ආණ්ඩුව රනිල් සරණ යෑම

ජනාධිපතිතුමාගේ නිදන කාමරේ රහස් දුරකතනයක් තිබෙනවාලු. ඒකෙන් ජනාධිපතිතුමා නිදා ගෙන සිටියත් ඕනෑම වෙලාවක අවදි කරගෙන කතා කරන්න පුළුවන්ලු.

මේක සවි කලේ යුද්ධය කාලේ ආරක්ෂක ලේකම්ට රෑ කීයට හරි අමතන්න පුළුවන් වෙන්නලු. ඔන්න දවසක් උදේ තුනට මේ දුරකතනය නාද වෙනවා. හොඳට නිදා ගෙන හිටපු ජනාධිපතිතුමා මේ නාදයෙන් අවදි වෙලා “යුද්දේ ඉවර වෙලත් මේ කරදරේ ඉවරයක නෑනේ“ කියමින් දුරකතනය අතට ගත්තා. දුරකතන ඇමතුම විපක්ෂ නායකතුමාගෙන්. අපි දැන් ඒ සංවාදය කියවමු.

රනිල් : මහින්ද, මම රනිල්.
මහින්ද : ඇයි රනිල් මේ මහ රෑ? කරදරයක් ද?
රනිල් : එක විධියක කරදරයක් තමයි. මට අයිස්ක්‍රීම් එකක් කන්න ආසයි. ඒත් ගෙදර නෑ.
මහින්ද : ඉතින් මනුස්සයෝ මට කරදර නොකර කඩේකින් අරන් එකක් නොවෙයි දහයක් කනවකො.
රනිල් : කඩ ඇරලා නම් මම ඔයාට කතා කරන්නේ නෑනෙ. කඩ ඔක්කොම වහලා. මහින්ද : හරි! හරි!! පොඩ්ඩක් ඉන්න මම මන්දිරේ තිබෙනවා ද කියලා බලන්නම්.
(ටික වේලාවකට පසු)
මහින්ද : හරි වැඩේනෙ රනිල්. අපේ ගෙදර පොඩි එවුන් නැති නිසා අයිස්ක්‍රීම් චුට්ටක්වත් නෑ. දැන් ඔයා නිදා ගන්න. තව පැය තුනකින් එලි වෙලානෙ. එතකොට අපි අයිස්ක්‍රීම් ගමු.
රනිල් : එහෙම බෑ. මට දැන් අයිස්ක්‍රීම් කන්න ඕනෑමයි.
මහින්ද : මොකද්ද රනිල්? ඔයා මට කරදරයක් වුණානෙ. උදේ හය වෙනකොට මම ලංකාවේ තිබෙන ඔක්කොම අයිස්ක්‍රීම් ජාති ඔයාගේ ගෙදරට එවන්නම්. එතකොට කැමති ජාතියක් කන්න පුළුවන්නෙ. දැන් ගිහින් හොඳ ළමයා වගේ නිදා ගන්න.
රනිල් : හරි! ඔයා මට අයිස්ක්‍රීම් එවන්නේ නෑනෙ. ඔයාට ඕනෑ නිදා ගන්නනෙ. හොඳයි ඔයා එහෙනම් හොඳට නිදා ගන්න. හැබැයි ඔයා ඇහැරෙන කොට එක්සත් ජාතික පක්ෂ නායක කමින් මම අස්වුණා කියන ප්‍රවෘත්තිය ඔයාට ඇවිල්ලා තියේවි.
මහින්ද : (ඉතාම කලබලයෙන්). අයියෝ රනිල්! ඔයාට විහිළුවක් වත් තේරෙන්නේ නෑනෙ. ඉන්න! ඉන්න!! මමම දැන් ගිහින් කඩයක් ඇරලවලා හැම ජාතියකම අයිස්ක්‍රීම් ඔයාගේ ගෙදරටම ගෙනැවිත් දෙන්නම්.

මෙම රසබර කතාව මට පැවසුවේ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. ඒ 2012 වසරේ දීය. මම මෙම කතාව ජනාධිපතිතුමා සමග පැවසුවෙමි. එතුමා හඬ ගා සිනාසුණේය. මෙය හුදෙක්ම රසබර කතාවක් නොවේ. ඒ තුල දැවැන්ත දේශපාලන පණිවිඩයක් ද තිබේ. එනම් මෙම ආණ්ඩුව පවතින්නේ විපක්ෂ නායක ධූරය රනිල් වික්‍රමසිංහ මහතා දරණ හේතුව මත බැවින් ඔහුව ඒ තනතුරේ තබා ගැනීමට ආණ්ඩුව ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකත්වය වික්‍රමසිංහ මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුණේ නම් තියුණු තරගයක් පවතිනු ඇති බව පොදු විශ්වාසයයි. එමෙන්ම කරු ජයසූරිය මහතා ද සැලකිය යුතු තරගයක් ඇති කළ හැකි අපේක්ෂකයෙකි. මෙම අපේක්ෂකයින් දෙදෙනාටම සිංහල බෞද්ධ ඡන්ද මෙන්ම කුඩා පක්ෂවල සහයෝගය ද දිනා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි වැනි පොදු අපේක්ෂකයෙකුට මේ සියළු දෙනාටම වඩා ඡන්ද ලබා ගත හැකි බව මගේ තක්සේරුවයි.

