ගතානුගතික ක‍්‍රමවේදයෙන් ඔබ්බට කසළ කළමනාකරණය…

Garbage.jpg

කුණු…. කුණු…. කුණු පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙරට ප‍්‍රධාන මාතෘකාව විය. සමාජ, ආර්ථික, දේශපාලන ආගමික, ජනමාද්‍ය සෑම ක්‍ෂෙත‍්‍රයක්ම ගිණියම් කරමින් අහිංසක ජනතාවගේ හිස මතට කඩා වැටුණේ කිසිදා අමතක නොවන ඛේදවාචකයක් හදවත් හි ඉතිරි කරමින් ය. ඉන් නොනැවතුනු එම ගැටළුව දිගින් දිගටම සමාජය පුරා උඩු දුවන්නට විය. සමස්ථ සාමාජයේ ජනතාව එකිනෙකාගේ මුහුණ බලමින් කසළ ආවේ කොහෙන්දැයි නොදන්නා අයවලූන් ලෙසින්ය. එසේම මිනිස් ජීවිත යට කරමින් කසළ උත්පාදනය කරන්නේ මිනිසාම වග මොහොතකට අමතක වූවා සේ හැසිරෙන්නේ කෙසේද යන්න අදටත් ගැටළුවකි. සමාජ නිරීක්‍ෂණයන්ට අනුව පෙනී යන්නේ කසළ සම්බන්ධ යහපත් ආකල්පයක් රටතුළ නිර්මාණය වී නොතිබීමය.

මිනිසාගේ විවිධ ක‍්‍රියාකාරකම්වල ප‍්‍රථිපළයක් ලෙස අපද්‍රව්‍ය උත්පාදනය වේ. වර්තමානයේ මිනිසාගේ දෛනික කි‍්‍රයාකාරකම් සංකීර්ණ වී ඇති අතර දිනෙන් දින වර්ධනය වන ජනගහණය හා කාර්මික, තාක්ෂණික, පාරිභෝජන රටාවේ වෙනසක් වී උත්පාදනය වන අපද්‍රව්‍ය ප‍්‍රමාණය හා එහි සංයුතිය සංකීර්ණ වී තිබේ. මානව සෞඛ්‍යට හා පරිසර දූෂණය ප‍්‍රධානතම සාධකය ‘ඝන අපද්‍රව්‍ය’ බව හඳුනාගෙන ඇත.

කසළ මෙතරම් උග‍්‍ර ගැටළුවක් බවට පත්වන තෙක් පිළියමක් යෙදීමට නොහැකි වූයේ මන්ද? යන්න විමසා බැලිය යුතු තත්වයකි. ශ‍්‍රී ලංකාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 8,000ක් පමණ වන අතර කොළඹ නාගරික බල ප‍්‍රදේශය තුළ පමණ්ක ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 1,000 කට ආසන්න වේ. බස්නාහිර පළාත තුළ පමණක් මෙය 3,200 කට පමණ ජනනය වන බව හඳුනාගෙන තිබේ. නමුත් මෙරට පළාත් පාලන ආයතන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගතානුගතික ක‍්‍රමවේදයෙන්් ඔබ්බට ගොස් තම බල ප‍්‍රදේශයේ කසළ කළමනාකරණය කළේ දැයි ගැටළුවකි. දූපතක් වූ මේ සුන්දර දිවයින කුඩා වුවත් සුවිශේෂී වූ ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ රටකි. එවැනි සුවිශේෂී පිරිසර පද්ධති හඳුනාගනිමින් කසළ කළමනාකරණය සිදු නොවීම, අපගේ පරිසර පද්ධතිය විනාශ වීම සඳහා හේතු වූ කරුණකි. තවද නිසි පරිදි තමන් විසින් උත්පාදනය කරණු ලබන කසළ නිසිලෙස බැහැර කිරීම සඳහා වැඩපිළිවෙලක් නීති පද්ධතියක් කි‍්‍රයාත්මක නොවීම කසළ ගැටළුවට මේ උග‍්‍රවීමට පවතින තවත් ප‍්‍රධානතම ගැටළුවකි. මේතාක්කල් කසළ බැහැර කිරීම සිදුකරනු ලැබුවේ පරිසරයේ විවෘත ප‍්‍රදේශයන්ට ය. එමගින් සිදුවන හානිය පිළිබඳ අවධානය යොමු නොකිරීම, විවිධ පාර්ශවයන් විවිධ මත දරමින් කටයුතු කිරීම මෙන්ම කසළ යොදා ගනිමින් කූට ජාවාරම්කරුවන් පිරිසක් ද නිර්මාණය වීමද ඒ තුළින් දේශපාලනය හසුරුවන ක‍්‍රමවේදයක් පවා නිර්මාණය කර ගැනීමට ජාවාරම්කරුවන් සමත් වී සිටීම හේතුවෙන් කසළ ගැටළුව විසඳීම බාලගිරි දෝෂයට හසුවී තිබිණ. මේ වනිට සියල්ල සිදුවී හමාරය. රටේ සෙසු නාගරික ප‍්‍රදේශයන්ට වඩා අධි නාගරිකරණයට බඳුන්වන ජාතික ආර්ථිකයේ හදවත බඳු වූ කොළඹ නගරය කැළි කසළ, මීතොටමුල්ල, කරදියාන, වැනි ප‍්‍රදේශවලට බැහැර කිරීමෙන් නිර්මාණය වූ කසළ කඳු හේතුවෙන් සිදු වූ විනාශය නැවත නැවත කිව යුතු නොමැත.

