ආපදාවන්ට ලක්වූ විදුලි පාරිභෝගිකයන්ට නොමිලයේ විදුලිය….

  • ආපදාවන්ට ලක්වූ නිවාස වෙත ළඟාවියහැකි පළමු පැය තුළ විදුලිය ගැටළු විසදීමට ලංවිම විශේෂ කණ්ඩායම්
  • හදිසි ඇමතුම් අංකය – 0113030303

– රංජිත් සියඹලාපිටිය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

“පසුගිය දින කිහිපයේ ඇතිවූ ආපදා තත්ත්වය සහ එම ආපදා තත්ත්වය හමුවේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ විදුලිය විසන්ධි කිරීම් නිසා පාරිභෝගිකයින් 625,000ක පමණ පිරිසකගේ විදුලිය සම්බන්ධතාවය නැති වුණා. සමස්තයක් වශයෙන් මේ වනවිට 177,775 ක් පමණයි දැනට විදුලිය නැත්තේ. ඒ කියන්නේ ආපදාවන්ට ලක්වූවන්ගෙන් 28.4% තමයි දැනට විදුලිය නැත්තේ. ලංවිම ඉහළම නිලධාරියාගේ සිට කාර්මික සහෝදරයා දක්වා වූ පිරිස තම ජීවිතයත් දෙවෙනි කරලා සිදුකරපු කැපකිරීම් මත අනෙක් පිරිසට විදුලිය ලබාදීමට අපට හැකිවෙලා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ලංවිම ඉහළ සිට පහළට සේවය සපයන නිලධාරින් මහතුන්ට ස්තුතිය පළකරනවා. අපට තිබෙන ප‍්‍රධානම ගැටළුව තමයි තාමත් ජලය බැසගිහින් නැති එක. ඒ නිසා අපට එම නිවාස වෙත ලගාවීමට හැකියාවක් නැහැ. ඒ අනුව පාරවල් වල යන්න පුළුවන්වන පළමු පැය තුළ අපේ ලංවිම සහෝදර සහෝදරියන් මේ ආපදාවන්ට ලක්වූ ජනතාවගේ විදුලිය නැවත ලබාදීම් පිළිබඳව ක‍්‍රියාත්මක වීමට සූදානමින් සිටිනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ, මාතර දිස්ත‍්‍රික්කය මුහුණපා ඇති තත්ත්වය පිළිබඳ මාතර ග‍්‍රිඞ් උපපොළ සහ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ඊයේ (30) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …

“මාතර රත්නපුර ගාල්ල යන ප‍්‍රදේශවල අපේ ලංවිම කාර්යාල රාශියක් ජලයෙන් යටවුණා. මාතර තමයි විශාලම ප‍්‍රශ්ණ ඇතිවුණ දිස්ත‍්‍රික්කය. පළාත් වශයෙන් ගත්තම දකුණු පළාතේ 253130 කගේ විදුලිය බිදවැටුනා. අද වනවිට 189300 ට අපි විදුලිය ලබාදීලා තිබෙනවා. මේ සඳහා අපි ආපදා තත්ත්වයක් බලනොපෑ ප‍්‍රදේශ වලින් සේවක කණ්ඩායම් මේ ප‍්‍රදේශ කරා කැඳවාගෙන සිටිනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය හැටියට මෙම ආපදාවන්ට ලක්වූ පිරිස් වෙත විශේෂ සහන පැකේජයක් ප‍්‍රකාශයට පත්කළා. විදුලි රැහැන් සහ විදුලි මීටරය ආපදාවන්ට ලක්වී තිබේනම්, ඒවා ගාස්තු අය කිරීමකින් තොරව නැවත ලබාදීම, මැයි සහ ජූනි මාස වල විදුලි බිල්පත් වාරික වශයෙන් ගෙවීමට මාස 06 ක සහන කාලයක් ලබාදීම, නිවාස මුළුමනින්ම විනාශවූ පිරිස් නැවත පදිංචි කිරීමේදී නව විදුලි සම්බන්ධතා නොමිලයේ ලබාදීම, පසුගිය හිඟ බිල්පත් නොසලකා හැරීම, අවතැන්වීම නිසා රජය මගින් ලබාදුන් තාවකාලික නිවාසවල පදිංචි අයට මාස 06ක් නොමිලයේ විදුලිය, කුඩා ව්‍යාපාර සහ කර්මාන්ත වලට ඔහුගේ හිඟ බිල්පත් වාරික වශයෙන් ගෙවීමට මාස 06ක සහන කාලසීමාවක් ලබාදීම ආදි සහන රැසක් මෙමගින් අපි ප‍්‍රකාශයට පත්කළා. ආපදාවන්ට ලක්වූ පිරිස්වල හදිසි විදුලි අවශ්‍යතා වෙනුවෙන් 0113030303 දුරකතන අංකය අමතන ලෙස ඉල්ලා සිටිනවා. දේශගුණික තතත්වය යහපත් වුණොත් ඉදිරි දින 03 ඇතුළත අපේ සැපයුම් සියල්ල යථා තත්ත්වයට පත්කල හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසිය.

scroll to top