වික්‍රමසිංහ මහතාගේ දුර්වලතාවය මත ජයග්‍රහණය කිරීමට සංධානය වෙර දැරීම ඇත්තෙන්ම අවදානම් සහගත ක්‍රියාවකි. ඇමෙරිකාව සහ යුරෝපීය සංගමය මෙන්ම ඉන්දියාව ද මේ ආණ්ඩුව සමග සිටින්නේ සතුටු සිතින් නොවේ. ලංකාණ්ඩුව දැවැන්ත බලය බෙදීමකට යොමු කර තමිල්නාඩුව සතුටු කිරීමට නොහැකි වීම ඉන්දියාවේ කනස්සල්ලට හේතු වී ඇත. ඒ හේතුව මතම තම රටවල වෙසෙන දෙමළ ප්‍රජාව සතුටු කිරීමට නොහැකි වීම ඇමෙරිකාවේ සහ යුරෝපීය සංගමයේ කනස්සල්ලට හේතු වී ඇත. එමෙන්ම එම රටවල් සටන් විරාමයක් ප්‍රකාශ පත් කරන මෙන් 2009 දී මෙම ලෝක බලවතුන් අපේ ආණ්ඩුවට දුන් නියෝගයට පිටු පෑම පිළිබඳ මේ රටවල් සිටින්නේ කෝපයෙනි. එබැවින් තමන්ට කීකරු නැති සංධාන ආණ්ඩුව පෙරලීමට මෙම රටවලට දැඩි උවමනාවක් තිබේ. ලොව පුරා එවැනි ආණ්ඩු පෙරලීම පිළිබඳ කළු පැල්ලම් සහිත ඉතිහාස ද මෙම රටවලට හිමිය.

මෙවැනි අවස්ථාවන්හි තමන්ට අකීකරු රාජ්‍ය නායකයා ඝාතනය කිරීම ඇමෙරිකානු ප්‍රතිපත්තියයි. චිලී ජනපති සැල්වදෝර් ඇලන්ඩෙ, කොංගෝ අගමැති පැට්‍රිස් ලුලුම්බා, ජැමෙයිකා අගමැති මයිකල් මෑන්ලි, සයරේ ජනපති මොබුටු සෙකො සහ පැනමා ජනපති ඔමාර් ටොරිජොස් ඒ අතර වේ. නමුත් ජනපති මහින්ද ඝාතනය කිරීම තමන්ට බූමරංගයක් විය හැකි බව ඔව්හු දනිති. එවැනි ඝාතනයක් වුවහොත් රටේ ඇති වන අනුකම්පාව මත සංධානයෙන් ඉදිරිපත් වන තවත් රාජපක්ෂ කෙනෙකුට විශිෂ්ට ජයක් හිමි වනු ඇත. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඝාතනය කිරීමෙන් පසු රජිව් ගාන්ධිට අගමැති වීමට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණය මීට ඇති කදිම නිදසුනයි. එබැවින් ජනපති ඝාතනයකින් පසු අනුකම්පාව බිහි වන සහ පැහැදිලි අනුප්‍රාප්තිකයින් සිටින පසුබිමක් තුල එවැනි වෑයමක් නිශ්ඵලය.

විසි වසරක් බලයේ සිටි ආණ්ඩුවක් පෙරලීම දැවැන්ත අභියෝගයක් නොවේ. නමුත් ජනතාව අතින් විසි වසරක් පුරා ප්‍රතික්ෂේප වී ඇති නායකයෙකු ඒ සඳහා ගැලපෙන්නේ නැත. ඉහත සඳහන් කළ පරිදි වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු විපක්ෂයෙන් ඉදිරිපත් වන්නේ නම් තියුණු තරගයකට අවකාශ සලසනු ඇත. සංධාන ආණ්ඩුව පෙරලීමට ඇති දැවැන්තම බාධාව වික්‍රමසිංහ මහතා ලෙස බටහිර බලවේග දුටුවොත් ඔහුව ඝාතනය කිරීමට වුවත් මෙම රටවල් පෙළැඹීමට ඉඩ ඇත. තමන්ට හිතවත් නායකයෙකු ඝාතනය කිරීමට මොවුන් පෙළෙඹෙතැයි බොහෝ දෙනෙකු විශ්වාස නොකළත් එවැනි සිදුවීම් මීට පෙර සිදු වී ඇත.

