කටාර් සෞදි ගැටුම මාලදිවයින හරහා ඉන්දියන් සාගරයටත්…

මැදපෙරදිග කටාර් රාජ්‍යය හා සෞදි අරාබිය අතර ඇති වී තිබෙන මේ ගැටුම, සෞදි අරාබියට නායකත්වය දෙන සුන්නි ඉස්ලාමීය සන්ධානය, අනෙකුත් මුස්ලිම් රටවල්ද, ඒ වගේම ෂියා රටවල්, ඉරාණය මූලිකත්වය දෙන රටවල් අතර ද මේ ගැටුම ඉදිරි කාලයේ මෙයටත් වඩා බරපතල ලෙස ඇදී යන්නට පුළුවන් පමණක් නෙමෙයි එයට ඉන්දියන් සාගරයත්, ශ‍්‍රී ලංකාවත් ගැටගැසීමේ අනතුර දැන් පහළ වී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘පසුගිය ජූනි 5 වෙනිදා බහරේන් රාජ්‍යය හදිසියේම ප‍්‍රකාශ කර සිටියා ඔවුන් කටාර් රාජ්‍ය සමග රාජ තාන්ත‍්‍රික සබඳතා නතර කළ බව. ඉන් මිනිත්තු කිහිපයකට පසු සෞදි අරාබියත්, ඊජිප්තුවත් මෙවැනිම ප‍්‍රකාශයක් කලා. ඒ හා සමගම භූමි ප‍්‍රමාණය කුඩා නමුත් ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් වන කටාරය බරපතල දේශපාලන ආර්ථික ගැටළු ගණනාවකට මුහුණ දුන්නා. හේතුව ලෙස අරාබි රටවල් පෙන්වා දුන්නේ කටාර් රාජ්‍යය ත‍්‍රස්තවාදීන්ට අරමුදල් සම්පාදනය කරන බවයි. විශේෂයෙන්ම ඊශ‍්‍රායලය සමග සටන් කරන හමාස් ත‍්‍රස්තවාදයට, ඊජිප්තුවේ කටයුතු කරන මුස්ලිම් සහෝදරත්වයට, එසේ නැත්නම් මුස්ලිම් ගදර්හුඞ් මුස්ලිම් සුන්නි අන්තවාදී ව්‍යාපාරයට, බහරේනයේ විවෘත දේශපාලන පක්ෂයට, සෞදි අරාබියේ විවිධ දේශපාලන සංවිධානවලට සහ අල්කයිඩා, අල්නුස්රා සහ අයීසීස් ත‍්‍රස්තවාදීන්ට අති විශාල අරමුදල් ප‍්‍රමාණයක් කටාර් රාජ්‍යය සපයන බවට ඔවුන් චෝදනා කරනවා. ඒ අනුව පුද්ගලයින් 57 දෙනෙක් ගේ ගිණුම් තහනම් කිරීමට සහ සංවිධාන, බැංකු අති විශාල ප‍්‍රමාණයක ගිණුම් තහනම් කිරීමට කටයුතු කෙරුණා. විශේෂයෙන්ම කටාර් රාජ්‍ය තුළ කි‍්‍රයාත්මක වන ප‍්‍රධාන බැංකු 6 ම, සෞදි අරාබියේ ඊජිප්තුව, බහරේනය යන රටවල ගිණුම් තහනමකට ලක් වුණා. ඒ වගේම සෞදි අරාබිය කටාර් රාජ්‍ය දෙසට තිබෙන තමන්ගේ දේශ සීමාව වසා දැමුවා. කටාර් රාජ්‍යයේ ආහාර හා අනෙකුත් අවශ්‍යතා වලින් 40 % ක් පමණ මේ දේශ සීමාව හරහා තමයි ගමන් කරමින් තිබෙන්නේ. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිට කි‍්‍රයාත්මක වන ඉතා ජනප‍්‍රිය ඉස්ලාමීය මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා ආයතනය වසා දැමීමටත් ඒ රටවල් කි‍්‍රයාත්මක උනා. ඉන් දින කිහිපයකට පසු වාර්තා උනේ මේ පිටුපස සිටින කි‍්‍රයාවලිය අන්කවරක්වත් නොව ඇමරිකා එක්සත් ජනපදය