කටහඩ ක්ලෝනීකරණය සමරේ සහ සමරේගෙන් ඔබ්බට…

අපේ රටේ සමාජ ජාල වෙබ් අඩවි ජාලවල ඉතාම ජනප‍්‍රිය වැඩසටහනක් වී තිබෙන්නේ සමරේ හා සමරේ නමින් අපේ තරුණ ශූරයින් දෙදෙනෙක් විසින් විවිධ කටහඬවල් අනුකරණය කිරීමෙන් සිදු කරගෙන යන ඒ සුන්දර වැඩසටහන. මහනුවර ප‍්‍රදේශයේදී ඔවුන් දෙදෙනාගේ ජීවමාන වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාවක් මටත් හිමි උනා. ජනප‍්‍රිය දේශපාලනඥයින්, රටේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන්ගේ කටහඬ ඔවුන් ඉතා ශූර ලෙස අනුකරණය කරමින් සිටිනවා. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ රූපකාය නොතිබෙන්නට මේ කතා කරන්නේ අසවල් දේශපාලනඥයාමයි කියන හැඟීමක් ඇතිවන ලෙස ඔවුන් ඉතා ශූර ලෙස ඒ කටයුත්ත කරගෙන යනවා.

දැන් ලෝකයේ මේ සඳහා නව තාක්ෂණයන් බිහි වී තිබෙනවා. එයට ලෝකය භාවිත කරන්නේ Voice Cloning එහෙම නැත්නම් කටහඬ ක්ලෝනීකරණය කිරීමයි. විශේෂයෙන්ම විවිධ සමාගම් ගණනාවක් මේ සඳහා දැන් ඉදිරිපත් වී තිබෙනවා පැරීසියේ සමාගමක් වන කැන්ඩි වොයිස් සමාගම කිසියම් වාක්‍ය කණ්ඩ 160 ක් ඉංග‍්‍රීසියෙන් හෝ ප‍්‍රංශ භාෂාවෙන් ප‍්‍රකාශ කළ විට ඒ පුද්ගලයාගේ කඩහඬ ක්ලෝනීයකරණයට ලක්කර ඒ පුද්ගලයා ලවා ඉංග‍්‍රීසි හා ප‍්‍රංශ භාෂාවෙන් ව්‍යක්ත කතාවක් පවත්වාගැනීමට සමත් පරිගණක උපාංගයක් මේවන කොට නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම තවත් සමාගම් ගණනාවක්, කානගී විශ්වවිද්‍යාලයේ පෙස්ට් ෆොක්ස්, එමෙන්ම චීනයේ ප‍්‍රබල පරිගණක සමාගමක්, අන්තර්ජාල සමාගමක් වන බයිඩූ සමාගම, ඒ වගේම ඊශ‍්‍රායලයේ වී වොල් ටෙක්ස් වැනි සමාගම් ගණනාවක් මේ කටහඬ ක්ලෝනීයකරණයට ඉදිරිපත් වී තිබෙනවා මෙය දැන් ඉන්දියාවේ හින්දු ආදී භාෂා සඳහාත් ඇතිකළ හැකි තත්වයක් ඇති වී තිබෙනවා.

මෙහි තේරුම කුමක්ද? කටහඬ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය දෙයක් ඇතැම් කටහඬවල් හා හඬපටයන් සත්‍යම ඒවාදැයි බැලීමට අපි කරන්නේ විද්‍යුත් පරීක්‍ෂාවකට ලක්කිරීමයි. එහිදී ඉතා සියුම් ලෙස කටහඬෙ ශබ්ද තරංග විද්‍යුත් ක‍්‍රමයකට විශ්ලේෂණය කොට යම් යම් පුද්ගලයන්ගේ කටහඬෙ තිබෙන යම් යම් රටාවන් හඳුනාගැනීම සිද්ධ කරනවා. ඒ අනුව යම් යම් පටිගත කිරීම් සත්‍යද නැද්ද කියා තීරණය කරන්නේ ඒ ආකාරයටමයි. එම ආකාරයටම ඒ ඒ පුද්ගලයන්ගේ කටහඬ අනුකරණය කරන්න ක්ලෝනීයකරණය කරන්න සමත් උනොත් මෙය ඉතාමත්ම බරපතල ප‍්‍රශ්න ඇතිවෙන තත්වයක් ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා.

