ඉන්ධන අඛණ්ඩව බෙදා හැරීමට ආපදා කළමනාකරණ ඒකකයක් – ඇමති අර්ජුන

Arjuna-5.jpg

කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සඳහා ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනී. ඉන්ධන බෙදා හැරීමට බලපාන අවහිරතා හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සඳහා සියලු ආයතන සම්බන්ධීකරණය කිරීමත් මෙම ආපදා කළමනාකරණ ඒකකයේ මූලික අරමුණ වේ. ඒ සම්බන්ධයෙන් අද (29) පැවැති සාකච්ඡාවේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අඛණ්ඩ ඉන්ධන සේවා සැපයුම සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන එකට එක්ව කටයුතු කළ යුතු බවයි.

“හදිසි අවස්ථාවකදී සිත සිතා ඉන්න එපා. ගතයුතු පියවර ඉක්මනින්ම ගන්න. ඒවගේම ඉදිරියේදී ඇති විය හැකි නරකම තත්ත්වය හඳුනාගෙන ඊට මුහුණ දීමට අපි දැන්ම සූදානම් විය යුතුයි. එවැනි සූදානමක් නොමැති වුවහොත් අපේ ඉන්ධන බෙදා හැරීම අසාර්ථක වෙන්න පුළුවන්. මේ වන විටත් ඇතැම් ඉන්ධන පිරුවුම් හල්වලට ප්‍රවේශ වීමේ හැකියාව තවමත් ලැබී නැහැ. තවමත් ඉන්ධන පිරුම්හල් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. කෙසේනමුත් විකල්ප මාර්ග සහ විකල්ප ක්‍ර‍ම යොදා ගනිමින් ආපදාවට පත් ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන සැපයීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ආපදාව නිසා අප අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල සේවකයින් හඳුනාගෙන ආයතනික මට්ටමින් ඔවුන්ට සහන සැලසීමටත් අපි කටයුතු කරනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.

ආපදා තත්ත්වය හේතුවෙන් මීට පෙර වලස්මුල්ල, මිද්දෙනිය, මාතර, කිරම, හක්මන, අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට, ගාල්ල, රුවන්වැල්ල, හොරණ, කිතුලගල, දැරණියගල, තලංගම සහ කොලොන්නාව යන ප්‍රදේශවලට ඉන්ධන සැපයීමට බාධා පැමිණ තිබිණ. කෙසේනමුත් ඊයේ වන විට එම ප්‍රදේශවලට අවශ්‍ය තරම් ඉන්ධන සැපයීමට හැකි වූ බව සී. පී. එස්. ටී. එල්. ආයතනයේ බෙදා හැරීමේ කළමනාකරු ඩබ්ලිව්. එම්. ටී. ඩබ්ලිව්. ඒ. බණ්ඩාර මහතා පැවසීය. ත්‍රිවිධ හමුදාව ඇණවුම් කර ඇති සියලුම ඉන්ධන තොග අදාල ස්ථාන වෙත බෙදා හැරීමද මේ වන විට අවසන්ව තිබේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේ ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් යටතේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි. ඒ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සඳහා වූ කමිටුවක්ද අද පත් කළේය.

scroll to top