බවයි. බොහෝ දෙනෙක් මේ පිළිබඳව මවිතය පළ කළා. ඒ කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ විශාලම ගුවන් කඳවුර පිහිටා තිබෙන්නේ කටාර් රාජ්‍යයේ. ඒ වගේම කටාර් රාජ්‍යය තමන්ගේ ගෑස් අපනයනයන් ඉතාම අඩු මුදලට ඇමරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ගිවිසුමකටත් එළඹිලා තිබෙනවා. හැබැයි පෙර මෙන් දැන් කටාර් රාජ්‍යයට ඇමරිකා එක්සත් ජනපදයට බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. මොකද ෂෙල් ගෑස් ව්‍යාපෘතිය මගින් ඇමරිකා එක්සත් ජනපදය 2013 දී බලශක්ති ස්වයංපෝෂිත භාවය අත්පත් කර ගත් නිසා පෙර සෞදි අරාබියට හෝ කටාර් රාජ්‍යය හෝ ඇමරිකාව සම්බන්ධයෙන් තෙල් හා ගෑස් අවියක් ලෙස පාවිච්චි කර බලපෑම් කිරීමට තිබූ ඉඩකඩ බොහෝ දුරට අඩුවීමක් හැටියටයි අප මෙය දකින්නේ.

ඒ වගේම ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සිය පළමු විදේශ සංචාරය සිදු කළේ මැද පෙරදිග. එහිදී සෞදි අරාබියේදී, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය ආදී රටවල රාජ්‍ය නායකයන් සහ අමාත්‍යවරුන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත අරාබි සංසදය ඇමතීමකුත් කළා. මේ සියල්ලෙන් පෙනී යන්නේ කිසියම් දුරකට සුන්නි ජාතිකවාදී ව්‍යාපෘතියක් මගින් කටාර් රාජ්‍යය කොන් කිරීමට කටයුතු කරන බවයි. හැබැයි ඔවුන් චෝදනා කරන ත‍්‍රස්තවාදී ආයතන සියල්ලම සුන්නි ආගමික නිකායට අයත් අය වීම විශේෂයක්. මෙහිදී විශේෂයෙන්ම කටාර් රාජ්‍යය තමන්ගේ ප‍්‍රධාන අගනගරය වන ඩෝහා නගරය අරාබියේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පරිවර්ථනය කර ගැනීම සඳහා තියුණු තරඟයක නියැලිලා තිබෙන බව පැහැදිලියි. විශේෂයෙන්ම ඩුබායි රටත්, යූ.ඒ.ඊ. රජයත් කටාර්වලට එරෙහිව මෙම සන්ධානයට එක් වී තිබෙනවා. මෙම එක්වීම කටාර් ගුවන් සේවය, අල්ජසීරා රූපවාහිනිය සහ ඩෝහා නගරය පරාජයට පත් කිරීමේ අරමුණින් විය යුතුයි. මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම අල් ජසීරා රූපවාහිනී නාලිකාව ප‍්‍රකාශ කරන්නේ ත‍්‍රස්තවාදයට ඇප උපකාර කිරීම පිළිබඳව කටාර් රාජ්‍යයට එක ඇඟිල්ලක් දිගු කරන්නේ නම්, ඇඟිලි කිහිපයක් සෞදි අරාබියට, යූ.ඒ.