ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණ ඉවතට

Wimal.jpg

2017-07-19 පෙ :ව 10.05 ට පමණ ගරු කථානායකතුමන් පාර්ලිමේන්තුවේ දී හමු වූ ජාතික නිදහස් පෙරමුණේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දෙමින් ලිපියක් භාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුද සහභාගී වූහ.

සිය පක්ෂය මෙම තීරණයට එළඹීමට හේතු වූ කරුණු 10ක් පෙන්වා දෙමින් ඉදිරිපත් කළ මෙම ලිපිය සඳහා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පද්ම උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරු අත්සන් තබා ඇත.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ “දේශපාලන පක්ෂයක් ලෙස රටට වැදගත් තීරණාත්මක කරුණු පිළිබඳව අවදියෙන් සිටීම සහ අදහස් දැක්වීම තමන් අගය කරන බවයි.” නමුත්, මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳව කිසිදු ලේඛණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව නොමැති පසුබිමක් තුල ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියෙන් බැහැර නොවන්නේ නම් වඩාත් යෝග්‍යය වනු ඇති බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී ප්‍රතිචාර දැක්වූ විමල් වීරවංශ මහතා සඳහන් කළේ “මෙම තීරණයට එළඹීමේදී සිය පක්ෂය මහ නාහිමිවරුන්ගේ අදහස් පිලිබඳවද විශේෂයෙන් සැලකිලිමත් වූ බවයි.”

ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිලිබඳ යම් ලේඛණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස්ව ඉදිරිපත්ව ඇති සියළු අදහස් පුළුල් ලෙස සමාලෝචනයට භාජනය කළ හැකි වනු ඇති බවත් , ජාතික නිදහස් පෙරමුණට එහිදී සිය අදහස් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මැදහත් වීමට ඉඩ සැලසෙනු ඇති බවටත් කථානායවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ජාතික නිදහස් පෙරමුණට ස්වකීය පක්ෂයේ අදහස් අනුව කටයුතු කිරීමට ඇති අයිතියට තමන් ගරු කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණ භාර දුන් මෙම ලිපිය පිලිබඳව කරුණු අධ්‍යයනය කර සිය ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ ඉදිරියේදී දැනුම් දෙන බව ද කථානායකවරයා සඳහන් කළේය.

scroll to top