කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්…

Patali-Champika-Ranawaka-11.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, දික් ඕවිට, ගංවතුර පාලන ‘දියදොර’ ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘නාගරික සංවර්ධනය කියලා අපි හුරු පුරුදුවෙලා තිබෙන්නේ විශාල ගොඩනැගිලි ඉදිකරන්න. ඒ වගේම ඇහැට පෙනෙන මල්වතු, උයන්වතු, කෙත්වතු ඇති කරන්න. මේවා ලස්සන කරලා අපි තමයි මේවා ලස්සන කළේ කියන එක හොඳ කටයුත්තක්. අපට පුළුවන් පිටින් ලස්සන කරලා හදන්න. හැබැයි ඒ නගර ඇතුළ කුණු වෙනවා නම්, ඒ නගර ගංවතුරෙන් යටවෙනවා නම්, ඒවා තුළ කුණු කඳු ගොඩගැහෙනවා නම් ඒ නගරවල වාහන තදබදය වැඩිවෙලා වායු දූෂණය වෙනවා නම්, පස දූෂණය වෙනවා නම් එම නගරවල ජීවත්වෙන්න අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ප‍්‍රධාන අරමුණක් වෙලා තිබෙන්නේ, මිනිස්සුන්ගේ මේ දැවෙන ගැටළුවලට විසඳුම් සොයන්න. අපි මිනිස්සුන්ගේ ගෙවල්වල සාලේ ලස්සන කරන්න යන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව, වැසිකිළි, කැසිකිළි, කුස්සිය ලස්සන කරන්නයි අපේ බලාපොරොත්තුව. එය ජනප‍්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් එය දිගු කාලීන වශයෙන් අපේ නගරවල සෞඛ්‍ය තත්වයට ඉතාම වැදගත්. මොකද මේකප් දැම්මයි කියලා, නගර වියපත්වෙන එක, ගඳ ගහන එක වලක්වන්න බැහැ. අද අපිට වෙලා තිබෙන්නේ. පිටින් මේකප් දාලා ලස්සන කරපු නගර ඇතුළෙන් වියපත්වෙලා ගඳ ගහන තත්වයට පරිවර්ථනය වෙලා ඒ ගඳ ගහන තත්වයත් එක්ක ජීවත්වෙන්න අද අපට වෙලා තිබෙන්නේ. ඒ නිසා අපට අවශ්‍යයි ඇතුළාන්තයෙන් වෙනසක් ඇති කර ගන්න. එහි ප‍්‍රධාන දෙයක් තමයි මේ ගංවතුර ගැටළුව මැඩලීම. පසුගියදා ඇති වූ ගංවතුරෙන් විශාල ආපදාවන්ට මුහුණ පෑමට අපට සිදුවුණා.

මේ මෑතදී තිබූ සාගර සමුළුවේදී වැදගත් කරුණක් හෙළිදරව් කළා. එක්සත් ජාතීන්ගේ සංගමය විසින්. එය තමයි 2030 මේ මහ සාගරයේ ඉන්න මාළුවල බරට වඩා සාගරය විසිකර තිබෙන ප්ලාස්ටික් වැනි නොදිරණ අපද්‍රව්‍යවල බර වැඩි වෙනවයි කියන එක. මුහුද දූෂණය වෙනවා. මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. අපට පහලින් තිබෙන ඇන්ටාටිකාවේ අතිවිශාල අයිස් පැල්මක් ඇතිවෙලා තිබෙනවා. ඒ පැල්ම නිසා ලංකාව වගේ කිහිප ගුණයක් විශාල අයිස් කන්දක් මුහුදට දියවෙමින් යනවා. එමගින් අනිවාර්යයෙන්ම මුහුදු මට්ටම ඉහළ යනවා. එතකොට මේ මුහුදු මට්ටම පහළින් තිබෙන මුතුරාජවෙල, දික් ඕවිට වගේ ප‍්‍රදේශ මුහුදු ජලයෙන් යටවෙනවා. කැලණිතිස්ස රජතුමාගේ කාළේ මුතුරාජවෙල කියන්නේ අති විශාල වෙල්යායක්. මෙහි ඇති වූ මහා ගංවතුර අවස්ථාවේ එතුමා මෙහි පැමිණියා. ඒ වගේම එතුමාගේ දියණිය, විහාරමහාදේවිය ජීවිත පූජා කරන්න ඉදිරිපත් උනා. එදා තිබුණේ දියවන්නා පැත්තෙන් ඇදීගෙන ආපු ගඟක් වන කොළොං ගඟ. එය අද නැහැ. අද තිබෙන්නේ දියවන්නාවයි, බේරෙයි. කොළොං ගඟ මුහුදට වැටුනු තැනින් තමයි කොළොංතොට ඇති වුණේ. එය තමයි පසුව කොළඹ උනේ. ඒ කැලණිය රාජධානියේ තිබු මුතුරාජවෙල මුහුදු ජලය එකතු වෙලා අපද්‍රව්‍ය එකතු වෙච්ච ස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. එනිසා අපට වගකීමක් තිබෙනවා එය විනාශ නොකර රැක ගන්න.

