ක්‍රිකට් ආයතනය විසුරුවා අතුරු කමිටුවක් පත් කරන්න – අර්ජුන

sl-cricket-team.jpg

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් අද ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට මුහුණ දී ඇති අර්බුදය විසඳීම සඳහා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය එය වන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය. එතුමා අවධාරණය කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පිහිටුවන අතුරුපාලක කමිටුවට නායකත්වය දීමට තමන් සූදානම් බවයි.

“අපි ක්‍රිකට් ක්‍රීඩාව යම්කිසි තැනකට ගෙනාවා. ඉදිරියේදී මම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දැනුවත් කරනවා, ක්‍රිකට් ක්‍රීඩාව බේරගන්න අවශ්‍ය නම් සූදු කාරයින්ගේන් ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් කරගෙන, හොරුන් ඉවත් කරලා සුදුසු පුද්ගලයෝ එතනට දාන්න කියලා. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලය මේ විදියට ගියොත් අනිවාර්යයයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තව විනාශයකට යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අතුරුපාලක මණ්ඩලයක් දාන්න ඕන. මම ක්‍රිකට් ක්‍රීඩා භාර ගන්නවා හොඳ කණ්ඩායමක් එක්ක. අරගෙන මම හදනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලේ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේදී සිය මූලික අයිතිවාසිකම් කඩවූ බව සිය පැමිණිල්ලෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටි. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ගොනුකළ එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා රෙගුලාසිවල 13, 14, සහ 15 යන වගන්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ 11 – F5 උල්ලංඝණය කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ඇතැම් පුද්ගලයින්ගේ නාමයෝජනා භාරගැනීමෙන් තමන්ට සහ සෙසු පිරිස්වලට අගතියක් සිදුව ඇති බවයි. පැමිණිල්ලේ ප්‍රකාශය ලබා දීමෙන් පසුව,

“ ලෙස්ටර් පිකොට්ලා වගේ අය ගෙන්නලා තමයි දැන් ක්‍රිකට් දුවන්න හදන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ අපේ පින්තූරත් ගලවලා අස්සයන්ගේ පින්තූරලු ගහන්නේ. නමුත් අතුරු පාලක කමිටු තිබ්බම හොරකම් කරන්න බැහැ. අතුරු පාලක මණ්ඩලයේ මමත් අවුරුද්දක් විතර හිටියා. අපි කාටත් හොරකම් කරන්න දුන්නේ නැහැ. මම වගකීමකින් කියනවා අතුරුපාලක මණ්ඩලයේ ඉන්න කාලේ එක එක්කෙනාට මුදල් දීලා ඡන්ද ව්‍යාපාරවලට යන්න අවශ්‍ය වන්නේ නැහැ. මේනිසා අතුරු පාලක මණ්ඩලයත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තත්ත්වයකට ගියා. බලපෑම් ආවේ නැහැ. අද මට තියෙන ප්‍රශ්නය ක්‍රීඩා ඇමතිවරයා කවුද කියන එක. අද ක්‍රිකට් සම්බන්ධයෙන් තීරණ ගන්නේ ක්‍රීඩා ඇමතිවරයා නෙමෙයි. අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ බුකීකාරයෝ සහ ව්‍යාපාරිකයෝ. එම පුද්ගලයින්ගේ අවශ්‍යතා මත තීරණ ගන්නේ. අපි දැක්කා පසුගිය නිලවරණයේදී තමන්ගේ ඡන්ද ව්‍යපාරයට උදව් කළ අයට ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැකියා ලබා දී තියෙනවා. ඒ සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරනවා. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා කටවහ ගෙන ඉන්නවා. අද ක්‍රිකට් පරිපාලනයේ ඉන්න අයට ක්‍රිකට් ක්‍රීඩාව කරන්න බැරිවුණ නිසා, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරි වුණ නිසා මේ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරලා යන්නයි හදන්නේ. මම හිතන්නේ මහජනතාව ඒ ගැන හොයලා බලන්න ඕන…. ” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී මාධ්‍ය හමුවේ පැවසීය.

scroll to top