ආසියා-පැසිෆික් කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

Karu_J-01.jpg

“සියළු කොටස් ඇතුලත් සාමකාමී සමාජයක් ප්‍රවර්ධනය කරමින් සහාසික අන්තවාදය වැලැක්විමේ කාර්යන්හිදී  තරුණ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ භුමිකාව  යන්න „ තේමා  කර ගත්  ආසියා-පැසිෆික් කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය සමුළුව අද  පෙරවරුවෙහි කොළඹ හිල්ටන් හෝටලයේ දී සමාරම්භවිය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “අද සහ හෙට ” දෙදින තුල පැවැත්වෙන මෙහිදී ආසියා-පැසිෆික් කලාපයට අයත් රටවල් 39 ක ජාතික පාර්ලිමේන්තුවල තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම තෝරාගත් තරුණ සංවිධාන, ජාල සහ සංගම්වල නිරීක්ෂකයින් ද එකට එක් කරනු ඇත. මෙම සමුළුවට  සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඉලංකෛ තමිල් අරසු කට්චි යන පක්ෂ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වේ.

අද පැවැති  සමාරම්භක උත්සවයේදී කථානායක  කරු  ජයසුරිය මහතා පිළිගැනීමේ කථාව පැවැත් වූ  අතර අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා සාමාරම්භක  දේශනය පැවැත්විය.

අහිංසක මිනිසුන් ගණනාවකගේ ජීවිත බිලිගත් සාහසික අන්තවාදයේ නව රැළි පසුගිය වසර කිහිපය පුරා ලෝකය අත්විඳ ඇති බැවින් මෙම සමුළුවෙහිදී සාහසික අන්තවාදය වැළැක්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. සාහසික අන්තවාදය වැළැක්වීමටත්, තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමටත්, විශේෂයෙන්ම 16 වැනි අරමුණ – “තිරසාර සංවර්ධනය උදෙසා සාමකාමී සහ සියලු කණ්ඩායම් ඇතුළත් සමාජ ප්‍රවර්ධනය කිරීම, සියලු දෙනාට යුක්තිය වෙත ප්‍රවේශය සලසා දීම, සහ සියලු මට්ටම්වල කාර්යක්ෂම, වගවීම සහිත ආයතන ගොඩනැගීම” ක්‍රියාත්මක කිරීමටත් තරුණ පරපුර සක්‍රීය ලෙස යෙදවීම ඉතාමත් අවශ්‍ය වේ යන්න සමුළුවේදී අවධාරණය කෙරෙනු  ඇත.

එසේ හෙයින්, සාහසික අන්තවාදය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුම්වත් කිරීමට, සාහසික අන්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ යුත්තේ කුමක්ද යන්න හඳුනා ගැනීමට, සහ සාහසික අන්තවාදය වැළැක්වීම පිණිස පාර්ලිමේන්තු සහ තරුණ පිරිස් අතර සංනිවේදනය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය හමුව තුළින් අවස්ථාව සැළසෙනු ඇත.

සමුළු සමාප්තියෙන් පසුව  එයට සහභාගීවූවන් සඳහා මහනුවර ප්‍රදේශය (දළදා මාලිගාව සහ පින්නවල අලි අනාථාගාරය) නැරඹීම පිණිස චාරිකාවක් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ ඇත.

scroll to top