ඒ නිසා තමයි 2016 ගංවතුරෙන් පසුව අගෝස්තු මාසයේදී විධිමත් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා මේ කැලණි ගඟේ, අත්තනගලූ ඔයේ ඒ වගේම ගම්පහ දිස්ත‍්‍රක්කයේ ගංවතුර පාලනය කරන්න විධිමත් වැඩසටහනක් අපි ඉදිරිපත් කළා. එය කැබිනට් මණ්ඩලය පිළිගත්තා. අවාසනාවකට මුදල් අමාත්‍යාංශයෙන් අපට අරමුදල් සම්පාදනය උනේ නැහැ. නමුත් අපි එයින් අධෛර්යය පත් උනේ නැහැ. ඒ සඳහා අපි මෙම වසරේ අරමුදල් සම්පාදනය කරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කළා. එහි ප‍්‍රධාන අංගයක් තමයි මේ දික් ඕවිට දියදොර. මේ මගින් අපි බලාපොරොත්තු වෙනවා, ගංවතුර ආවහම මෝය කපමින් ගංවතුර බැහැර කිරීමටත්, ගංවතුුර බැස ගියහම මෝය ගොඩකිරීමටත් තිත තබා මෙම වසරේදීම ස්ථිර සාර විසඳුමක් මෙම දියදොර මගින් ලබාදෙනවා. ඒ වගේම කැලණිය ප‍්‍රදේශයේ වසරේදීම ආරම්භ කරනවා ජලය පොම්ප කරන වැඩපිළිවෙලක්. ඒ අනුව පෑලියගොඩ ප‍්‍රදේශයේ අපතේ ගිහින් තිබෙන අක්කර 200 කට ආසන්න පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විධිමත්ව ගොඩනගාගැනීමට අපට හැකිවෙනවා. එසේම කඩුවෙල ප‍්‍රදේශය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා අඹතලේ පොම්පාගාරයක් මෙම වසරේදීම ඉදිකරනවා. අඹතලේ බැම්ම ශක්තිමත් කිරීම මගින් මුල්ලේරියාව, කොලොන්නාව ප‍්‍රදේශ බේරාගැනීමට කටයුතු කරනවා. එසේම නාගලගන්වීදියේ හරහා දැනට තිබෙන බන්ට් එක වෙනුවට එතනත් ජල පොම්පාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙනවා. ඒ සඳහා සියළු කටයුතු මේ වනවිට සම්පාදනය කර අවසන්. අපි ස්තූතිවන්ත වෙනවා ඒ ප‍්‍රදේශවල ජනතාවට, නොයෙක් දේශපාලන උසි ගැන්වීම් තිබුණත් අපිව විශ්වාස කර ඒ වැඩපිළිවෙලට දායක වීම ගැන. එහි ඇළමාර්ග කුණු රොඩු විසි කරන ඇල මාර්ග හැටියට තිබුණේ. අපි ඉදිරියේදී ඒ ඇලමාර්ග මේ රටේ ප‍්‍රධාන ප‍්‍රවාහන පද්ධතියේ කි‍්‍රයාදාමයක් බවටත් පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 3 ක් අපි ඉදිකරන්න යනවා. දැන් එක උමං මාර්ගයක වැඩ අපි ඉවර කළා. ඊ ළ`ග උමං මාර්ග දෙකත් දැන් කෙරීගෙන යනවා. ඒ වගේම තුන්වෙනි උමං මාර්ගය මට්ටක්කුලිය, මෝදර ප‍්‍රදේශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා ඉදිරි කාලයේදී. එතනත් අපේ ජනතාව බියවද්දගෙන යනවා. නමුත් ඒ ජනතාව අපට විශ්වාසයි ඒ කි‍්‍රයාව කළාට පස්සේ කොටුව පිටකොටුව ප්‍රදේශය, ඩයස් පෙදෙස, සෝන්ඩස් පෙදෙස, අලූත් මාවත ගංවතුරෙන් නිදහස් ප‍්‍රදේශයක් බවට පත්වෙනවා. එය නිදහස් ප‍්‍රදේශයක් බවට පත් උනාහම බ්ලූමැන්ඩල් ඇතුළු ප‍්‍රදේශය අක්කර 15 ක් වරායෙත්, රටෙත් සංවර්ධනයට යොමු වෙනවා. අන්න එහෙමයි අපි වැඩ කරන්නේ. අපටත් පුළුවන් ඔය බ්ලූමැන්ඩල් එකේ උයනක් හදලා මිනිස්සුන්ට ඇවිදින්න කියන්න. ජොගින් ට‍්‍රැක් එකක් හදලා දාන්න. අපි ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට ආදායම් උපදවන, සංවර්ධනයට දායකවන, එම ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරන කොළඹ තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්නයක් වූ මෙම ගංවතුර උවදුරට පිළියම් යොදන වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. අපි 2019-20 වෙනකොට මේ කොළඹ අවට ප‍්‍රදේශවල ගංවතුර ගැටළුව සැළකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කරන්න කටයුතු කරනවා.