ඊ. රජ්‍යයට, බහරේනයට යොමුවන බවයි. තවද ඔවුන් ප‍්‍රකාශ කරන්නේ අයිසීස්, අල්කයිඩා, අල් නුස්රා වැනි ත‍්‍රස්තවාදී සංවිධාන ගණනාවකම ප‍්‍රධාන මට්ටමේ නායකයෙකු වූ ඔසාමා බින්ලාඩන්ගේ සිට සෞදි ජාතිකයින් බවත්, නොවැම්බර් 11 ප‍්‍රහාරයට ඇමරිකා එක්සත් ජනපදයට ගමන්කොට ඒ ප‍්‍රහාරය මෙහෙයවූ 19 දෙනාගෙන් 15 දෙනෙක්ම සෞදි ජාතිකයින් බවයි. ඒ වගේම ලෝකය පුරාම අන්තවාදී වාහබ්වාදය ව්‍යාප්ත කිරීම සඳහා අරමුදල් සම්පාදනය කළේ සෞදි අරාබිය විසින් බව ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා පමණක් නොව එවැනි ව්‍යාපාර, සුභ සාධන ආයතන, බැංකු අති විශාල ප‍්‍රමාණයක නාම ලේඛනයක් එලිදරව් කර තිබෙනවා. මෙයට ප‍්‍රථමත් ඇමරිකා එක්සත් ජනපදය සෞදි බැංකු කිහිපයකට තහනමක් පැනවූවා, ත‍්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය කිරීම පිළිබඳව. ඒ වගේම කිසියම් දුරකට ඇමරිකා එක්සත් ජනපදය මේ සුන්නි රාජ්‍යයන්ගේ එකමුතුව සමග එකට එකතුවෙමින් තිබෙන බව පැහැදිලියි. ඔවුන් මැදපෙරදිග පමණක් නෙවෙයි ඉන්දියානු සාගරයේත් මේ ක‍්‍රියාවලිය ගෙනයමින් තිබෙනවා. ඉරානය, සිරියාව, ඉරාකය, යේමනය ආදියේ සිදුවන යුද ගැටුම්වලදීත් පැහැදිලිව පෙනෙන කරුණක් තමයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ‍්‍රාලය, සෞදි අරාබිය, ඊජිප්තුව ආදී රටවල් එක පැත්තකටත් රුසියාව, සිරියාව, ඉරාකය වැනි රටවල් තවත් පැත්තකටත් ක‍්‍රියාකරමින් සිටිනවා. එතැනදී විශේෂයෙන්ම අති විශාල යුද රාජ්‍යයන් දෙකක් වන ඊජිප්තුවේ හා තුර්කියේ ක‍්‍රියාමාර්ග ඉතාම වැදගත් තුර්කිය සුන්නි රාජ්‍යයක් වුවත් මේ ක‍්‍රියාදාමයේදී ඔවුන් සෞදියට එරෙහිව කිසියම් දුරකට නැගී සිටින බව පෙනී යන්නේ වහාම සෞදිය විසින් පැනවූ සම්බාධක කටාර් රාජ්‍යයට ඉවත් කළ යුතු බව ප‍්‍රකාශ කර තිබීමත්, කටාර් රාජ්‍යයට අවශ්‍ය කරන ආහාර හා අනෙකුත් ද්‍රව්‍යයත් කොන්ස්තන්තිනූපලය හරහා ලබාදීමට, එනම් පැරණි තුර්කියේ අගනගරය වන ඉස්තාන්බුල් හරහා ලබාදීමට ඔවුන් නිර්භයව ඉදිරිපත් වීමත්, අති විශාල හමුදා සේනාංකයක් කටාර් දේශ සීමාව අසලට ගෙන ඒමට කටයුතු කිරීමත් මගින් තුර්කිය පෙන්වා දී තිබෙනවා අවශ්‍ය ඕනෑම මොහොතක ඔවුන් මැදිහත්වීමට සූදානම් බව. විචාරකයින් පවසන්නේ මේ පිටුපස බරපතල දේශපාලන කාරණයකට වඩා සෞදිය හා කටාර් රාජ්‍යය රුසියාව ආදී ගැටගැහිච්ච තෙල් හා ගෑස් ආධිපත්‍යය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙන බව. විශේෂයෙන්ම සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, ඉරාණය ඒ වගේම කුවේට් රාජ්‍යය ඒ වගේම ඉරාකය, රුසියාව ලෝකයේ ප‍්‍රධානතම තෙල් හා ගෑස් නිපදවන්නන්.

