‘‘කාල් මාක්ස් පරාජය කළේ ලෙනින්..’’ – ඇමති චම්පික

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවයට වසර 100 යි. 1917 රුසියාවේ පීටර්ස් බර්ග් නගරයේ ආරම්භ වූ බෝල්ෂෙවික් විප්ලවයට නායකත්වය දුන්නේ ව්ලැඩිමර් ලීච් ලෙනින්. ඒ වගේම ඔහුගේ විප්ලවයට පාදක වූ රතු හමුදාවට නායකත්වය දුන්නේ ලියොන් ට්‍රොස්කි. එම විප්ලවය මේරට වැනි, රටවල් ගණනාවක ප‍්‍රධාන තේමාව බවට මේ සියවසක් පමණ කාලයක් මුළුල්ලේම පැවතිී තිබෙනවා. බෝල් ෂෙවික් පන්නයේ විප්ලවයක් කිරීමට සූදානම් එක් දේශපාලන පක්ෂයක් දෙකක් නෙමෙයි දේශපාලන පක්ෂ ගණනාවක්ම අපේ රටේ තිබෙනවා. ඒ පන්නයේ සන්නද්ධ විප්ලවයක් මගින් බලය අල්ලා ගැනීමට 1971 දීත්, 1987-89 දීත් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහයන් දැරුවා. ඒ වගේම ලංකා සම සමාජ පක්ෂයේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වා විවිධ කල්ලි කණ්ඩායම් විවිධ මතවාද ඉදිරිපත් කරමින් විවිධ අරගල විවිධ අවස්ථා වල දියත් කර තිබෙනවා.

ඇත්තටම ලෙනින් කවුද? සමාජ ප‍්‍රතිසංස්කරණ වාදියෙක්ද? සමාජවාදය ස්ථාපිත කළ බලගතු වීරයෙක්ද? නැතිනම් ඒකාධිපතියෙක්ද? ලෙනින් කළ දේ නොකළ දේ අප විධිමත්ව වටහාගත යුතුයි. ලෙනින් කළ ඉතාම බලගතු කාරණා කිහිපයක් තිබෙනවා. පළමුවෙනි එක බහුතර විසුරුණු ජනතා මතයකට වඩා මතවාදයකින් සන්නද්ධ වූ මධ්‍ය ගත පක්‍ෂයකට සමාජයක් පාලනය කළ හැකි බව වෙනස් කළ හැකි බව. විශේෂයෙන්ම රුසියාවේ මේන් ෂෙවික්වරු කෙරනෙස්කිගේ නායකත්වයෙන් යුතුව මැතිවරණ ජයග‍්‍රහණය කළා සාර් රජු පළවා හැර. නමුත් ඒ අවස්ථාවේදී බෝල් ෂෙවික් පක්ෂයට නගරවල ඉතා සුළු ඡන්ද ප‍්‍රමාණයක් තමයි ලැබුණේ. එම ඡන්ද ප‍්‍රමාණ්‍ය ඇතැමුන් ප‍්‍රකාශ කරන පරිදි 17% ක් තරම් අඩු ප‍්‍රමාණයක්. නමුත් සංවිධානාත්මක පක්ෂයක් හැටියට වඩාත් මධ්‍යගත විනය ගත පක්ෂය උනේ ලෙනින් හා ට්‍රොස්කි, ස්ටැලින් නායකත්වය දුන් ඒ බෝල්ෂෙවික් පකෂයයි. ඒ නිසා බෝල්ෂෙවික් පක්ෂය තමන්ගේ පක්ෂ යාන්ත‍්‍රණය පාවිච්චි කර බහුතරයේ ජනමතය තිබූ විසිරුණු විමධ්‍යගත දේශපාල පක්ෂ පරාජය කර පක්ෂයක ආධිපත්‍යයට රටක් හසු කළා. ඇත්තටම ලෙනින්ගේ මග ගනිමින් ඉන් පස්සේ ඉතාලියේ පැසිස්ට්වාදී පක්ෂ, ජර්මනියේ නාසි වාදි පක්ෂ හා ජපානයේ වගේම ස්පාඤ්ඤයේ සහ රතු චීනයේ එවැනි පක්ෂවලට බලය ලබාගැනීම් සිදු උනා. ඒ අනුව ලෙනින් නූතන ලෝකයට ලබාදුන් බලගතු ආදර්ශය සංවිධානාත්මක මධ්‍ය ගත පක්ෂයකට බහුතර ජනමතය කවරක් උනත් රටක් සමාජයක් ආණ්ඩුවක් බොහෝ දිගු කලක් පාලනය කළ හැකියි යන්න.

