෂාව මෙවැනි කාන්තාවන්ට ලැබීම අත්‍යවශ්‍ය වෙයි. ඒ පිළිබඳ සිතිය යුතුය.මේ නිසා මේ ගැන සාමූහික වගකීමක් අප සියලු දෙනාටම ඇත්තේය.

මේ අවස්ථා පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් කුමන ආකාරද? කළලයක් යනු කුමක්ද? මේ ගැන ඉතා පැහැදිලි පිළිතුරක් මඤ්ජිම නිකායේ මහා තණ්හාසංඛය සූත්‍රයේ ඇත. “මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලෝකයෙහි මව්පිය දෙදෙනා එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවුවාද, ගන්ධබ්බයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නොසිටියේ වේද ඒතාක් ගර්භයේ හටගැනීමක් නොවේ. මෙහි, මව්පිය දෙන්නා එක්වුවාහු වෙත්ද, මවුතොමෝත් ඔසප් වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයා එළඹ නොසිටියේ නම් ඒතාක් ගර්භය හටගැනීමක් සිදු නොවේ.

මහණෙනි, යම් හෙයකින් මවුපිය දෙදෙන එක්වුවාහුද, මව් තොමෝ ඔසප් වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේද, මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මහණෙනි. මව් තොම නව මසක් හෝ දසමසක් හෝ මහත් වූ ජීවිත සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මව්තොමෝ උපන්නා වු මොහු සිය ලෙයින් පොෂ්‍ය කරයි. මහණෙනි තනකිරියැයි යමක් වේද, ඒ මේ ශාසනයෙහි ‘ලේ‘ යයි ව්‍යවහාර වෙයි“මේ අනුව පැහැදිලිව පෙන්න්නේ කළලයක් යනු ආරම්භයේ සිටම විඤ්ඤාණයක් සහිත සත්වයකු ලෙස බුදුරජාණන් වහන්සේ දක්වා ඇති බවය. එබැවින් කළලයද මනුෂ්‍ය ජීවිතයේම එක්තරා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. බුදු දහමට අනුව ප්‍රාණඝාතය බරපතල අකුසලයක් වෙයි. මනුෂ්‍ය ඝාතනය එයිනුත් බරපතලම අකුසලය වෙයි. මනුෂ්‍ය කළලයක් යනු විඤ්ඤාණයක් සහිත මනුෂ්‍යයකු ලෙස මෙලොවට බිහිවීමට ආසන්න සත්වයකු වෙයි. මෙවැනි සත්වයකු ඝාතනය කිරීම මෙලොවට බිහිවූ මනුෂ්‍යයකු ඝාතනය කිරීමට පමණක් දෙවෙනි වන ප්‍රාණඝාත අකුසලයක් ලෙස සැලකිය හැකිය. මේ නිසා බුදු දහමට අනුව ගබ්සාව අනුමත කළ නොහැකි බව කිව යුතුය. බටහිර යුදෙව් ක්‍රස්තියානි සංස්කෘතියේ ‘සත්ත්වයා’ යන සංකල්පය නැත. ඇනිමල් යනු සත්වයා නොවේ. සත්වයා ඇසට පෙනෙන සතුන් පමණක් නොවේ. දෙවියන් බඹුන් ආදියද සත්වයෝ වෙති. කළලයද සත්වයෙකි. මිනිසුන් තිරිසනුන් ආදී සියල්ලෝම සත්වයෝ වෙති. විඤ්ඤාණයක් ඇති සියල්ලන්ම සත්වයන් ලෙස සැලකිය හැකිය. බටහිර විද්‍යාවට විඤ්ඤාණය අර්ථ දක්වා ගැනීමට බැරි වූවාට අපි කුමක් කරන්නද?
වත්මන් නීතිය අනුව දරු ගැබක් නිසා මවට ජීවිත අනතුරක් වේයැයි අවදානමක් ඇත්නම් පමණක් ගබ්සාවකට අවසර ඇත. ඒ අනුව දරුවන් බිහිවන විට සමහර සංකූලතා නිසා දරුවාත් මවත් දෙදෙනාම මිය යාමේ අනතුරක් ඇති විට මවගේ ජීවිතය බේරා ගැනීමට දරුවා මරා දමන අවස්ථා ඉදහිට හෝ දක්නට ලැබේ. මෙවැනි සිද්ධීන් අවාසනාවන්ත වුවත් ඊට වෙනත් විකල්පයක් ඇතැයි සිතිය නොහැකිය. කෙසේ වුවත් එවැනි අවස්ථාවක වුවත් ඉහත අකුසලය සිදුවන්නේය. කුමන හේතුවක් නිසා ප්‍රාණඝාතය කළත් ප්‍රණඝාත අකුසලය සිදුවෙයි. ඊට මුල් වන කාරණාව අනුව අකුසලයේ ප්‍රමාණය වෙනස් විය හැක.