කසළ කළමණාකරණය, ජනනය වන කසළ අවම කිරීම, නැවත භාවිතය, ප‍්‍රතිචක‍්‍රීයකරණය අතරමැදි ප‍්‍රතිකර්ම කි‍්‍රයාවලියට යොමුකිරීම (කොම්පෝස්ට, ජීව වායු භාෂ්මිකරණය) හා අවශේෂ කසළ පාරිසරික වශයෙන් හිතකර ලෙස බැහැර කිරීම පිළිබඳ ජනතාව නොදැනුවත්ව සිටියේද නැත. මේ පිළිබඳව ජනතාව නිවැරදි ලෙස දැනුවත් උවත් එම ආකල්ප ජනතාව තුළ මෙහෙයවීමට තරම් නායකත්වයක් නොමැති විය. පසුගිය දිනවල කොළඹ නගරයේ සෑම මාර්ගයක් දෙපසම කසළ කඳු ගොඩගැසී තත්වය පාලනය කිරීම සඳහා රටේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මැදිහත්වීමට පවා සිදු විය. එයින් ගම්‍ය වූයේ කසළ කළමනාකරණය සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් හා නිසි නායකත්වයක් නොමැති බවයි. මේ අනුව කසළ කළමනාකරණය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් විෂය පථයක් නොවූවත්, මෙම අර්බුදකාරී තත්වයේදී නායකත්වය ලබාදීමට ඇමති පාඨලී චම්පික රණවකට භාර විය. කසළ කළමනාකරණය හා එය නිසි පරිදි සිදු නොකිරීම තුළ ජනතාවට, පරිසරයට සිදුවන හානි පිළිබඳව ඇමති පාඨලී චම්පික රණවක මහතා පරිසර අමාත්‍යවරයාව සිටි සමයේ සිට විශාල හඬක් නගමින් සමාජයේ ඇති ආකල්පමය වෙනස විධිමත් ලෙස කසළ බැහැර කිරීම, සනීපාරක්‍ෂක කසළ රඳවනය වැනි කසළ කළමනාකරණයේ අත්‍යවශ්‍ය කරුණු ජනතාව අතරට ගෙන යෑමට, ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමට විශාල සටනක් කිරීමට සිදුවිය. දේශපාලනික වශයෙන් මෙන්ම විවිධ මාධ්‍යයන් තුළින් එතුමාගේ කි‍්‍රයා කලාපයට දැඩි විවේචන එල්ල විය. නමුත් අමාත්‍යවරයා තම මතවාදය තුළ එළෙසම රැඳෙමින් ජනතාව වෙත එම නිවැරදි කි‍්‍රයාදාමය කාන්දු කරන්නට ගත් උත්සාහය අත් නොහැර තිබිණි. ජනතාව නොමග යවන පිරිස් විසින් සිදු කරනු ලබන මතවාදයන් හේතුවෙන් කසළ කළමනාකරණය සඳහා පැමිණි බාධාවන්ගේ ප‍්‍රතිඵල වර්තමානයේ ජනතාව විසින් සිය දෑසින්ම දකින ලදි. එදා දිගින් දිගටම කි‍්‍රයාත්මක කිරීම වෙර දැරූ මෙම කි‍්‍රයාවලිය නිවැරදි එකක් බව ජනතාව ඉදිරියේ ඔප්පු වී හමාරය. විරුද්ධ වූ දේශපාලනඥයින් පරිසර සංවිධාන වර්තමානය වන විට නිරුත්තර වී ඇත. ඔවුන්ගේ යෝජනා, කටමැත දෙඩවීම් තොග ගණන් සිදුවූයේ ද ඒවා මේ මහපොළව මත කි‍්‍රයාත්මක කිරීම නොහැකි දේවල්ය. සති ගණන් කොළඹ ගොඩගැසුණු කුණු ඉවත් කිරීමට නොහැකිව නිලධාරීන් අපහසුතාවයට පත්ව ඇති මොහොතක ජනතාව මහ මගට බැස කසළ ඉවත් කරන ලෙස බල කරමින් සිටින මොහොතක, ජනතා විරෝධතා නිසා නිසි ලෙස කසළ බැහැර කිරීම භූමි භාගයක්වත් නොමැතිව සිටින මොහොතක, ඩෙංගු උවදුරින් රටම ව්‍යසනයක් බවට පත් ව ඇති මොහොතක, විරුද්ධ පක්ෂ රජයට විරුද්ධව දේශපාල අවියක් ලෙස කසළ ගැටළුව යොදාගත් මොහොතක, මෙම අභියෝගය භාරගත් ඇමති පාඨලී චම්පික රණවක සතියක් තුළ නිසි පරිදි කසළ බැහැර කරමින් එම ගැටළුව විසඳීමට කටයුතු කළේ ය. එසේම දීර්ඝ කාලීන වශයෙන් එම ගැටළුව විසඳීම සඳහා ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ග ද හඳුන්වා දෙන ලදි.