ඊ ළඟට ඔහු විසින් ඇතිකළ ඉතාමත් බලගතු අනෙක් කාරණය තමයි දේශපාලන මතවාදයකින් යුතු සන්නද්ධ හමුදාවක් ගොඩනැගීම. රුසියාව ලෝකයේ විශාලතම රට. රුසියාව අවට තිබූ රටවල් ගණනාවක් එකතු කර තමයි සෝවියට් සංගමය පිහිටෙව්වේ. සෝවියට් සංගමය පිහිටෙව්වට පස්සේ යුක්රේණය, බෙලෝරුසියාව, මධ්‍ය ආසියානු රටවල් එකතු කර ලෝකයේ ලොකුම ආර්ථිකය බවටත් එක අවස්ථාවක දී පත්වුණා. නමුත් ඒ සඳහා ප‍්‍රධාන වශයෙන්ම මුල් උනේ රුසියානු රතු හමුදාව. එම රතු හමුදාව කලින් හමුදාව වගේ දේශපේ‍්‍රමය හෝ වෙනත් කරුණු මතම පමණක් නෙමෙයි, යම් මතවාදී ක‍්‍රියාවලියක් මගින්, මාක්ස්වාදය, දේශපේ‍්‍රමය කලවම් වූ මතවාදී කි‍්‍රයාදාමයක් මගින් කොමියුනිස්ට් පක්ෂයේම විශේෂ අංගයක් ලෙස කි‍්‍රයාත්මක උනා. ඒ නිසා එම හමුදාවන් වලට යුරෝපයේ අනෙකුත් බලගතු හමුදාවන් පරාජය කිරීමේ හැකියාව ලැබුණා. කලින් අවස්ථාවල සාර් රජතුමා ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයට, ජර්මනියට, එංගලන්තයට පරාජයට පත්වුණා. විශේෂයෙන්ම ජපානයටත් 1904 දී පරාජයට පත් වුණා. නමුත් මේ බෝල්ෂෙවික් පක්ෂය හා රතු හමුදාව පිහිටෙව්වට පස්සේ ඔවුන් සටන්වලින් පසු බැස්සට බොහෝ සටන් විජයග‍්‍රහණයෙන් කෙළවර කර ගන්න ඔවුන්ට හැකි උනා දාර්ශනික හමුදාවක් පිහිටුවීම මගින්.

මෙය පසුව හිට්ලර්ට, මුසලෝනිට වගේම මාඕසේතුංටත් ප‍්‍රධාන අංගෝපාංගයක් බවට පත් වුණා. විශේෂයෙන්ම වියට්නාමය වැනි රටවල කොමියුනිස්ට් පක්ෂය හා හමුදාව එකට එකතුවෙලා ලෝකයේ බලගතු අධිරාජ්‍ය බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය වැනි අධිරාජ්‍යවාදයන් පරාජය කරවීමට තරම් ශක්තිමත් බලයක් බවට පත් වුණා. මෙය තමයි ලෙනින් කළ දෙවන බලගතු කි‍්‍රයාදාමය. ලෙනින් කළ තෙවැනි බලගතු කි‍්‍රයාදාමය තමයි ස්වභාවිකව වර්ධනය වෙන ඉතිහාසයේ කි‍්‍රයාදාමයට මැදිහත්වීමක් කර වහාම ඔහු ගොවි පදනමක් තිබූ රුසියාව කාර්මික පදනමක් කරා බලයෙන්ම ගෙනයාමට දැරූ උත්සාහය සහ එමගින් සෝවියට් සංගමය නමින් බලගතු රාජ්‍යයක් ගොඩනැගීමට පදනම, පුරෝගාමී මෙහෙවර ඉටු කිරීම. ඇත්තටම මේ සම්බන්ධයෙන් වැඩි ගෞරවය හිමිවිය යුත්තේ ජෝසප් ස්ටාර්ලින්ට. ඔහු තමයි රුසියාව නමැති පසුගාමී කෘෂි ආර්ථිකය බලගතු කාර්මික රටක් බවට පරිවර්තනය කළේ. කෙසේ වෙතත් එයට අවශ්‍ය කරන පුරෝගාමී න්‍යායත් පුරෝගාමී ශක්තියක් ලැබුනේ ලෙනින්ගෙන්. ලෙනින් මේ කි‍්‍රයාදාමය මගින් පෙන්වා දෙනු ලැබුවේ රාජ්‍යයේ, දේශපාලන පක්ෂයක, හමුදාවක මැදිහත්වීම මගින් ස්වභාවිකව ඉතිහාසයේ ඇතිවන චලනයන් සංවිධානාත්මකව විශේෂයෙන්ම සැලසුම්ගත ආකාරයකට පරිවර්ථනය කළ හැකි බව. එනිසා වෙළඳපල ක‍්‍රමයට පටහැනිව, වෙළඳපල ක‍්‍රමය වෙනුවට කිසියම් ආකාරයක නව ආර්ථික මාදිලියක් හඳුන්වා දෙන්නට ලෙනින්ට හැකියාව ලැබුණා.

