ඉදිරියේදී තෙත් කලාපය තවත් තෙත්වීමටත් වියළි කලාපය තවත් වියළි වීමටත් නියමිතය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

යලිත් බස්නාහිර පළාතට ගංවතුර තර්ජනයක් පැමිණිලා තිබෙනවා. පසුගිය මැයි මාසයේ ජීවිත දෙසිය ගණනකට වඩා වැඩි ප‍්‍රමාණයක් විනාශ කරමින් ගංවතුර, නාය යෑම් සහිත මහා උවදුරක් කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්කවල සිදු උනා. එයට මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමත් බලපෑවා. නැවත වතාවක් බස්නාහිර පළාතේ තැනින් තැන ගංවතුර උවදුරු පවතින බව ප‍්‍රකාශ වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රටේ විශාල ප‍්‍රදේශයක මිලියන 10 කට අධික ජනතාවක් නිය`ගයෙන් පීඩා විඳින තත්වය තුළ මේ ගංවතුර උවදුර රටේ තවත් තැනක පැතිරී යනවා. විශේෂයෙන්ම රටේ විදුලිබල අවශ්‍යතාවය සපයන විදුලි බලාගාර ප‍්‍රදේශවලට ජලය නොමැති වීම නිසා විශාල ගැටළු ගණනාවකට විදුලි බල මණ්ඩලයටත් පසුගිය කාලයේ මුහුණ දෙන්න සිදු උනා.

ඒ වගේම නියඟය නිසා කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ ඍණ ආර්ථික වර්ධනයක් තමයි මේ වසරේ පළමු කාර්තුවේ වාර්තා වෙලා තිබෙන්නේ. ඒ සියල්ලෙන් පෙනී යන්නේ රටේ එක පැත්තක, උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, දකුණ ආදී ප‍්‍රදේශවල බලගතු නියං තත්වයක් ඇතිවෙලා මිනිසුන්ට පමණක් නෙමෙයි සතා සිව්පාවුන්ටත් ජීවත් වෙන්න බැරි වාතාවරණයක් උදා වෙද්දී රටේ තවත් ප‍්‍රදේශයක ගංවතුර උවදුර ඇතිවෙලා මිනිසුන්ට පමණක් නෙමෙයි සතා සිව්පාවටත් ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙමින් තිබීමයි. මෙය අපි අනාගතයටත් අපේක්‍ෂා කළ යුතුයි.

