කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර නඟා සිටුවන්න ලංකා බැංකුවෙන් වැඩි සහයක් – අමාත්‍ය කබීර් හෂීම්

Kabir.jpg

ඉදිරියේදී රටේ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ලංකා බැංකුවේ වැඩි අවධානය කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර නඟා සිටිවීමට යොමු කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පහතා පැවසීය.

ජූනි 27 වන දින ලංකා බැංකු මූලස්ථානයේදී පැවති,ලංකා බැංකුවට නව ආරක්ෂක සහයකයන් ලෙස පත් වූ පිරිසට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

ලංකා බැංකුව,මේ වසරේද මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුදල බිලියන 18 ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඊට අමතරව රජයේ සුබ සාධන කටයුතු වෙනුවෙන් විශාල මැදිහත් වීමක් කරන බව ද පෙන්වා දුන්නේය.දැනටත් තම අමාත්‍යංශය සතු ආයතන අතරින් වාර්තාගත ලාභයක් උපයන ආයතනයක් ලෙස,දේශිය ආර්ථිකයට විශාල සහයක් ලබා දෙන ලංකා බැංකුව ඉදිරියේදී තව දුරටත් රටේ සංවර්ධණ ක්‍රියාවලියට දායක කර ගනිමින්,කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් නඟා සිටුවීමට අවශ්‍යය ප්‍රාග් ධනය ලබා දීමට වැඩි අවධානයක් යොමු කරන ආයතනයක් බවට පත් කළ යුතු බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

ජපානය දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ හානියෙන් පසුව නැවත නඟා සිටිවීම සඳහා බෙහෙවින් බලපෑවේ එරට රජය විසින් ආරම්භ කළ සංවර්ධන බැංකු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වර්ථමානයේ ශ්‍රී ලංකාව වැඩිම බැංකු පොලී අනුපාතයක් සහිත රටක් ලෙස ජාත්‍යන්තරය හා සසදද්දී පැහැදිළි වන බව කී කබීර් හෂීම් අමාත්‍යවරයා මේ තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ජාතික අවශ්‍යයතාවයන් වෙනුවෙන් ව්‍යවසායකයන් නිර්මාණ්‍ය කිරීමේ කාර්යය සඳහා බැංකු ප්‍රතිපත්ති නම්‍යශීලී වීමේ අවශ්‍යයතාවය අවධාරණය කළේය.

පත්වීම් ලැබූ ආරක්ෂක සහයකයන් අමතමින් ආරක්ෂක අංශයන් හී පළපුරුද්ද ඇති අය ලෙස ඔවුන්ට ඇති යුධ අත්දැකීම් සමඟ සතුරු කරදරයකදී බැංකුවේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වීම වගේම,බැංකුව සමඟ ගණුදෙනු කරන පිරිස සමඟ මිතුරුව කටයුතු කර නැවත නැවතත් ඔවුන් සිය අවශ්‍යයතාවයන් වෙනුවෙන් බැංකුවට ගෙන්වා ගැනීමට ද සිය දායකත්වය ලබා දිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පත්වීම් ප්‍රදානය කිරීම සඳහා කබීර් හෂීම් අමාත්‍යවරයා සමඟ මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මැතිතුමා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිතුමා ද එක් වූහ.ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා,මහා කලමණාකරු ඩී.එම්.ගුණසේකර යන මහත්වරුන්ද, මෙහිදී අදහස් දැක් වූ අතර ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ආයතනික මට්ටමේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් සමඟ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ.

scroll to top