ආණ්ඩුවෙන් 18ක් යනවද 20 යනවද කියලා සැප්තැම්බර් මාසයේ බලමු…

Thalatha.jpg

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක‍ෂ දෙක එක්වී සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යාම ඇතැමුන්ට ඉවසිය නොහැකිවී ඇති බවත්, එහෙයින් මෙම ආණ්ඩුව ඛෙදී වෙන්වීමට ආසන්න බව පවසමින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් පවතින බවත්, එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව එළැඹෙන සැප්තැම්බර් මාසයේදී සියල්ලන්ටම දැනගත හැකි වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මෙම අදහස් පළකළේ, රත්නපුර ප්‍රදේශයේ ඊයේ දින (2017.07.10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරිය, —18 දෙනෙක් යනවයි කියනවා. මෙහෙමයි රටේ ඉතිහාසයේ ඉඳන් එක එක කාලවල එක එක විදිහට පක‍ෂ මාරු කිරීම් දේශපාලනය වෙනුවෙන්, පුද්ගලික වාසි තකා, මුදලට, මිළට විකිණිච්ච කාලයක් අපි ඉතිහාසයේ හැමදාම දැක්කා. මේවා අමුතු දේවල් නෙවෙයි. ඔය වගේ නොයෙකුත් කතා මේ ආණ්ඩුව හැදුන දවසේ ඉඳන් එක එක අය කිව්වා. හැබැයි අපි දන්නවා මේ රට තාමත් ජාතික ආණ්ඩුවක් පිළිබඳ හරි අවබෝධයක් තියෙන වටපිටාවක් නෑ. විශේෂයෙන් ජාතික ආණ්ඩුවක් කියන්නේ මීට ඉතාම සුළු කාලයකට ඉස්සෙල්ලා අවුරුදු දෙකකට දෙක හමාරකට කලින් මිනි මරාගත්ත කුහක දේශපාලනය කරපු, වෛරවාදී දේශපාලනය කරපු දිනපු පක‍ෂය පැරදිච්ච පක‍ෂයට ගහපු දේශපාලන රටාවක් මේ රටේ තිබුණේ. අද ඔක්කොමලා එකතු වෙලා එක තැනක ඉඳගෙන එක රජයක දේශපාලන භේදයකින් තොරව වැඩකරනකොට ඒකට ඉවසගෙන ඉන්න බැරි කොටසකුත් ඉන්නවා. තමන්ගේ පැවැත්ම තියෙන්නේ එකිනෙකා ඛෙදිච්ච තරමට, ගහමරා ගත්ත තරමට කියලා හිතන කොටසකුත් ඉන්නවා. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හදාගෙන නොයෙකුත් මත රටේ පතුරවගෙන යන්නේ. අපි මේ ඒකාබද්ධ විපක‍ෂයේ ඉන්න පිරිස දිහා බැලූවම ඉතිහාසයේ දේශපාලන භූමිකාව තුළ මොන වගේ දෙයක් කරපු කට්ටියක්ද කියලා ජනතාව දන්නවා. ඉතින් 18ක් යනවා 20ක් යනවා. පක‍ෂ දෙක අතර සම්මුතිය ඉවරයි කියනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි සැප්තැම්බර් මාසයේ බලමු කියන දේ තමයි කියන්න තියෙන්නේ.˜ යනුවෙන් සඳහන් කළාය.

1. ඇමතිතුමිය මේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන්…
– නව ව්‍යවස්ථාවක් ඉල්ලූවා නෙවෙයි ඒක මේ අපේ රජය තුළම ඇතිවෙච්ච යෝජනාවක් සහ එකමුතුකම ඇතිකරන්න හේතුවුණු එක කාරණාවක් තමයි මේ නව ව්‍යවස්ථාව. අපි දන්නවා ෙජ්. ආර්. ජයවර්ධන මහත්තයා පැවති ව්‍යවස්ථාව අහෝසි කරලා දීපුවම නොයෙකුත් දෙනා ඊට විරුද්ධව මත ප්‍රකාශ කලා. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ජනාධිපතිවරයෙක්වත් ඉදිරිපත් කරන්නේ නැති තරමට ඒකට විරුද්ධ වෙලා හිටියා. ඉතින් දැන් කමිටු ගණනාවක් පත්කරලා, ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් අධ්‍යනය කරලා රටේ පැවැත්මට හොඳ, ජනතාව වෙනුවෙන් හොඳ පාලන ක්‍රමයක් ඇති කරන්න තමයි මේ නව ව්‍යවස්ථාවක් ඇතිකරන්න මූලික පරමාර්ථය වුණේ. හැබැයි ඉතින් මේ ව්‍යවස්ථාව අංග සම්පූර්ණ ව්‍යවස්ථාවක්ද, නැත්නම් මේ ව්‍යවස්ථාව ජනතා හිතකර ව්‍යවස්ථාවක්ද කියන එක බලන්න තවත් කල් තියෙනවා මේ සම්බන්ධයෙන් අවසන් ප්‍රකාශයක් කොහෙවත් කරලා නැති නිසා.

