ක්‍රීඩාවේ පරිහානියට වැළැක්වීමට කුමක් හෝ කරන්න වෙයි. අස්ගිරි මහානායක හිමි ඇමති අර්ජුන හමුවේ කියයි

“ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වැළැක්වීමට කුමක් හෝ කරන්න වෙයි. ඇත්තටම අපි කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයෝ තෝරා ගන්න ඕන. අද තියෙන්නේ පරිපාලනයේ ප්‍ර‍ශ්නයක්. රටක නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කර ඊළග අනාගතයට ක්‍රිකට් ඉතිරි කළ යුතුයි. ඒ සඳහා කුමක් හෝ කරන්න වෙයි…..” යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසයි. උන්වහන්සේ මේබව කියා සිටියේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

දළදා සමිඳුන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමි බැහැදුටුවේ පසුගිය සති අන්තයේයි. ඉන් අනතුරුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බැහැ දුටුවේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල ගැන එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහනායක හිමිවරුවන්ව දැනුවත් කළේය. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ගැනද එහිදී මහානායක හිමිවරුන් සහ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අදහස් හුවමාරු විය. මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිහානිය නතර කිරීමට ක්‍රිකට් පරිපාලනය භාරගෙන කටයුතු කරන්නැයි මහානායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවට සහභාගි නොවූයේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඊට ප්‍ර‍තිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

“ක්‍රිකට්වලට ආදරය තියෙන කිසිම කෙනෙක් ඔතැනට යන්නේ නැහැ. එතැන තනිකරම වංචාවක් ප්‍රෝඩාවක් කළේ. මේ වැඩමුළුව කරන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් එහෙම වුණේ නැහැ. මට එවූ ආරාධනා පත්‍ර‍යේ පැමිණීම සනාථ කිරීමට දැනුම්දිය යුතු දුරකථන අංකයට යොදා තිබුණේ ගයත්‍රි කියන අයකුගේ නමක්. ඒ තැනැන්තිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩකරන නිලධාරිනියක්. ඒකෙන්ම පේනවා මේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අද තියෙන ප්‍ර‍ශ්න ටික කල් දැමීමේ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම ඇමතිතුමා කියනවා මේක වැදගත් සාකච්ඡාවක්. නමුත් එතුමා මේ වැඩමුළුවේ ඉන්නේ විනාඩි පහක් දහයක් වගේ සුළු වෙලාවක්. ඇත්තටම එතුමාට ක්‍රිකට් ගැන කැක්කුමක් නෑනේ. එතුමා ක්‍රිකට් ගහලත් නැහැ. ක්‍රිකට් ගැන දැනුමකුත් නැහැ.

ක්‍රීඩා අමැතිතුමා කියනවා මම පාරවල්වල කථා කරනවා කියලා. නමුත් මගේ ජීවිතය කියන්නේ ක්‍රිකට්. මම යම් දෙයක් ලබා ගත්තා නම් ලබා ගත්තේ ක්‍රිකට්වලින්. ඒ හින්දා රටේ ක්‍රිකට් විනාශ වෙන එක මට බලන් ඉන්න බැහැ. මම ක්‍රිකට් වෙනුවෙන් ඕන තැනක ගිහිල්ලා කථා කරනවා. ඒක මෙහෙ කරගන්න බැරි වුණොත් ලෝක ක්‍රිකට් කවුන්සිලයට හරි ගිහිල්ලා ඔවුන්ව දැනුවත් කරනවා අපේ රටේ ක්‍රිකට්වලට වෙන විනාශය ගැන. එතැනට යන්න කලින් මම තව ටික කාලයක් දෙනවා.

අද ක්‍රීඩා අමැතිතුමාට ක්‍රිකට් ගොඩ ගන්න අවශ්‍යතාවක් නැහැ. ක්‍රීඩා නීතියට අනුව සූදු පවුල්වල අයට ක්‍රිකට් පරිපාලනයේ ඉන්න බැහැ. හැබැයි ක්‍රීඩා අමැතිතුතමා ඒ ගැන දන්නේ නැහැ. එතුමා මේ රටේ ඉන්න කෙනෙක් නෙමෙයිනේ. ඉතිං දැන් ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. ජනාධිපතිතුමාට මේ රට භාර දුන්නේ හැම දේම හරියට කරන්න. ඒ නිසා ක්‍රීඩාව විනාශ කරන්න දෙන්න බැහැ එතුමාට. ඒ නිසා ඒ වගකීම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගන්න ඕන. ක්‍රීඩා ඇමතිතුමා අතුරු පාලක කමිටුවක් පත් නොකළාට සමහර විට ජනාධිපතිතුමා ඒ තීරණ ගනිවි. මොකද සමහර විට ඉදිරි මැතිවරණවලදී ක්‍රිකට් ප්‍ර‍ශ්නය මූලික ප්‍ර‍ශ්නයක් ලෙස ඉදිරියට වේවි.

අද මට පේන්නේ, ක්‍රිකට් කියන්නේ අද ක්‍රීඩා ඇමැතිතුමාගේ යටතේ තියෙන දෙයක් නෙමෙයි. එතුමාට අද අයිතියකුත් නැහැ. බලයකුත් නැහැ. කරන්න හයියකුත් නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් සම්බන්ධ කරගෙන ඔට්ටු ඇල්ලීම් වෙනවා. ඒවා ක්‍රීඩා අමැතිතුමා සෙවිය යුතුයි. ඒවා හොයන්න කියලා ක්‍රීඩා අමැතිතුමා මාධ්‍යයට කියලා වැඩක් නැහැ. එහෙම කියන්න නම් ක්‍රීඩා ඇමැතිවරයෙක් වැඩක් නැහැ. මම ඕනනම් ඔප්පු කරලා පෙන්නන්නම් ඒවා වෙනවා කියලා. වෙන ඕන නැහැ, ක්‍රිකට් තරගගාවලි කාලෙට ඔය ස්පෝර්ටින් ස්ටාර් කියන ආයතනයට ගිහිල්ලා බලන්න. ක්‍රීඩකයින්ගේ නමට ඔට්ටු අල්ලන්න පුළුවන්. මේවට සම්බන්ධ පුද්ගලයෝ එක්ක නම් ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් කරන්න කැමැති, ක්‍රිකට් ක්‍රීඩාව ඉක්මනට විනාශ වෙයි. සූදුවක් බවට පත් වෙයි. ඒකට ක්‍රීඩා ඇමැතිතුමා විශාල දායකත්වයක් දෙනවා……” යනුවෙනි.

scroll to top