ලෙනින් නොකළ දේත් අප වටහාගත යුතුයි. ලෙනින් නොකළ පළවෙනි දේ තමයි ඔහු මාක්ස්වාදියෙක් නොවීම. මේක කිව්වහම මාක්ස් ලෙනින් වාදීන් බොහොම කිපෙන බව මම දන්නවා. නමුත් කාල්මාක්ස් ප‍්‍රකාශ කළ ආකාරයේ ධනවාදයේ උච්චතම අවධියක, සමාජවාදය බිහි වෙනවා නම් එය බිහිවිය යුතුව තිබුණේ නෙදර්ලන්තයේ, එංගලන්තයේ හෝ අඩු තරමින් ජර්මනියේ. නමුත් පසුගාමී කෘෂිකාර්මික රටක් වූ රුසියාවේ. එයත් මේ මාක්ස්වාදීන් අනුදැන වදාල ආකාරයේ සමාජවාදයක් නෙමෙයි. කම්කරුවන් මූලිකකරගත්, කම්කරුවන් විසින් ආර්ථිකය සැලසුම්කරණය කළ ආර්ථිකයක් නෙමෙයි. ගොවියන්, රතු හමුදාව සහ කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානාත්මකව සැලසුම් සහගතව මෙහෙය වූ ආර්ථිකයක්. ඒ අනුව මාක්ස්වාදය පරාජය කළේ අන් කවරෙකුවත් නෙමෙයි ව්ලැඩිමීර් ලීච් ලෙනින් විසින්.

ඒ වගේම ලෙනින් විසින් කළ අනෙක් වැදගත් කාරණය තමයි සමාජවාදයට ආරථිකයක් ගොඩනගාගන්නට, ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට නොහැකි බව ඔප්පුකර පෙන්වීම. ලෙනින් 1917 දී කළ ඒ බරපතල ආර්ථික ප‍්‍රතිසංස්කරණය, සමූහ ගොවිපල ක‍්‍රමය පිහිටවීම, පොදු දේපල අයිතියට ඉඩම් අයිතියට යටත් කිරීම වැනි කි‍්‍රයාදාමයන් ප‍්‍රතිඵලදායක උනේ නැහැ. රුසියාවේ ආදායම් කඩාවැටිලා රුසියාව ආර්ථිකය අගාධයකට 1919 ඉඳන් වැටුනා. ඒ නිසා ලෙනින්ට සිය ජීවිතයේ අවසාන කාලයේදී ධනවාදී ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට සිදු උනා. ඒ අනුව ලෙනින් අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ එහෙම නැත්නම් ප‍්‍රායෝගිකවාදියෙක්. ලෙනින් කියන්නේ ඉතාම බලගතු ප‍්‍රායෝගිකවාදියෙක්. එය මේ රටේ සිටින මාක්ස්වාදීන්ටත් හොඳ අත්දැකීමක්. තමන්ගේ ආර්ථික නියාමනයන් අසාර්ථක වන බව දැනගත්තහම ඔහු කෙලින්ම තමන්ගේ ආර්ථික න්‍යාය වෙනස් කළා. පාක්ෂය පිළිබඳ අදහස පවා කළ යුත්තේ කුමක්ද කියන කෘතිය ලියලා 1904 විප්ලවය පැරදිච්ච අවස්ථාවේ පක්ෂය තමයි මූලික පන්තියට වඩා කියන අදහස ඉදිරිපත් කර මේ මූලික වෙනස්කම කළෙත් ලෙනින්. ඔහු ඉතාම බලගතු ප‍්‍රායෝගිකවාදියෙක් මිස, මාක්ස්වාදියෙක් හෝ මාක්ස්වාදී ආර්ථිකය ඉදිරියට ගෙන යන පුද්ගලයෙක් නෙමෙයි.