2. රටේ බුදු දහමට තියෙන අයිතිය සම්බන්ධව…

– හිතෙන හිතෙන එක්කෙනා එක එක ඒවා කියනවා. මට කියන්න පුළුවන් මම ප්‍රබල බෞද්ධ පරිසරයක හැදිච්ච බෞද්ධයෙක් හැටියට මොනම හේතුවකටවත් බෞද්ධ අනන්‍යතාවය අපේ රටේ නැතිකරගන්න සූදානම් නෑ. වෙන රටවලට ගිහින් බලද්දි ථෙරවාදී බෞද්ධ ධර්මය තුළ මොනවගේ නිර්මල ධර්මයක් මේ රටේ තියෙනවද කියන කාරණය ගැන අපි දන්නවා. ඉතින් ඒක අපි නිකම් කාල් ගගා ඉඳලා වැඩක් නෑ. බෞද්ධාගම ගැන කථා කරන කිසිම කෙනෙක්ට අඩුම තරමේ පහුගිය අවුරුදු 20ක් තිබුණා. ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙහේ සමරන්න පුළුවන් තත්ත්වයකට කටයුතු කරන්න බැරි වුණා. ඒක කළේත් මෛති්‍රපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් රජයේ බෞද්ධ කටයුතු ඇමතිවරයාත් තමයි ඒකට අවශ්‍ය කටයුතු කළේ. කියන දේවල් ඕනිම කෙනෙක්ට මතයක් හදන්න පුළුවන්. ඒක තමයි ලේසිම දේ. බලන්නේ කොහෙන් හරි කවුරු හරි කුලප්පු කරලා එක්කෝ ආගම් දෙක එකට හප්පන්න, නැත්නම් ජාතීන් දෙක එකට හප්පන්න. මම දන්නවා ඒ අය මොන තරම් පහත් තත්ත්වයට වැටිලද කිව්වොත් ඊ්ටත් වඩා පල්ලෙහට ගිහින් ඊ්ටත් වඩා වෙන වෙන ඛෙදීම් ඇති කරන්න පුළුවන් නම් ඒකත් හප්පනවා බලය ලබාගන්න.

3. ඇමතිතුමිය රත්නපුර දිස්ති්‍රක්කය නොයෙක් විට දේශපාලන ගැටුම් තිබුණ ප්‍රදේශයක්. අනාගතයේදී පළාත් සභා මැතිවරණය හා ප්‍රාදේශීය සභා මැතිවරණය එනවා. රත්නපුර දිස්ති්‍රක්කයේ එක්සත් ජාතික පක‍ෂයේ නායිකාව විදිහට රත්නපුර දේශපාලන තත්ත්වය මොනවගේද?
– මම හැමදාම මගේ අයියගෙන් පස්සේ මේ දිස්ති්‍රක්කයේ නායකත්වය භාරගත්තට පස්සේ බොහොම සුභවාදීව කල්පනා කරලා එක්සත් ජාතික පක‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඉදිරියටත් මොන මැතිවරණයක් ආවත් ඒක තමයි අවශ්‍ය දේ කියන එක හිතේ තියාගෙන වැඩ කරනවා.

4. ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල සාකච්ඡාවක් තිබුණා. එමගින් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති හා තොරතුරු ලබාගැනීමේ මූලාශ්‍ර හෙලි කරන්න සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ මතය මොකක්ද?
– ඒක බොහොම හොඳයි. ඒක වෙන්න ඕනි. මොකද බොරු මාධ්‍ය මවන, බොරු අසත්‍ය ප්‍රකාශ කරන ආයතනවලට ඒ අය කරන දේ හරිද කියන මතයට එන්න වෙනවා. ඒක අනිවාර්යෙන්ම විය යුත්තක් හැටියට තමයි මම ඒ ගැන ඇත්තටම දන්නේ නෑ. එහෙම එකක් වෙනවා නම් ඒක තමයි හොඳම දේ. මොකද මම දන්නවා මම සම්බන්ධ අමාත්‍යංශය ගැන බොරු ප්‍රවෘත්ති මවන හැටි. මවන්නේ කවුද කියන දේත්. ඉතින් අපිට ඕවා නිරන්තරයෙන්ම නිවැරදි කර කර ඉන්න සිද්ධ වෙලා තියෙනවා. හරි මූලාශ්‍රවලින් අපි කරන හරි දේ හරි, වැරදි දේ හරි හරියට පෙන්නන්වා නම් ඒක තමයි විය යුත්තේ කියලා මම විශ්වාස කරනවා.

5. සාගල රත්නායක ඇමතිතුමාගේ අමාත්‍යංශය පවරගන්න බව කියනවා. ඇත්තද?
– ඒක නම් මගෙන් අහලා හරියන්නේ නෑ. ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක්. මොකද මම ජනාධිපති නෙවෙයි නේ. මට පවරගන්න බෑනේ.

scroll to top