මේ අනුව කසළ කළමනාකරණය සඳහා දියුණු රටවල භාවිත කරන තාක්ෂණික ක‍්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනිමින් සනීපාරක්‍ෂක පරිසර හිතකාමී ලෙස අවසන් බැහැලීම ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් ඒ අතරතුර කසළින් ගත හැකි ප‍්‍රයෝජන ලබාගැනීම සඳහාත් විධිමත් වැඩපිළිවෙලක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක වේ. දීර්ඝ කාලීන විසඳුමක් ලෙස සනීපාරක්‍ෂක බිම් පිරවුම් ක‍්‍රමය හඳුනාගෙන ඇති අතර එම් සඳහා පුත්තලම අරුවක්කාලූ ප‍්‍රදේශයේ සිමෙන්ති සඳහා හුණුගල් කැනීම් කර ඉතිරි වූ වලවල් තොරාගෙන ඇති අතර ඒ සඳහා මූලික සැලසුම් මේ වන විටත් නිර්මාණය වෙමින් පවතී. එසේම මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමට පෙර යෝජනා වූ මධ්‍යකාලීන වැඩපිළිවෙලක් වූ කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ද මෙම වැඩකටයුතුවලට සමගාමීව ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. මෙම විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝකයින් තිදෙනෙක් විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් අනතුරුව තෝරාගෙන ඇති අතර ඒ සඳහා මුතුරාජවෙල හා කරදියාන ප‍්‍රදේශ තෝරාගෙන තිබේ. මෙහිදී මූලික වශයෙන් KCHT ලංකා ජෑන්ග් ආයතනය හා වෙසන්ටර්න් පවර් ආයතනය මෙම ආයෝජනය සඳහා ඉදිරිපත් වී ඇත. එහි වැඩකටයුතු ආරම්භ කිරීම මෙම මස 10 වන දින අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය සමග ගිවිසුම්ගතව KCHT ලංකා ජෑන්ග් ආයතනය වෙත දිනකට කසළ ටොන් 700 ක් ලබාදීමට එම අධිකාරිය විසින් කටයුතු කරනු ලබයි. එසේම වෙස්ටර්න් පවර් ආයතනය වෙත කසළ ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබයි. මෙහිදී එක් පෞදිගලික ආයතනයක් මගින් මෙගාවොට් 10 ක් ජාතික විදුලි පද්ධතියට ඇතුළු කිරීමට නියමිතය. ඒ අනුව ආයතන දෙක මගින් මෙගාවොට් 20 ජාතික විදුලි පද්ධතියට එකතු වනු ඇත. මේ සදහා රුපියල් බිලියන 27 ආයොජනයක් සිදුකරන අතර මාස 24ක් ඇතුළත ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය. එසේම මෙම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය නිසි ඇගයුම් හා ශක්‍යතා වාර්තාවන්ට අනුව කටයුතු කර ඇති අතර පරිසරයට, ජනතාවට කිසිදු හානියක් නොවන අයුරින් නව තාක්ෂණය යෙදා ගනිමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ ප‍්‍රධාන සංරචක හඳුනාගනිමින් නිවැරදි දැක්මක් යටතේ රටට අවශ්‍ය නිසි වැඩපිළිවෙල නිසි මොහොතේ කි‍්‍රයාත්මක කිරීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙය අභියෝගාත්මක කි‍්‍රයාවලියකි. තමන් විසින් බැහැර කරනු ලබන කසළ වගකීමකින් තොරව මහ මග දමා යන සමාජයක එම වැරදි ආකල්පයන් හා කි‍්‍රයාවන් නිවැරදි කරන්නට උත්සාහ ගන්නා මොහොතේදී එම උත්සාහයන් ද විරෝධතාවයන් ලෙස මහමගට වැද කළහ කරද්දී, එය ද නිසි පරිදි කළමනාකරණය කර ගනිිමින් ප‍්‍රායෝගික ආදර්ශයක් රටට ලබාදීමට ඇමති පාඨලී චම්පික රණවක මහතාට හැකි විය. නිසි වැඩපිළිවෙලක් නොමැති මොහොතක අයාලේ ගිය කසළ කළමණාකරණය නිසි මගට ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවකි. පරිසර හායනය, ලෙඩදුක්, සංචාරක කර්මානය වැනි ක්‍ෂෙත‍්‍රයන් දැඩි ලෙස අනතුරු දායක තත්වයකට පත් වූ සමයක නිවැරදි තාක්ෂණික භාවිතයත් සමග සිදුවන කි‍්‍රයාවලිය ජනතා හිතවාදී අනාගතයකට සුභවාදී ප‍්‍රායෝගික යතාර්ථයක් වනු නොඅනුමානය.

scroll to top