ඉහත නීතිය ක්‍රියාත්මක වන තවත් අවස්ථාවක් නම් විවිධ සෞඛ්‍ය හේතු නිසා සහ වෛද්‍ය පරීක්ෂණ මත දරුවකු බිහි කිරීම මවට අවදානම් බව බටහිර වෛද්‍යවරයකු තීරණය කළ විට ගබ්සා කිරීමය. නමුත් මෙහිදී ප්‍රශ්නයක් පැන නගී. මන්ද කිසිදු වෛද්‍ය පරීක්ෂණයක් හෝ නිගමනයක් 100% නිවරදි නොවීමය. මෙසේ අවදානම් යැයි කී අවස්ථාවල ඒ ගැන නොසලකා හැර දරුවන් බිහි කර සුවසේ වෙසෙන මව්වරුද අද මෙරට සිටිති. කෙසේ වෙතත් මේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට යෝග්‍ය අවස්ථාවක් නොවේ.බටහිර වෛද්‍ය ක්‍රමය හෙවත් ඇලෝපති වෛද්‍යක්‍රමය‘එකම‘ හෝ ‘සුවිශේෂ‘ වෛද්‍ය ක්‍රමයක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය වූ තවත් එක් ‍වෛද්‍ය ක්‍රමයක් පමණක් බව සැලකිය යුතුය.

අනෙක් අතට බොහෝ බටහිර රටවල ගබ්සා කිරීමට අවසර දෙන කාලය කළලයට සති 24ක් (මාස 6ක්) පිරෙන තෙක්ය. එහෙත් සති 24ට අඩුවෙන් උපත ලබා යහතින් ජීවත් වන දරුවෝ වෙති. එසේ නම් ගබ්සා කිරීමට අවසර දෙන කාලය ඇතුළත කළලය අජීවී මස් ගොඩක් නොව ජීවත් වන සත්ත්වයෙක්, මනුෂ්‍යයෙකු යැයි හදුනාගත හැකි තරම් සත්ත්වයෙක් බවට පත් වන බව නිතැතින්ම ඔප්පු වෙයි එසේම බටහිර විද්‍යාඥයන්ගේම පරීක්ෂණවලටම අනුව කළලයට සති 8ක් තරම් කුඩා අවධියේම බාහිර ශබ්ද ආදියට ප්‍රතිචාර දැක්විය හැකිය. ශාරීරික වේදනාවන්ට ප්‍රතිචාර දැක්විය හැකිය විඤ්ඤාණයක් නොමැතිව එසේ ප්‍රතිචාර දැක්විය හැකිද? කෙනෙකු ඇසිය හැක්කේ ගස් ආදියත් ප්‍රතිචාර දක්වනවා නොවේද යන්නයි. එහෙත් ගස්වලට මෙන් නොව මනුෂ්‍යයන් සහ තිරිසන් සතුන්ට විඤ්ඤාණයක් ඇත. ‘තමා‘, ‘මම‘ යන හැගීම ඇත. අපට ඒ විඤ්ඤාණය ආවේ ජීවිතයේ කුමන අවස්ථාවේදැයි අප නොදනිමු. මේ සාධක වලට අනුව සහ බුදුදහමට අනුව එය අපට එන්නේ කළල අවස්ථාවේමය. එසේ නොවන්නේයැයි කියන්නෝ විඤ්ඤාණය අපට පහළ වන්නේ කුමන අවස්ථාවේදීදැයි පෙන්වා දිය යුතුය.