ඒ වගේම අපි රජයට යෝජනා කරනවා ඔය වියලි ප‍්‍රදේශවල ජල යෝජනා ක‍්‍රම ඉදිකරන්න මුදල් වැය කරන හොඳයි නමුත් මේ රට ඉදිරියට ගෙනයන්න නම් අනිවාර්යයෙන්ම කැලණි ගඟ පදනම් කරගත්ත බහුකාර්ය යෝජනාවලියක් රටට අවශ්‍යයි. මහවැලියට වඩා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන කි‍්‍රයාවලිය කැලණි ගඟ. ඒ නිසා අපි රජයට යෝජනා කරනවා කැලණි ගඟ කියන්නේ පැල්පත්වාසීන්ට ජීවත්වෙන්න ඕන තැනක්වත්, රටේ ඔක්කොම කුණු ටික ගොඩගහන්න ඕන තැනක්වත්, රටේම තිබෙන ජරාම කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය ටික ගොඩගහන්න ඕන තැනක්වත් නෙමෙයි රටේ ආර්ථිකය ගොඩනගන ප‍්‍රවාහය එතන තිබෙන්නේ. එය ගොඩනගන්න. කැලණි ගඟ කියන්නෙත් දකුණු ආසියාවේ ආර්ථික ජවන යන්ත‍්‍රයක් බවට පත් කරන්න පුළුවන් ඩෙල්ටාවක්. ඒ සඳහා විදිමත් වැඩපිළිවෙලක් අපි රජයට යෝජනා කර තිබෙනවා. අපි ඉල්ලා සිටිනවා ඔය අධිවේගී මාර්ග හදන කි‍්‍රයාවලිය වෙනුවට මේ කැළිණි ගඟ බහුකාර්ය යෝජනාවලිය කි‍්‍රයාත්මක කරලා රටේ ආර්ථික ජවන එන්ජිමට පණ පොවන තවත් ඇන්ජිමක් අපි මෙහි නිර්මාණය කර ගමු කියලා. මොකද අපි හදපු අධිවේගී මාර්ගවලින් මේ ණය බර වැඩිඋනා මිසක් ප‍්‍රවාහන ගැටළුව විසඳුනෙත් නැහැ. එසේම අපේ ජනතාවගේ ආර්ථිකය දියුණු උනෙත් නැහැ. අපේ ජනතාවගේ අයබදු ගෙවීම වැඩිවීම විතරයි සිදු උණේ. ජනතාවගේ ආර්ථිකය දියුණු කරන, සාක්කුව වැඩිදියුණු කරන, රැකියා ඇතිවෙන කැලණි බහුකාර්ය යෝජනාවලිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා අපි බලකරලා ප‍්‍රකාශ කරන්න කැමතියි. ඒ මගින් ගංවතුර ගැටළුව විසඳෙනවා විතරක් නෙමෙයි රටේ ආර්ථිකයට අලුත් ගැම්මක් එතනින් ඇතිවෙනවා.

එනිසා ඒ සියළු වැඩපිළිවෙලවල් අපි යෝජනා කරන අතරේ අපි අපට ලැබෙන අරමුදල්වල ප‍්‍රමාණයට අපේ ඒ කි‍්‍රයාමාර්ගයන් දියත් කරන බවත් ප‍්‍රකාශ කරමින් මෙම කටයුතු ඉටු කිරීම සඳහා සහයෝගය ලබාදුන් අපේ ධිවර ප‍්‍රජාවට විශේෂ ස්තූතිය පුදකරනවා.

scroll to top