කුමක්ද ලෝක තත්වය. පසුගියදා අපි දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් නගරය ඇමරිකාවේ විශාලතම නගර අතරින් හතරවන නගරය හාවේ කුණාටුව නිසා දැවැන්ත ගංවතුරකට එම නගරය යටවෙලා ගිය ආකාරය. එහීදී ජීවිත 30 ක් පමණ මෙම කුණාටුවට හසුවී නැති වුණා. ගංවතුරෙන් ඇති වූ පාඩුව ඩොලර් බිලියන 180 ක් පමණ වන බව වාර්තා වෙනවා. මෙය ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1% ක පමණ ප‍්‍රමාණයක්. අති විශාල ධනස්කන්දයක්. ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගයත් ඉතාම අඩු මට්ටමක පසුවෙන්නේ. මෙමගින් ඇතිි වූ ආර්ථික බලපෑමත් සමග මේ වසරේ ඇමරිකාවේ ආර්ථික වර්ධනයට බරපතල හානි සිදුවීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදයට දැන් ඉල්මා කුණාටුව හමාගෙන එන බවත් වාර්තා වෙනවා. කැරිබියානු දූපත් ගණනාවකම පසුගිය කාලයේ ඇති වූ විශාලතම කුණාටුව තමයි ඉල්මා කුණාටුව. එය සැප්තැම්බර් 10 වෙනිදා ෆ්ලෝරිඩාවට ඇතුළු වීමට නියමිතයි. දැනටමත් ෆ්ලෝරිඩාවේ කෝටි ගණන් ජනතාව තමන්ගේ වාසස්ථානවලින් ඉවත් වීම ආරම්භ වෙලා තිබෙනවා. මීට කලින් ඇති වූ කත‍්‍රිනා කුණාටුව නිසා එක්සත් ජනදපදයට දෙදහසකට අධික ජීවිත ගණනක් විනාශ වෙලා විශාල ව්‍යසනයක් ඇති උනා. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල මෙවැනි කුණාටු භූමි කම්පාවලින් ඇතිවන බලපෑම ආර්ථික බලපෑම් පමණක් නෙමෙයි විශාල සමාජ බලපෑමක් සිදුවෙනවා. මොකද අපේ රටේ වගේ අන්‍යයන්ට උපකාර කරන මෙවැනි විපතකදී පිහිටවීමට පරාර්ථ චර්යාවෙන් ඉදිරිපත් වෙන පිරිස් ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ඉතාම විරල වීම, මේ නිසා දුකට පත්වෙන ජනතාව ඉතාමත්ම දුඃඛිත තත්වයට පත්වෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ සුනාමිය නිසා ඇති වූ ව්‍යසනයෙන් හතලිස් දහසකට අධික පිරිසක් මිය ගියත්, වසර කිහිපයක් ඇතුළත ඒ ජනතාවගේ නිවාස තනාදීලා ඒ සමාජය ප‍්‍රකෘතිමත් කරන්න මුළු රටම දායක උනා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ දශකයක් පමණ වෙලත් කත‍්‍රිනා කුණාටුවේ ගැටළු තවමත් විසඳිලා නැහැ.

එක්සත් ජනපදයේ පමණක් නෙමෙයි පසුගියදා ඉන්දියාවේ ප‍්‍රධානතම නගරය, විශාලතම ධනය උත්පාදනය කරන නගරය, ඉන්දියාවේ වරාය නගරය පිහිටි මුම්බායි නගරය විශාල ගංවතුරකට ගොදුරු උනා. ඒ වගේම බංගලාදේශයේ ඩකා නගරය, පීරු රට, චීනය ඔය හැම රටකටම බරපතල ගංවතුර වගේම නාය යෑම්වලට මුහුණ දෙන්න සිදු උනා. 2016 වසරේ ඉන්දියාවේ පමණක් ගංවතුර හා නාය යෑම්වලින් 1600 ක් පමණ මිය ගිය බව වාර්තා වෙනවා. මේ තත්වය තව තවත් ඉදිරි කාලයේදී බලවත් වන බවයි ලෝක කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ. 2030 -2050 අතර කාලය තුළ වර්ෂයකට දෙලක්‍ෂ පනස් දහසක් පමණ මේ ආකාරයට මිය යන්න නියමිත බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ. මෙය යුද්ධ කාලයේදීවත් සිදු නොවූ තත්වයක්.