කතෝලික සංස්කෘතිය සහ ක්‍රිස්තියානි සංස්කෘතිය ගබ්සාව දෙස දෙවිදියකින් බලන්නේ ඇයි. බොහෝ දෙනෙක් මේ සංස්කෘති දෙකේ වෙනසක් නැතැයි සලකති. එහෙත් මේ දෙකේ ඉතා වැදගත් වෙනසක් ඇත. කතෝලික සංස්කෘතියේ (සමහර ක්‍රිස්තියානි අයද කතෝලික සංස්කෘතියේ ජීවත් වෙති) යේසුස් වහන්සේ යනු දෙවියන් වහන්සේමය. උන් වහන්සේ යේසුස් වහන්සේ ලෙස මිනිස් කාන්තාවකගේ කුසින් මොලොවට ආහ. දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පිටපතක් (හින්දු සංස්කෘතියේ අවතාර වැනි) එක වර පැවතිම සිදුවිය හැක්කේ ත්‍රිකෝටික චින්තනයකය (එකම දෙය තැන් දෙකක පැවතීම). එසේම මේ දෙවියන් වහන්සේ ලෝකය මවා ඉන් ඉවත්ව නොසිටිති.ඒ ලෝකය සමග ඓන්ද්‍රියව බැදී සිටිති.හාස්කම් යනු දෙවියන් වහන්සේ ලෝකය සමග නිරන්තරව සම්බන්ධ වෙන බවට සාධකයකි. මෙය හින්දුන්ගේ බ්‍රහ්ම සංකල්පයට සමානය. මේ නිසා කතෝලිකයන්ට මැවුම්කරුවා සහ මැවීම අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. හින්දුන්ට අනුව බ්‍රහ්මන් සෑම තැනකම සිටියි. සියල්ල දෙවියන්ය. කතෝලික යන වදයේ සමස්තය යන තේරුමක් ඇත. මේ නිසා මැවීමට කරන අභියෝග වලට (ගබ්සාව, ජාන වෙනස් කිරීම, උපත් පාලනය) වැනි දෑට කතෝලිකයෝ විරුද්ධ වෙති. ඒ එය දෙවියන් වහන්සේට කරන අභියෝගයක් වන බැවිනි. ස්වභාව ධර්මයට විරුද්ධව යෑම යනු දෙවියන්ට විරුද්ධව යෑමකි. එසේම කතෝලික සංස්කෘතියේ සාමූහිකත්වයට වැදගත් තැනක් හිමි වෙයි.

එහෙත් ක්‍රිස්තියානි සංස්කෘතියේ එන දෙවියන් වහන්සේ එසේ නොවේ.මෙරට මීගමුවේ හෝ මොරටුවේ සිටින කතෝලික ජනතාව දෙස බලා කතෝලික සංස්කෘතිය හදුනාගත නොහැකිය. ඔවුහු වැඩි පිරිසක් ජීවත් වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතියකය.කොටින්ම ඉතාලියේත් අද ඇත්තේ ක්‍රිස්තියානි සංස්කෘතියකි. කතෝලික ආගම බොහෝ රටවල තිබුනද කතෝලික සංස්කෘතිය අද ඉතිරි වී ඇත්නම් ඒ පිලිපීනය සහ දකුණු අමරිකානු රටවල් කිහිපයක පමණක් වියයුතුය.උන්වහන්සේ ලෝකය මවා ඉන් වෙන්වී සිටිති.මෙලොවට පැමිණියේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිස දෙවියන් වහන්සේ නොවේ.(එවිට ද්විකෝටිකයටද ප්‍රශ්නයක් ඇති නොවේ). එසේම වෙන් කිරීමේ මුල එතැනය. මේ වෙන් කිරීම බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ සහ දැනුමේ තදින් දක්නට ඇත. මේ නිසා මිනිසාට (යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ මිනිසාට) මැවීම තමන්ට අවශ්‍ය ආකරයට වෙනස් කළ හැකිය. ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ පුද්ගලිකත්වයට සාමූහිකත්වයට වඩා තැනක් දෙයි. ක්‍රිස්තියානි රටවල පල්ලි යන අය අඩුය. ඒ වෙනුවට දෙවියන් වහන්සේ සමග පුද්ගලික සම්බන්ධයක් ඇති කිරීමට මිනිස්සු පෙළඹී ඇත. එසේම ඉන්ද්‍රිය පිනවීමටද ක්‍රිස්තියානි සංස්කෘතියේ වැදගත් තැනක් හිමිවේ. එහෙත් කතෝලික සංස්කෘතිය ඉන්ද්‍රිය පාලනයට මුල් තැනක් දෙයි. මේ නිසා අවසාන වශයෙන් පුද්ගලික අයිතිය අනුව ඉන්ද්‍රිය පිනවීමට නීතියට පටහැනි නොවන ඕනෑම දෙයක් කිරීමට බාධාවක් නැත. එසේම ස්වභාව ධර්මය මිනිසාගේ ප්‍රයෝජනයට මවා ඇති නිසා ගබ්සාව,ජාන වෙනස් කිරීම ආදිය කිසිසේත් ප්‍රශ්න නොවේ. එහිදී සමාජයට හෝ පරිසරයට වන බලපෑම ගැන තැකීමක් නැත. කතෝලික සංස්කෘතියේ ඇති දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තියානි සංස්කෘතියේ එන දෙවියන් වහන්සේ එකම නමකින් හැදින්වුවත් සංකල්පීයව ඉතා වෙනස්ය. මේ වෙනස මේ සංස්කෘති දෙකේ වෙනසට බලපා ඇත.ගබ්සාව පිළිබඳව අන්තර් සාමයික අර්ථකථන පිළිබදව විග්‍රහ කර බැලීම මේ පිළිබඳව ඇති බෞද්ධ ආකල්පයට ආලෝකයක් වනුඇත.

