ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළගදීම

Wije.jpg

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළගදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් සම්පුර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකු සදහා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහරගම තරුණ සේවා සභාවේ පැවති 77 විප්ලවයට වසර 40 යි ප්‍රදර්ශනයට සමගාමිව මෙම උත්සවය පැවැත්විණි. එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

කොතරම් උගතෙක් වුවත් බුද්ධිමතෙක් වුවත් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු වන්නේ ආගමික දැනුමෙන් ලබන පරිචය හා ඔහු ලබා ගන්නා වු ආගමික දැනුම සමගයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් කෙතරම් ඉහලට ගියත් ඔවුන් ගුණ ධර්ම වලින් පෝෂණය වී නොමැති නම් ඔවුන් ලැබු අධ්‍යාපනය ජාතියට නිසි පරිදි ගලා ගෙන යන්නේ නැහැ.ඒ නිසා සෑම දරුවෙක්ම ඔවුන් ලබන ආගමෙන් දහමෙන් පෝෂණය ලැබිය යුතුයි.ආගමික ශික්ෂණයක් ලද දරුවා කිසිවිටෙක සමාජ විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ .ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක් ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්.එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සදහා නීති පැනවෙන පනත නීතිගත කිරීමේදි එම ආයතන ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළා. ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා. උපකාරක පන්ති ගුරුවරුන් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.මේ සමග දහම් පාසල් සදහා ළමුන් යොමු කිරිමට යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා .මේ සම්බන්ධව අපි ‍මහා සංඝරත්නය ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබා ගත්තා.ඒ අනුව රටේ සියලුම දරුවන් දහම් පාසල් සදහා යොමු වනු ඇති.
අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ 40 වසරක දේශපාලන ගමන අපි සමරන්නේ එය අපරාජිත දේශපාලන ගමනක් වන නිසයි.එතුමාගෙන් මේ රටේ සංවර්ධනයට වු මෙහෙය මේ රටේ කුමන දේශපාලන මතයක් දරන අයෙකු වුව ද පිළි ගන්නවා.එවන් නායකයෙකුගේ 40 වසරක සේවය ඇගයීමට හොදම මගක් වන්නේ මේ රටේ අනාගත පරපුර බිහි කරන මවුවරුන්ගේ පෝෂණය සහ අනාගත දරු පරපුරේ නිරෝගීතාව වෙනුවෙන් කටයුතු සිදු කළ යුතු බව අප විශ්වාස කළා. ඒ නිසයි උදාරතර මාතෘත්වයට සැරසෙන ඔබට පෝෂණ මල්ලක් තිළිණ කිරීමට අප තීරණය කලේ .මේ මවුවරුන් දැයට දායාද කරන දරුවන් යහමගට යොමු කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ,ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ,නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් සහ මහරගම ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

scroll to top