පසුගිය කාලයේ පෙනී ගිය කාරණයක් තමයි, ඇමරිකා එක්සත් ජනපදය ක‍්‍රමයෙන් සිරියාවේත් තමන්ගේ යුද කටයුතු ව්‍යාප්ත කරමින් තිබෙන බව. එය රුසියාවේ කැමැත්තට හේතුවෙලා නැහැ. රුසියාව ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ව්‍යාපාරය හරහා ඇමරිකාවට එරෙහිව වක‍්‍ර යුද්ධයක් දියත් කර තිබෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කොට තිබෙනවා. විශේෂයෙන්ම සිරියාව අසාඞ් යටතේ නැවත ගොඩනගා ගැනීම සඳහා විශාල ව්‍යාපෘතියක් දියත් කිරීමට කටාර් රාජ්‍යය පෙළඹි තිබෙන බව වාර්තා වෙනවා. දැන් අසාඩ් තමන්ගේ බල ප‍්‍රදේශවල සියළු ජයග‍්‍රහණයන් අත්පත් කරගෙන අවසන්. ඩැමස්කසය අවට ප‍්‍රදේශ බොහොමයක් ඔහු මුදා ගත්තා. අලෙප්පෝ නගරය ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය මුදා ගත්තා. රඛා නගරය ඇතුළු අනෙක් නගරයන් හි අයිසිස් පසු බසිමින් සිටිනවා. ඒ අනුව යම්තාක් දුරකට සිරියාවේ ප‍්‍රධාන පාලකයා බවට හසිෆල් අසාඩ් පත්වෙමින් තිබෙනවා. එයට රුසියාවේ යුධ ශක්තිය ලැබෙනවා. නමුත් ඔහුට අරමුදල් සම්පාදනය කිරීම සඳහා කටාර් රාජ්‍යය ඉදිරිපත් වී තිබෙනවා. යම් හෙයකින් සිරියාව නැවත ගොඩනැන්ග්වීමේ කි‍්‍රයාවලියට කටාර් රාජ්‍යය මැදිහත් උනොත් සිරියාව තුළ ඔවුන්ගේ යම් බලපෑම් කි‍්‍රයාවලියක් දියත්වනවාට කිසිම සැකයක් නැහැ. ඒ සඳහා අල් ජසීරා නාලිකාවේ මාධ්‍ය ශක්තියත් ලැබෙනවාට සැකයක් නැහැ.

ඒ වගේම මෙහි ඇති වැදගත්ම කරුණ කටාර් රාජ්‍යයේ ගෑස් නල පද්ධතිය සිරියාව හරහා මධ්‍යධරණී මුහුදට ගෙනයාමට ඔවුන්ට ඇති හැකියාවයි. බොහෝ කාලයක සිට රුසියාව මෙල්ල කිරීමට යුරෝපා සංගමය කටාර් රාජ්‍යයේ මේ නළ පද්ධතිය ඉල්ලා සිටීමක් කළා. කටාර් හරහා ඉතාලියට ගෑස් නළ පද්ධතියක් ලැබුනොත්, රුසියාවේ ගෑස් නළ පද්ධතිය මගින් එල්ලවෙලා තිබෙන බලශක්ති ස්වාධිනත්වයට එල්ල වෙලා තිබෙන බලපෑම අවම කර ගත හැකි බව ඔවුන් විශ්වාස කළා. දැන් රුසියාව, සිරියාවට ගමන් කිරීමේ එක ප‍්‍රධාන අරමුණක් උනේ මේ ගෑස් නලය වැලැක්වීමේ අරමුණ බවයි ප‍්‍රකාශ වෙන්නේ. එහෙම කිසියම් දුරකට මේ සටන මධ්‍යධරණී මුහුදට ගමන් කිරීමක් ලෙස තමයි දකින්න පුළුවන්. කලක් සුන්නි ෂියා ලෙස ගැටෙමින් ඉරාණයේ බෝම්බ පුපුරවමින්, සෞදි ආරාබියේ ප‍්‍රති බෝම්බ පුපුරවමින් ගමන් කරන මේ ගැටුම ඉන්දියානු සාගරයටත් ඇතිවෙන්න පුළුවන්. මොකද මෙහි ප‍්‍රධානම හේතුව වන්නේ චීනය කොළඹ ගොඩනගන ඒ වරාය නගරයට එරෙහිව