කාලගුණය හා දේශගුණය මේ ආකාරයට විපරීත තත්වයකට පත් වුනේ ඇයි. රටේ එක පැත්තක ගංවතුර තවත් පැත්තකට නියඟය. ලෝකයේ එක් ප‍්‍රදේශයකට සුළි කුණාටු සහිත ගංවතුර තවත් ප‍්‍රදේශයකට නියඟය. මේ වාතාවරණය ඉදිරියේදීත් අප බලාපොරොත්තු විය යුතුයි. කාලගුණ – දේශගුණ විශ්ලේෂකයන් පවසන අන්දමට ජලබරිත ප‍්‍රදේශ, තෙත් කලාප තවදුරටත් ජලය වැඩිවීම නිසා තෙත්වීමටත්, ඒ වගේම ජලය හිඟ ප‍්‍රදේශ වියලි කලාප තවදුරටත් වියළි කලාප වීමටත් ඉදිරි අනාගතයේ කි‍්‍රයා කරනවා ඇති. විශේෂයෙන්ම ජල ආතතියක් ඇති වෙමින් තෙත් ප‍්‍රදේශ තෙත් වෙන්නත් වියලි ප‍්‍රදේශ වියලි වෙන්නත් නියමිතයි. ඒ අනුව උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත හා දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය වැනි ප‍්‍රදේශ සහ වයඹ පළාතේ පුත්තලම වැනි දිස්ත‍්‍රික්කවල නියං තත්වය අනාගතයේ අනිවාර්යයි. ඒ වගේම තෙත් කලාප ප‍්‍රදේශවන කළුතර රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කයේ සමහර ප‍්‍රදේශ, කොළඹ දිස්ත‍්‍රික්කයේ, ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමහර ප‍්‍රදේශවලට අධික වැසි ඇතිවීම බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන්ම කඳුකරයේ ජනපදය පිහිටුවාගෙන තිබෙන රත්නපුරය, කෑගල්ල, මහනුවර, නුවරඑළිය වැනි දිස්ත‍්‍රික්කවලත් ගාල්ලේ, කළුතර කඳුකර ප‍්‍රදේශවල භයානක නාය යෑම් සිදුවීමට නියමිතයි. ඒ නිසා මතක තබා ගත යුතුයි දිනකට මිලිලීටර් 500 කට වඩා අධික වර්ෂාවක් මෙම ප‍්‍රදේශවලට ඇද වැටුණහොත්, නුවරඑළිය, නුවර, කෑගල්ල වැනි ප‍්‍රධාන නගරවල පවා පැවැත්ම ඉතාම භයානක අනතුරක තිබෙන බව පැහැදිලියි.

මෙය වැලැක්විය හැකිද? මෙයට හේතුව කුමක්ද? ප‍්‍රධානම හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටළුවයි. ගෝලීය උණුසුම ඉහළ යමින් තිබෙන්නේ අප බලශක්ති පරිභෝජනය සඳහා තෙල්, ගල් අඟුරු හා ගෑස් දහනය කිරීමත්,පරිසර පද්ධති ගංවතුර උවදුරට ඔරොත්තු දෙන ආකාරයට තිබූ පහත්බිම් ප‍්‍රදේශ සංවර්ධනය කිරීම, ඒ වගේම කඳුකර ප‍්‍රදේශවල වනාන්තර විනාශ කිරීම වැනි ක‍්‍රියාවලීන් විසින් අප මෙම කි‍්‍රයාදාමය වේගවත් කිරීම නිසා. හයිඩ්‍රොකාබන් වලින්, එහෙම නැත්නම් තෙල්, ගල්අ`ගුරු, ගෑස් වලින් ලෝකයට අත්මිදෙන්න පුළුවන්ද? දැනටනම් කොහෙත්ම බැහැ. මොකද ලෝක ආර්ථිකයෙන් 80% ක් පවතින්නේ මේවා නිසයි. විකල්ප බලශක්ති ගැන කතා කළාට තවමත් ඒවා මේ තෙල්, ගල් අ`ගුරු, ගෑස්වලට නිවැරදි විකල්පයක් වෙලා නැහැ. මොකද මේ තෙල්, ගල් අඟුරු, ගෑස්වල පවතින බලශක්ති විභවය සහ ඒවා පාවිච්චි කිරීම තිබෙන තාක්ෂණයන් දියණු වෙලා තිබෙන ප‍්‍රමාණය සහ ඒවාට තිබෙන ඇබ්බැහිකම විසින් ඉතාම බරපතල ගැටළු මතුකර තිබෙනවා. ඒ වගේම ලෝකයේ පවතින ආර්ථික තර`ගය විසින් අපි දැක්කා පසුගිය කාලයේ ඇමරිකාව විසින් තමන්ට එරෙහිව චීනයේ නැගිසිටීම වැලැක්වීමට නැවතත් ගල් අ`ගුරු ආර්ථිකයක් කරා ගමන් කරමින් තිබෙන බව.

