අයිතීන් දිනාගැනීමේ මුවාමවන් සමහරු රට අස්ථාවර කිරීමේ එන්.ජී.ඕ. කුමන්ත්‍රණයක

දේශපාලන අන්තවාදීන් පිරිසක් අයිතීන් දිනා ගැනීමේ මුවාවෙන් රට අස්ථාවර කිරීමේ එන්.ජී. ඕ. කුමන්ත්‍රණ වල නිරතව සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
දිනපතා මහජනතාව පිඩාවට පත්කරමින් සිදුකරන උද්ඝෝෂණ රැල්ලේ යතාර්ථය පිලිබඳ පැහැදිලි කිරීමක් කරමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අදහස් පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා, 2015 ජනවාරි 08 වෙනිදා මෙරට ජනතාව, ඒකාධිපතිවාදය සහ සුදු වෑන් සංස්කෘතියට තිත තබා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අරක්ෂා කිරීමට සමත් වුණා. අද වන විට පුර්ණ වශයෙන් රට තුල මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස, නිදහස් මත දැරීමේ අයිතිය තහවුරු කිරීම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් ආරක්ෂා කරමින් ස්වාධින කොමිෂන් සභා යලි පන ගන්වමින් කර ඇති පුළුල් කාර්ය භාරය භෞතිකව ස්පර්ශ කල හැකි යථාර්තයක් නොවේ. එකී නිදහස යථාර්තයක් ව තිබියෙදී එය දඩමීමා කරගෙන ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පාරට බැසීම දේශපාලන බලය පෙන්වීමේ උපක්‍රමයක් බවට පත් වෙලා.

සාධාරණ අයිතීන් දිනා ගැනීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබෙනවා සේම එම ඉල්ලීම් සාධාරණ ලෙස විමර්ශණයට ලක් කර ඉටුකර දීමට රජයට ද වගකීමක් තිබේ. නමුත් සමාජයට ඔරොත්තු නොදෙන රජයට එකඟ විය නොහැකි ඉල්ලීම් යොමු කරමින් විකෘති සම්ප්‍රදායක් තුල එම ඉල්ලීම් ඉටු කර ගැනීමට මෙම අන්තවාදී පිරිස් උත්සාහ කරමින් සිටී ඔවුන් මහා මාර්ග අහුරමින් කාර්යාල නිමවී යලි නිවසට යන ජනතාවපිඩාවට ලක් කරමින් පොදු මහජනතාව තුල රාජ්‍ය විරොධයක් බලහත්කාරයෙන් ඇති කරවීමට නිරන්තරවම උත්සාහ දරයි.

අවිචාරශීලි උද්ඝෝෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා තුලින් විදේශ ආයෝජන ඇතුළු රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධා ඇතිවන බව මෙම අන්තවාදී පාර්ශවයන් නොදන්නවා නොවේ. එහෙත් පසුගිය රජයේ දේශපාලන මතවදයම් වෙනුවෙන් පෙනිසිටිමින්, ඔවුන්ගේ කොන්ත්‍රාත් ඉටු කරමින් මුදල් ඉපැයූ මෙම එන් ජී ඕ නඩ දේශීය සහ විදේශීය කුමන්ත්‍රණයක නිරතව සිටින බව සාධාරණ සැක මතුවන තත්වයක් බවට පත්ව අවසන්.
රටක් දියණු වූ පසු අන්තවාදී අභිමතාර්ථයන්ට ඉඩ නොලැබෙන බව දන්නා මෙම පාර්ශවයන් ඒ සඳහා ඉඩ ලබා නොදෙන්නේ තම දේශපාලන කොමිස් සහ ඩීල් සංස්කෘතිය දිවිහිමියෙන් ආරක්ෂා කිරීම සඳහා බව කිව යුතුයි.

සාමාන්‍යයෙන් විරෝධතා පෙළපාලි සහ උද්ඝෝෂණ වලට පෙර බලධාරීන් සමඟ සාකච්ඡා මාර්ගයට එළැඹීම පළමුව කළ යුතුයි. එසේ නොකර මෙම පාර්ශව සුළු දේටත් පාරට බැසීමට පුරුදු වෙලා තිබෙනවා.

දේශපාලන අන්තවාදීන් සාමාන්‍ය ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කරමින් ඔවුන් පිඩාවට පත්කරමින් අයිතීන් දිනා ගැනීමට කරන අරගලයක් යැයි හදුන්වා ගැනීම විහිළුවක් මෙන්ම එය නීති විරෝධී කටයුත්තක්. මෙවැනි ක්‍රියාවන් තුලින් ප්‍රසිද්ධියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමයි සිදුවන්නේ.
පොදු මහජන ව්‍යකුලත්වයට තුඩු දෙන මෙම ජාතික සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරී හැසිරීම් පිලිබඳ පුළුල් විමර්ශනයක් කල යුතු බව මගෙ හැඟීමයි.
ආණ්ඩුව ගෙදර යවන බවට පුරසාරම් දොඩමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ කාල සිමාව අවුරුදු හතර හමාරක් බව ප්‍රකාශ වී තිබියෙදී මෙවැනි ක්‍රියා මෙහෙය වන පිරිස කරන්නේ, ආණ්ඩුව අස්ථාවර කිරීමේ රාජ්‍ය නොවන සංවිධාන වල කුමන්ත්‍රණ සඳහා සහයෝගය දීමක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

scroll to top