මාලදිවයිනේ නගරයක් ගොඩනැගීම සඳහා සෞදි අරාබිය ඉදිරිපත් වීම. ඉතාමත්ම වැදගත් කාරණය වන්නේ යේමනය සහ මාලදිවයින නැමති රටවල් දෙකත් කටාර් විරෝධි සම්බාධක පැනවීමට ඉදිරිපත් වීමයි. විශේෂයෙන්ම මාලදිවයිනේ නව ජනාධිපතිවරයාට සෞදියේ ශක්තිය ලැබෙනවා පමණක් නෙමෙයි දකුණු ආසියාවේ විශාල ඉස්ලාමීය පල්ලි දහය මාලදිවයිනේ ඉදිකිරීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වියදම් කිරීමට සෞදි අරාබිය සූදානම්. ඔවුන් ප‍්‍රකාශ කරන ආකාරයට ඩොලර් මිලියන 400 කට අධික ප‍්‍රමාණයක් එකවර ආයෝජනය කිරීමට සෞදි අරාබිය සූදානම් බවයි ප‍්‍රකාශ වෙන්නේ. ඒ අනුව ඉන්දියානු සාගරයේ කුඩා බලකොටුවක් මැදපෙරදිග සුන්නි සන්ධානයේ බලකොටුවක් මාලදිවයින ආශ‍්‍රිතව ගොඩනැගෙමින් තිබෙන බව පැහැදලියි. මෙය ඉන්දියාව, චීනය වැනි මේ කලාපයේ තරඟ වදින රටවල්වලට බලගතු ගැටළුවක් වීමට ඉඩ තිබණා. කලින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගොඩනැගීමට ගිය මේ බලකොටුව දැන් සෞදි අරාබිය විසින් ගොඩනැංවීමට යාම තදබල ගැටළුවක් ලෙස මේ රටවල් විසින් ගණන් ගන්නවාට කිසිම සැකයක් නැහැ. ඔවුන් එක්තරා දුරකට ලංකාවේ වාණිජ මූල්‍ය නගරය වන වරාය නගරයට අභියෝගයක් සිදුකිරීමටත් ඉඩ තිබෙනවා. ඉතින් මෙවැනි කි‍්‍රයාදාමයන් එක්ක චීනය ඉන්දියාව වැනි රටවලුත් මේ ගැටුමට අනාගතයේ ඇද ගන්නවාට කිසිම සැකයක් නැහැ. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ඊශ‍්‍රායල් – පලස්තීන ගැටුම විසින් ලෝකයේ මුස්ලිම් විරෝධි ගැටුමක් හෝ අරාබියේ යුධ ගැටුම් තත්වයක් ඇතිවෙලා තිබෙනවාය කියලා පතුරුවා තිබෙන මූලික මිත්‍යාවට එහා ගිය බරපතල වූ දේශපාලනික ඒ වගේම බලශක්තිය පදනම් කරගත් බරපතල ගැටුමකට ලෝකය ගමන් කරමින් තිබෙනව බවයි.

අපේ පිරිස් කටාරයේ මෙන්ම සෞදි අරාබියේත්, ඒ වගේම අරාබියේ අනෙක් රටවලත් ලක්‍ෂ සංඛ්‍යාවක් සේවය කරනවා. ඔවුන්ගේ රැකියා පමණක් නෙමෙයි ඉන් ඔබ්බට ගිය භූ දේශපාලනික ගැටුමකට මෙය මුල්විය හැකි බවයි ප‍්‍රකාශ වෙන්නේ. මේ තත්වය හමුවේ සෞදි – කටාර් ගැටුම හුදු අයිසීස් ත‍්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය කිරීමට ගිය ගමනකට ඔබ්බෙන් ගිය භූ දේශපාලනික හා භූ බලශක්තිමය වූ ගැටුමක් බව ඉතා පැහැදිලියි. ඒ ගැටුමේ කම්පන තරංග ඉන්දියානු සාගරයට මාලදිවයින හරහා ඒමටත් ඉදිරි කාලයේ ඉඩකඩ තිබෙන බව අපි සියළු දෙනා කල්පනා කළ යුතු යැයි පැවසීය.

scroll to top