දකුණු වියට්නාමයේ ජනාධිපති ධූරය දැරූ න්ගො ඩින් ඩියෙම් ඇමෙරිකානු හිතවාදියෙකු මෙන්ම කතෝලික බැතිමතෙකි. ඔහු කොමියුනිස්ට් විරෝධියෙකු මෙන්ම බෞද්ධ විරෝධියෙකු ද විය. ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු වියට්නාමයේ සහයෙන් වියට්කොන් ගරිල්ලන් දකුණු වියට්නාමය සමාජවාදි රාජ්‍යයක් කර උතුරු වියට්නාමයට ඈඳීමේ අරමුණින් සටනක් අරඹා තිබිණි. ජනපති ඩියෙම් විසින් බහුතර බෞද්ධයින්ට කරන හිරිහැර වලට විරෝධය පාමින් ක්වැන්ග් ඩක් හිමි සිරුරට ගිනි තබා ගෙන දිවි පිදීය. මෙම සිදුවීමත් සමග බෞද්ධයින් ඩියෙම් ජනපති ධූරයෙන් ඉවත් කිරීමේ අරමුණෙන් වියට්කොන්වරුන්ට සහය පල කිරීම ඇරඹිණි. තම හිතවතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොමියුනිස්ට්වරුන් බලවත් වන බව ඇමෙරිකාවට පෙනිණි. එබැවින් ඔහුට ජනපති ධූරයෙන් ඉවත් වන මෙන් ඇමෙරිකාව දැනුම් දෙන ලදී. නමුත් ඔහු බලය අත්හැරීමට සූදානම් නොවිණි. එබැවින් ඇමෙරිකානු ඔත්තු සේවය වන සීඅයිඒ විසින් සැලසුම් කළ කුමන්ත්‍රණයකින් ඔහු මෙන්ම ඔහුගේ සොයුරා ද 1963 දී ඝාතනය කර තවත් ඇමෙරිකාවේ කීකරු ගෝලයෙකු වන දුරොන්ග් වෑන් මින් බලයට ගෙනෙන ලදී. දකුණු වියට්නාමයේ නිදසුන පෙන්වන්නේ තම සැලසුම් ඉදිරියට ගෙන යෑමට තම හිතවතා බාධාවක් නම් ඔහුව මරා දැමීමට සීඅයිඒ පසුබට නොවන බවයි. එබැවින් ඇමෙරිකානු හිතවාදියෙකු වන රනිල් මත විශ්වාසය තබා දේශපාලනය කිරීමෙන් සංධාන ආණ්ඩුව දැවැන්ත අවදානමක් ගෙන ඇත. යම් හෙයකින් රනිල් ඝාතනය වුවහොත් ඒ සමගම සංධාන ආණ්ඩුව ද ඝාතනය වීමේ අවදානමක් ඇත. මෙම අවදානම දුරු කිරීමට සංධානය කුමක් කළ යුතු ද?

ඉදිරි ජනපතිවරණයේ දී විපක්ෂය සංධානයට අභියෝගයක් නොවීමට නම් සංධානය කළ යුත්තේ විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ විනාශ කර දැමීමයි. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ රාජ්‍ය සේවයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය සංධානයේ ප්‍රධාන සටන් පාඨයි. විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ වී ඇත්තේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, දූෂණය පිටු දැකීම, එක් පවුලක් මත ආණ්ඩුව රැඳීම අහෝසි කිරීම සහ නීතියේ ආධිපත්‍ය පිහිටුවීමයි.

ජාතික ආරක්ෂාව සහ යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සංධානයේ ජයග්‍රහණ දෙස බලන විට විපක්ෂයේ සටන් පාඨ යම් පමණකට විනාශ කළොත් කවුරුන් විපක්ෂයේ අපේක්ෂකයා වුවත් ජනපතිවරණයේ වාසිය සංධානයට ලබා ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා කළ යුත්තේ හෙළ උරුමයේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමයි. ශ්‍රී ලංකා රාජ්‍යය දිය නොකරමින් දැනට ආණ්ඩුව සතු අත්තනෝමතික බලතල සීමා කිරීමක් සිදු කරන බවින් එජාපය යෝජනාවන්ට වඩා ඒවා රටට හිතකරය. එජාපය විධායක ජනපති ධූරය අහෝසි කිරීමට යෝජනා කරන විට හෙළ උරුමය යෝජනා කරන්නේ එය සතු අත්තනෝමතික බලතල ඉවත් කිරීමටයි. එජාපය සෑම ක්ෂේත්‍රයකම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා නිළධාරිවාදය එසවීමට යෝජනා කරන විට හෙළ උරුමය යෝජනා කරන්නේ ආණ්ඩුවක දේශපාලකයින්ගේ මෙන්ම නිළධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා පාලනය කිරීමට අවශ්‍ය වන අධිකරණ, මැතිවරණ, විගණන සහ වංචා දූෂණ විමර්ශන යන ක්ෂේත්‍රයන් පමණක් දේශපාලනයෙන් ස්වාධීන කිරීමටයි. එබැවින් රනිල් මත රැඳෙමින් සංධානය කරන අවදානම් සහගත දේශපාලනයට තිත තැබිය හැක්කේ හෙළ උරුමයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පමණි. (මව්බිම)

(උදය ප්‍රභාත් ගම්මන්පිල විසිනි)

scroll to top