මේ තත්වය කලින් යොදා ගත්තේ රෝගාබාධ ආදියට මුහුණ දී කටහඬ අහිමි වූ පුද්ගලයින්ට නැවත කතා කිරීමට යාන්ත‍්‍රික කතාකරණයක් ලබාදීමේ ප‍්‍රතිඵලයක් හැටියටයි. ඔවුන්ගේ අතීත කතා අනුසාරයෙන් ඔවුන්ගේ කටහඬ නැවත නිර්මාණය කොට ඒ කටහඬ අහිමි වූ රෝගාබාධ සහිත පුද්ගලයින්ට කතා කිරීමේ හැකියාව ලබාදීමයි මෙයින් අදහස් උනේ. විශේෂයෙන්ම කාලයක් තිබුණා, පරිගණක ආශ‍්‍රයෙන් කටහඬෙන් අණදීමෙන් යම් ලිපියක් ටයිප් කර ගැනීමට අපට හැකියාව ලැබුණා 90 දශකයේ අගභාගයේදී. අනාගතයේ දී කටහඬ අනුසාරයෙන් කරන රොබෝවරුන් හරහා කාර්යාවල එහෙම නැත්නම් ෆැක්ටරිවල ආයතන ප‍්‍රධානීන්ගේ කටහඩින්ම සේවකයින්ට අණදීම ආදිය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහි තව භයානක පැත්තකුත් තිබෙනවා, සමහර ධනපතියන් තමන්ගේ ධනය බැංකුවල ඇති වෝල්ට්වල තැන්පත් කර තිබෙනවා පමණක් නෙමෙයි එය විවෘත කර ගැනීමේ යතුර ලෙස භාවිත කර තිබෙන්නේ තමන්ගේ කටහඬයි. මෙවැනි කෘතිම කටහඬක් නිර්මාණය කළහොත් එම රහස්‍ය වෝලට් විවෘත කිරීමට හැකියාව ලැබෙනවා ඇති. පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙන්නේ 80% ක්ම ඒ ආකාරයට සිදුකළ හැකි බවයි. එයට හේතුව වන්නේ මේ වෝලට්වල තිබෙන ඉලෙක්ට්‍රොනික උපාංග සිදු කරන්නේ ද කටහඬ ක්ලෝනීකරණයට සමාන කි‍්‍රයාවලියක් වීමයි.

තවත් භයානක තත්වයක් නම් විවිධ ජනප‍්‍රිය දේශපාලකයින්, නළුනිළියන් වැනි පිරිස්වල කටහඬ මේ ආකාරයට ක්ලෝනීයකරණය කළහොත් නොකී දෑ ඔවුන් කී දෑ ලෙස ප‍්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. මෙවැනි දෙබස් පරිවර්තන පිළිබඳව දැනටමත් අන්තර්ජාලයට යම් යම් කටහඬ අනුකරණයන් මුදා හැර තිබෙනවා. විශේෂයෙන්ම අතිශයින්ම ජනප‍්‍රිය දේශපාලකයින්, ආරක්‍ෂක ප‍්‍රධානීන්, ක‍්‍රීඩකයින්, ගායකයින්, නළුවන් වැනි අයගෙත් කටහඬවල් මේ ලෙස ක්ලෝනීයකරණය කර දෙබස් නිර්මාණය කර දැමීම දැන් බහුලව සිදුවන දෙයක් ලෙස පරිවර්ථනය වීමට නියමිතයි.

අවසාන වශයෙන් රෝගියෙකුට කතා කිරීමට හා වෙනත් ඇප උපකාරයක් කිරීමට නිර්මාණය කළ කි‍්‍රයාවලියක් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය විනාශ කිරීමේ කි‍්‍රයාවලියක් බවට පරිවර්ථනය වීමේ අනතුර දැන් ලැබී තිබෙනවා.

සමරේ සහ සමරේ ගේ අහිංසක කි‍්‍රයාවලිය අපරාධකරුවන් විසින් භයානක අපරාධවලට, චරිත ඝාතන, පුද්ගල ඝාතන මෙන්ම ඔවුන්ගේ ධන මුදල් කොල්ලකන කි‍්‍රයාවලියක් බවට අනාගතයේදී භාවිතා කිරීමට ඉඩකඩ ඇති බැවින් සියළු දෙනාම අන්තර්ජාලයේ මෙවැනි අපරාධකරුවන්ගෙන් පරිස්සම් විය යුතුයි. කටහඬ ක්ලෝනීයකරණයේ ඒ කි‍්‍රයාවලියට අනාගතයේදී නිෂ්චිත විද්‍යාත්මක වැටක් බැන්දේ නැතිනම්, මේ අන්තර්ජාලයේ සමාජ ජාල හරහා විශාල ව්‍යසනයක් අපේ ආර්ථික ක්‍ෂෙත‍්‍රයට, සමාජ ක්‍ෂෙත‍්‍රයට, දේශපාලන ක්‍ෂෙත‍්‍රයට සිදුවීමට නියමිතයි.

කටහඬ ක්ලෝනීකරණය හොඳ අතට යොදාගමු, එය වල්වැදුණු මාධ්‍ය, වල් වැදුණු ආර්ථික මංකොල්ල කරුවන් අතට පත් වූ ආයුධයක් බවට පත්වීමට ඉඩ දෙන්න එපා’ යැයි පැවසීය.

scroll to top