තුන්වනුව ලෙනින් මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් ලෙස ජාතීන්ට ස්වයංතීරණ අයිතිය ලබාදුන් කෙනෙක් හැටියට ඇතැම් අය විග‍්‍රහ කරනවා. නමුත් ලෙනින් යුක්රේනය ආක‍්‍රමණය කළා. තවත් රටවල් ගණනාවක් ඔහු රුසියාව වෙනුවෙන් ඇති කළා. විශේෂයෙන්ම යුක්රේනය ආක‍්‍රමණය කළ අවස්ථාවේ ඔහු කිව්වා ‘රුසියාවේ පාං මල්ල යුක්රේනය’ යුක්රේනයේ තමයි තිරිඟු වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණේ. ඒ වගේම රුසියාවට වඩා සශී‍්‍රක රටක්. වර්තමානයේත් යුක්රේනය සම්බන්ධයෙන් ගැටළු පැන නැගී තිබෙන්නේ රුසියාවට ඒ නිසයි. ලෙනින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස අලූත් වදනක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව පක්ෂයක අධිබල නායකත්වයට, ස්ථාවර පාලනයකට අවට කලාපයේ රටවලූත් තමන්ගේ රටත්, තමන්ගේ ජනතාවත් යටත් කර ගන්න උගන්වපු නායකයෙක් හැටියට මිස ලෙනින් ප‍්‍රචලිත වන්නේ නැහැ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රටට, සමාජයට ලබාදුන් නායකයෙක් හැටියට. ඒ වගේම විවිධ ජාතීන්ට තමන්ට ඕනෑ ඕනෑ ආකාරයකට හැසිරෙන්න ස්වයං නීර්ණ අයිතිය මත කි‍්‍රයා කරන රටක් ලෙස. ඔහු නිතරම ඔහුගේ පාලනය යටත් රටවලට සාපේක්‍ෂව තමයි මේ රටවලට වෙන්වී යාමේ අයිතිය සලකා බැලූවේ. හැබැයි අපි එකක් පිළිගත යුතුයි. සෝවියට් සංගමය නැමැති බලගතු රාජ්‍යය දෙවන ලෝක සංග‍්‍රාමයෙන් බිහිවූ නිසා තමයි බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ලෝකය පුරා ගෙනගිය ඒ අධිරාජ්‍යවාදී කි‍්‍රයාවලිය රටවල් යටපත් කරගෙන ඒවා හූරා කෑමෙ කි‍්‍රයාවලියට මරු පහරක් එල්ල උන බවත් අපි ගෞරවයෙන් මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ යුතුයි.

