කොපමණ අභියෝග ආවත් විදුලිබිල වැඩි කරන්නේ නැහැ…. – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Power.jpg

“කොපමණ අභියෝග ආවත් විදුලිබිල වැඩි කරන්නේ නැහැ….” – රංජිත් සියඹලාපිටිය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

“ඊයේ මට අභියෝගයක් එල්ලවුණා. එක් සහෝදරයෙක් මට අභියෝග කළා විදුලිබිල වැඩි කරන්නේ නැහැ කියලා පුළුවන්නම් කෙලින් කියන්න කියලා. ඔහු හිතන්න ඇති මා වටකරගෙන තිබෙන අභියෝග නිසා මට එය ප‍්‍රකාශ කරන්න බැහැ කියලා. ඔව් මම කෙළින්ම කියනවා. අභියෝග කොපමණ ආවත් ඒවට අපි පිළිතුරු සොයනවා, නමුත් කිසිසේත්ම විදුලිබිල වැඩි කරන්නේ නැහැ කියලා විෂයබාර අමාත්‍යවරයා හැටියට මම ඉතා පැහැදිළිව කෙලින්ම රටට ප‍්‍රකාශ කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (29) පෙරවරුවේ, රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් පාසල් වොලිබෝල් ශූරතාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …

“වසර 30 කට පස්සේ තමයි අපිට මේ වගේ අවම වර්ෂාපතනයක් ලැබුණේ. රටේ වැසි පැවතුනත් ඊසාන දිග මෝසම තවමත් සක‍්‍රීයවෙලා නැති නිසා, මේ වනවිට විදුලිය නිපදවන්න තිබෙන මුළු ජල ප‍්‍රමාණය 48%යි. වෙන වසරවල මේ වෙද්දි 70% ක් තිබෙනවා. ඒ නිසා ඞීසල් සහ ගල්අගුරු වලින් තමයි අපි විදුලිය දෙන්නේ. මැයි මාසේ වෙද්දි ඒ සඳහා රු. බිලියන 33 ක් වියදම් කරන්න සිදුවුණා. ඒ හැරුණම අභ්‍යන්තර ප‍්‍රශ්න, වෘත්තීය සමිති එකිනෙකා අතර ප‍්‍රශ්න ආදි ගැටළු රැුසකට මුහුණ දෙන්න අපිට සිදුවෙලා තිබෙනවා. නමුත් මම මේ සියළු දේ පිළිබඳව කැබිනට් මණ්ඩලය සමග කතා කළා. කැබිනට් මණ්ඩලයෙන් මට උපදෙස් දීලා තිබෙනවා විදුලිබිල වැඩි නොකර කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳව. අභියෝග වලට මුහුණ දීලා, ඒවාට පිළිතුරු සොයන්න පුළුවන් හැටියට අපි හැමදේම ගොඩනගාගෙන තිබෙනවා. මම මේ දරුවන්ගෙනුත් ඉල්ලා සිටින්නේ, ක‍්‍රීඩාව තුළින් අභියෝග වලට මුහුණ දෙන්න, ඒවාට පිළිතුරු සොයන්න, රටට කීර්තිය ගේන්න, සෞඛ්‍යසම්පන්න වෙන්න, සියල්ලටම වැඩියෙන් ජය පරාජය සමසේ දරාගන්න පුරුදුවෙන්න” යැයි පැවසීය.

scroll to top