එනිසා මේ ලෝක බලවතුන්ගේ ආර්ථික තරඟය පවතින තාක්කල් විකල්ප විසඳුමක් නිශ්චිතව පැහැදිලි නොවෙනා තාක්කල් තෙල්, ගල් අඟුරු ගෑස් භාවිතය පවතිනවා ඇති. ඒ වගේම අද අපට මේ කාලගුණික – දේශගුණික විපර්යාස වලින් බැටදෙන්නේ මීට දශකයකට පමණ කලින් සිදු වූ තෙල්, ගල් අඟුරු, ගෑස් දහනය නිසයි. ඒ අනුව අද සිදුවන දහනය තව දශකයකින් අපට පලදීමට නියමිතයි. ඒ නිසා අප මතක තබාගත යුතුයි මෙය ශ‍්‍රී ලංකාවේ තෙල් ගල් අඟුරු ගෑස් දහනය කිරීමේ ගැටළුවක් නෙමෙයි, ලෝක පරිමාණ ගැටළුවක් බවත් තවමත් ලෝකයට එය විසඳුම් නැති බවයි. විශේෂයෙන්ම ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සහ දක්ෂිණාංශික ජනකාන්දවාදීන් බලයට පත් වු සෑම තැනකම නැවත වතාවක් හයිඩ්‍රොකාබන් යුගයට ලෝකය රැුගෙන යාමේ උත්සාහය දරමින් තිබෙනවා. මේ නිසා මේ ගැටළුව ජාත්‍යන්තර තලයම විසඳයි කියා සිතීමට අමාරුයි.

එසේ නම් අප කුමක් කළ යුතුද? පළමුව ශ‍්‍රී ලංකාවේ කඳුකර ප‍්‍රදේශවල ජනාවාස ඇතිවීම වැලැක්විය යුතුයි. එසේත් නැතිනම් එම කඳුකර ප‍්‍රදේශවල ජනාවාස ඇතිවීමට තුඩු දෙන විදිහේ, ඒවාට උනන්දුකරවන විදිහේ කි‍්‍රයාදාමයන් නතර කළ යුතුයි. විශේෂයෙන්ම රත්නපුර, කෑගල්ල, නුවරඑලිය, මහනුවර, මාතලේ ඒ වගේම ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවක්, මාතර දෙනියාය ආදී ප‍්‍රදේශ, කොළඹ දිස්ත‍්‍රික්කයේ අවිස්සාවේල්ල ආදි ප‍්‍රදේශවල පවතින කඳුකර පළාත් වැනි ප‍්‍රදේශවල ජනාවාස ඇතිවීම තවදුරටත් පාලනය කළ යුතුයි.

