උතුරු සහ වයඹ පළාත් සභා වල හොරකම් ගැන සෙවීමට කඩිනම් පරීක්ෂණ

උතුරු සහ වයඹ පළාත් සභා වල සිදුවන දුෂණ, වංචා, අක්‍රමිකතා, පිලිබඳ සොයා බලා නිත්‍යානුකුලව කටයුතු කලයුතු බවත්, ඒ සඳහා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස තමන් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරන බවත්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උතුරු පළාත් සභාවේ සහ වයඹ පළාත් සභාවේ සිදුව ඇතැයි කියන වංචා සහ දුෂණ පිලිබඳ අදහස් දක්වමිනි.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

මෙරට පළාත් සභා ව්‍යුහයන්හි අකාර්යක්ෂමභාවය සහ පරිපාලනමය බිඳ වැටීම කාලයක් තිස්සේ රටතුල කතා බහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි. මධ්‍යම රජයේ ඉලක්කයන් සහ අරමුණු සමඟ සමාන්තරව ගමන් කිරීමට ඇති නොහැකියාව මෙලෙස සමාජ කතිකාවක් මතු කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. පළාත් සභා අකාර්යක්ෂමතාවය තුල සිදුවන සියලුම බිඳවැටීම් සඳහා මධ්‍යම රජයට චෝදනා එල්ල කිරීමද අපේ රටේ දක්නට ලැබෙන සුලබ කරුණක් බවට පත්ව අවසන්, බොහෝ විට පළාත් සභා ප්‍රධානින් මෙන්ම සෙසු අනුගාමිකයන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර සහ බඩ වඩවා ගැනීමේ මතවාදය ජාතික දේශපාලනයට එල්ල කර ඇත්තේ මරු පහරකි.

පළාත් සභා ව්‍යුහය පිලිබඳ මතුව ඇති අර්බුධකාරී තත්වයේ උච්චතම අවස්ථා දෙකක් මේ වන විටත් කතා බහට ලක්වෙමින් තිබේ. ඉන් එක කරුණක් වන්නේ වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු එම පළාත් සභාවේම අමාත්‍යවරුන්ට මුල්‍ය අක්‍රමිකතා පිලිබඳ එල්ල කල බරපතල චෝදනාවයි. අදාල මන්ත්‍රීවරයා කියා සිටියේ පළාත් සභා මැති ඇමතිවරුන්ට ලැබෙන රැකියා කෝටාව ඔවුන් විසින් මුදලට අලෙවි කරමින් සිටින බවයි. එමෙන්ම උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් එම පළාත් සභාවේ වංචා සහ දුෂණ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා. එම කමිටුව මගින් ඉදිරිපත් කල අවසන් නිගමනය වුයේ අධ්‍යාපන සහ කෘෂිකර්ම විෂයන් භාර උතුරු පළාත් අමාත්‍යවරුන් දෙදෙනා සිය ක්ෂේත්‍රයන්හි බරපතල මුල්‍ය අක්‍රමිකතා සිදු කර ඇති බවයි. ඒ පිළිබඳව පළාත් සභා විවාදයක් පැවත් වීමටද නියමිත අතර අදාළ අමාත්‍යවරුන් තනතුරින් ඉවත් කිරීමටද ත්‍රිපුද්ගල කමිටුව මගින් නිර්දේශ කර තිබෙනවා.

පළාත් සභා වල සිදු වන අක්‍රමිතාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු හා පැහැදිලි කිරීම් ලබා දීමට පළාත් සභා බලධාරීන් දිගින් දිගටම අපෝහොසත් වීම අර්බුදයේ ධාරිතාවය මනාව පිළිඹුවන අවස්තාවක් ලෙස සඳහන් කල හැකිය.

ඉහත සිද්ධීන් වලින් පළාත් සභා අභ්‍යන්තරයේ සිදු වන මාෆියාව පිළිබඳව මැනවින් කරුණු හෙළි වන අතර ඒවායේ වගකීම මධ්‍යම රජයට පැවරෙන තෙක් නොසිට කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මතුව තිබේ. එබැවින් අතිගරු ජනාධිපතිතුමන්ට පැවරී ඇති බලතල අනුව පළාත් සභා අක්‍රමිකතා පිලිබඳ ස්වාධින මණ්ඩලයක් පත් කර පරීක්ෂණයක් සිදු කල යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

scroll to top