ලෙනින් ඇතැම් කරුණු අතින් නිර්මාණශීලි උනත් ඇත්ත වශයෙන්ම පන්තිය වෙනුවට පක්ෂය ගෙන ඒම එක පැත්තකින් ඒ වගේම බහුතර ජනමතය වෙනුවට පක්ෂය ඉදිරිපත් කිරීම වෙනුවෙන්, ඒ වගේම ස්වභාවික වෙළඳපල කි‍්‍රයාකාරිත්වය වෙනුවට සැලසුම්කරණ කි‍්‍රයාකාරීත්වය ඉදිරිපත් කිරීම ආදී කාරණාවලින් නිර්මාණශීලියෙක් උනාට, ඔහුට ලෝකයේ විශේෂයෙන්ම රුසියානු ජනතාවගේ නිර්මාණශීලීත්වය මොට කිරීමේ පුරෝගාමියා හැටියටත් මුල්තැන ලැබෙනවා. මොකද එක පක්ෂයක ආග‍්‍රහනශීලි මතවාදය නිසා නිදහස් චින්තනයට බාධා පැමිණෙනවා. ඒක තමයි වසර 70කට පස්සේ රුසියාව තාක්ෂණ අතින් සමාජමය අතින් ඉතාම පහල තත්වයකට පත්වුණේ. ලෙනින්ගේ අවසාන පුද්ගලයා වූ ගොර්බචෝක් කළ වැදගත් ප‍්‍රකාශයක් තමයි 1991 දී සෝවියට් සංගමය විසුරුවා හරින අවස්ථාවේදී ‘අපි අහසට රොකට් ඇරියට, ලෝකයේ බලගතුම හමුදාව හැදුවට,දත් බුරුසු, යට ඇඳුම්, සබන් කෑලි වැනි ජනතාවට එදි නෙදා අවශ්‍ය දෑ නිපදවීමට අසමත් නිර්මාණශීලිත්වය, නැතිකරගත්, වඳකරගත් ජාතියක් බවට පත්වීම.

ඒ වගේම ලෙනින්ගේ සමාජවාදය නිසා රුසියාවේ ආර්ථිකය ගොඩනැගුණා කියන එකත් තවත් විශාල අසත්‍යයක්. රුසියාව කවදද ගොඩනැගුණේ, එහි ආර්ථිකයේ පදනම වූයේ තෙල් හා ගෑස්. එදා මාක්ස්වාදී සෝවියට් සංගමයේ ආදායමින් 75%ක් ම ලැබුණේ තෙල් හා ගෑස් නිසා මිස සමාජවාදය නිසා නෙමෙයි. ඒ වගේම ඒ සෝවියට් ක‍්‍රමය අර්බුදයට ගියෙත් තෙල් හා ගෑස්වල මිල කඩා වැටීමත් සමග. එය නිවැරදිව හඳුනාගත් නායකයා තමයි වර්තමාන රුසියානු ජනාධිපති ව්ලැඩිමර් පුටින්. ඔහු මේ තෙල් හා ගෑස් සාධකය පාවිච්ච කර තමයි ආර්ථික අතින් ඉතාම දුර්වල තැනක සිටින රුසියාව ප‍්‍රබලතම රටක් බවට අදටත් පවත්වාගෙන යන්නේ. කෙසේ වෙතත් ලෙනින්ගෙන් ඉගෙන ගත යුතු පාඩම් නිසියාකාරයෙන් අපි ඉගෙන ගත යුතුයි. ගිරව් වගේ සමාජවාදය, කොමියුනිස්ට් වාදය නැත්නම් මරණය කිය කිය සමාජය අතීතයට ඇදගෙන නොගොස් ලෙනින් විසින් යම් විප්ලවීය ජීව ගුණයක් අධිෂ්ඨානශීලි කි‍්‍රයාදාමයක් ලෝකයට හඳුන්වා දුන්නා. ඒ ලෝකය හඳුන්වා දුන් අධිෂ්ඨානශීලි කි‍්‍රියාදාමය ඔහුගේ ප‍්‍රායෝගිකවාදය ආග‍්‍රාහනගහශීලීත්වයෙන් යුතුව මතවාද කරපින්නාගෙන නොඉඳ ප‍්‍රායෝගික වෙමින් රටක් ඉදිරියට ගෙනයාමේ ඔහුගේ ප‍්‍රායෝගික උපාය මාර්ග අපි හඳුනාගෙන යුතුයි. අද රටට ලෝකයට අවශ්‍ය හතරවෙනි කාර්මික විප්ලවය ශක්තිමත්ව ඉදිරියට ගෙනයා හැකි ලෙනින්වාදීන් මිස මාක්ස්, ලෙනින්වාදීන් නොවේ’ යයි පැවසීය.

scroll to top