2017 ජාතික භෞතික සැලැස්මේදී මේ සියළු කාරණා සලකා බලා තිබෙනවා. ඔවුන්ට අනුව නම් කොළඹ සිට ති‍්‍රකුණාමලය දක්වාත්, අම්බලන්ගොඩ සිට හම්බන්තොට දක්වාත්, ඒ වගේම වාලච්චේනයේ සිට මඩකලපු ප‍්‍රදේශය, අම්පාර ප‍්‍රදේශය, මොණරාගල ප‍්‍රදේශය දක්වාත්, ඒ වගේම උතුරේ යාපන අර්ධද්වීපයේ හැරෙන්න රටේ අනෙක් ප‍්‍රදේශවල තවදුරටත් ජනාවාස ඇතිවීම සුදුසුවන්නේ නැහැ. එසේ නම් මේ කඳුකර ප‍්‍රදේශවලට අධිවේගී මාර්ග හා අනෙක් මාර්ග පහසුකම් සහ තවත් දේවල් තැනීමෙන් ඒවායේ ජනාවාස තැනීමට උනන්දු කරවීමට රජයක් කි‍්‍රයා කරනවා නම් එය භයානක අනාගතයකට අතවැනීමක් බව ප‍්‍රකාශ කළ යුතුයි. එනිසා ඉංගිරියෙන් ඔබ්බට රත්නපුරය දෙසට තිබෙන අධිවේගී මාර්ගය, ඒ වගේම කුරුණෑගලින් ඔබ්බට මහනුවර දෙසට තිබෙන අධිවේගී මාර්ගය ගැන අප නැවත සිතා බැලිය යුතුයි. මොකද එමගින් එම ප‍්‍රදේශවල ජනගහනය වැඩිකිරීම කියන්නේ ඔවුන්ගේ සොහොන් බිම් ඉදිකිරීමක් බවට පත්වන නිසා. ඒ වගේම වතුකරයේ ජනතාවට නිවාස තනාදීමේදී විධිමත් ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් ඒ වතුකරයේ ජනතාව තැනින් තැන පර්චස් 5 – 6 නිවාස ඉදිකරගෙන යෑමේ මේ කි‍්‍රයාවලි සමග ඔවුන් ඔවුන්ගේ සොහොන් බිම් ඉදිකරගන්නා බව ඉතා පැහැදිලියි. පසුගිය මැයි මාසයේ ඇතිවූ මහා විනාශයෙන් පෙනී ගියේ තේ වගා කරමින්, කඳුබිම් හෙළිකරමින් මේ ජනාවාස ඇතිකරගත් සෑම ප‍්‍රදේශයක්ම නාය යෑමට ගොදුරු වූ බවයි.

ඒ වගේම ලෝක ආර්ථිකයට මෙමගින් විශාල බලපෑමක් එල්ලවීමට නියමිතයි. ඒ නිසා නාය යෑම්වලට, ජලගැලීම්වලට, ඒ වගේම ජලහි`ගයට ඔරොත්තු දෙන විදිහේ නාගරිකරණයන්, ජනාවාසකරණයන්, භවබෝග නිර්මාණය කිරීම රටට අත්‍යාවශ්‍යයි. ඒ වගේම ශ‍්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් නිසා, විශේෂයෙන්ම ඇන්ටාටිකාව ආදී ප‍්‍රදේශවල සිදුවන හිම දියවීම යෑම නිසා සාගර ජලය ඉහළ යාමත්, ඒ වගේම ලවන ජලය බිමට කඩාවැටීමත් සිදුවෙමින් පවතිනවා. ඒනිසා වෙරළතීරය අවට ප‍්‍රදේශවල පහත්බිම් ආරක්‍ෂා කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් අපට අවශ්‍යයි. ඒ අනුව ඉදිරි කාලයේදී නගර අලංකරණ වැඩසටහන්වලට වඩා ජල කළමනාකරණය, ගංවතුර කළමනාකරණය, නියං කළමනාකරණය කිරීමට අවශ්‍ය කරන ජලපහසුකම පැත්තෙන් ගත් කළ විශේෂ වැඩපිළිවෙලක් මෙම රටටත් ඕනෑකර තිබෙනවා. ඒ වගේම ජනාවාස කරණයේදී ජාතික භෞතික සැලැස්ම විධිමත්ව කි‍්‍රයාත්මක කිරීමත්, දේශපාලකයන්ගේ අවශ්‍යතා මත තැන තැන අධිවේගී මාර්ග හා නාගරිකරණය අවිධිමත්ව සිදුවීම වැලැක්වීම ඉතා අත්‍යාවශ්‍යයි. අපට ඉර්මා කුණාටුවෙන්, හාවේ කුණාටුවෙන් හා ශ‍්‍රී ලංකාවේ ජලගැලීම් හා නාය යෑම්වලින්, ඩකා නගරයට, මුම්බායි නගරයට සිදු වූ විනාශවලින් උගත හැකි පාඩම එයයි.

scroll to top