ගබ්සාවක් නීත්‍යානූකූලව සිදුකරහැකි අවස්ථා දෙකක් පිළිබදව මෙහිදී අවධානය යොමු කර ඇත. එකක් නම් ස්ත්‍රී දූෂණයක් වූවිට දරුගැබක් ඇති වුවහොත් ගබ්සා කිරීමට නිත්‍යානුකූලව අවසර දීමය. අනෙක් අවස්ථාව නම් ඉපදීමට සිටින දරුවා යම් ආබාධයකින් පෙළෙන දරුවකු ලෙස බිහිවේ යැයි සැකකළ හැකි නම් ඒ කළලය ගබ්සා කිරීමට අවසර දීමය. දැන් අපි මේ අවස්ථා දෙක වෙන වෙනම සලකා බලමු.ස්ත්‍රී දූෂණයකදී දරු ගැබක් පිහිටීම ඉතා සංවේදී කාරණාවක් වෙයි. බොහෝ දෙනා මෙහිදී කාන්තාවගේ පැත්ත ගෙන දරු ගැබ ගබ්සා කිරීමට යෝජනා කරනු දැකිය හැකිය. එහෙත් එය නිවරදිද? ස්ත්‍රී දූෂණය යනු බරපතල වරදක් බව නොකිවමනාය.නමුත් ඊට කළලය වගකිව යුතු නොවේ.මෙහිදී කෙරෙනුයේ එක අයෙකුගේ වැරැද්දකට වෙනත් අයෙකුගෙන්(හෝ මනුෂ්‍යයෙක් ලෙස උපදන්නට සිටින අයකුගෙන් පළිගැනීමක් නොවේද? එක වැරැද්දක් තව වැරැද්දකින් වහගැනීමට නොහැකිය. එයින් වන්නේ වැරදි දෙකම සාමාන්‍යකරණය වීමය. ආබාධ සහිත දරුවන් ගබ්සා කිරීම පිළිබදව සමහරු දක්වති. දැනටත් උපතින්ම විවිධ ආබාධ වලට ලක්වූ දරුවන් අප අතර ජීවත් වෙති. ඒ අය ඒ අයගේ පවුල් විසින් ඉතා ආදරයෙන් රැක බලා ගන්නා අවස්ථා අපි දැක ඇත්තෙමු. සමහර අවස්ථාවල පවුලේ සිටින කිසිදු ආබාධයක් නැති දරුවන්ටත් වඩා ආදරයක් අර දරුවන් වෙත දැක්වෙයි. සතර බ්‍රහ්ම විහරණය අනුව ඒ දරුවන්ටද සෙනෙහස දැක්වීම බෞද්ධයන්ට පුරුදුය. මව්කුස සිටින දරුවාට මවගේ මානසික ආකල්ප,ආවේග දැනෙන බව කියවේ.මේ නිසා බුදුදහම ගබ්සාව කුමන ආකාරයෙන් වුවද අනුමත නොකරන ප්‍රාණඝාත අකුසලය සිදුවන බරපතල වරදක් සේ දක්වා ඇත.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top