අමුතු බණ දෙසන නූතන පැවිද්දෝ

නියම බණට වඩා අමුතු බණ දෙසන ගිහි, පැවිද්දන් නූතන සමාජයතුළ සුබලය. ඇතැම් බණ විහිළු තහළු නරනාටක සිහිගන්වයි.උතුම් බුදුබණ එකකි. කාලීන බණ තවෙකකි. උතුම් බුදුබණ අකාලිකය. කාලික බණ එබැවින් උතුම්බුදු බණ නොවේ. බුදුරදුන් අකාලික දහමක් දේශනාකළා මිසක කාලික දහමක් අප අසා ඇති ලෙසට දේශනා කර නොමැති බැවිනි. යහමින් මුදල් ලැබේ නම් බුදුරදුන් විකුණාගෙන කෑමට වුවද ඇතැම් පැවිද්දන් නොපැකිලෙනබව මෙබඳු වාණිජ කාලීන බණ යහමින් විකිණීමතුළින් පැහැදිලි වේ. එක පැවිද්දෙක් බුදුන් උපන්බිම මේ ශ්‍රී ලංකාවබවට පොතක් ප්‍රකාශ කරවීය. මුලදී එයද උණුකැවුම් විලස විකිණින. නමුදු පසුව එම පොතේ අන්තර්ගත සාවද්‍ය කරුණු නිසා එය තහනම් විය. නමුදු සමාජ ගතවූ වැරදි කරුණු  බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති ඇතැම් අය තවමත් විශ්වාස කරති.

ධර්මය දේශනා කිරීම ධර්ම දානයකි. ධර්ම දානය පුරාණයේ සිට ක්‍රම තුනක් මගින් සිදු විය. ඒ මෙසේ ය. 1. ධර්මය දේශනා කිරීම – අද දේශකයාණන් කෙනකු විසින් පිරිසකට දහම් දෙසීම හෙවත් බණ කීම කෙරෙන ආකාරයට අතීතයේ දී ද එසේම සිදු විය. 2. දහම් පොත් කියවීම දහම් පොත් කියවන ලද්දේ පිරිසකට ඇසීම සඳහා ය. පුරාණයේදී අකුරු නොදත් අය බොහෝ වූහ. එම පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා අකුරු දන්නා කෙනෙකු විසින් ජාතක පොත, වෙස්සන්තර ජාතකය වැනි පොත් කියවන ලදී. 3. දහම් පොත් ලිවීම දහම් පොත් ලිවීම ද වටිනා ධර්ම දානයකි. දේශනා කරන ධර්මයට වඩා මෙය වැඩි කාලයක් පවතී. එසේ ලියන ලද දහම් පොත්වලට අතීතයේ දී මහත් ගෞරවයක් හිමි විය. පූජාවලිය රචනා කර එය ඇතකු පිටින් පෙරහරකින් වැඩම කර වූ බව ප්‍රකටය.

භික්ෂූන් වහන්සේ ගිහි පිරිසට දහම් දෙසූහ. එය හුදෙක් තමන් ලබන ප්‍රත්‍ය ආදිය හෝ ලාභ ප්‍රශංසා හෝ වෙනුවෙන් කරනු ලබන්නක් නොවේ. ධර්ම දේශනා විවිධ අරමුණු නිමිති කරගෙනද පවත්වනු ලැබේ. මඟුල් බණ- උපසම්පදාවට පත් භික්ෂූන් වහන්සේ නමක් විසින් පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනය ‘මගුල් බණ’ නමින් හැඳින්වෙයි. මතක බණ – පාංශූකූල චීවරය පූජා කරන අවස්ථාවේදී සහ සත් දින, තුන් මස මියගිය අය වෙනුවෙන් ඔවුන්ට පින්දීමට කරන ධර්ම දේශනා ය. කඨින බණ – වස් කාලයේදී විහාරස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේට කඨින චීවරය පූජා කිරීම වෙනුවන් පවත්වනු ලබන ධර්ම දේශනයයි. දහම් දෙසීම හෙවත් බණ කීම බෞද්ධ ධර්ම සංනිවේදන පිළිවෙතයි. මෙයින් සියලු තරාතිරමේ අයට ධර්ම අවබෝධය ලැබිය හැකි ය. තමන් නොදන්නා කරුණු ධර්ම ශ්‍රවණය කිරීමෙන් දැන ගැනීමට පුළුවන. සමාජයේ විවිධ ගැටලු වලට උපදෙස් ධර්මයෙන් ලද හැකිය. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලෞකික ජීවිතය හැඩ ගැසෙනවා පමණක් නොව විමුක්ති මාර්ගය ද උදා කර ගැනීමට හැකිය. පුරාණයේ භික්ෂූන් වහන්සේ පමණක් නොව සමහර රජවරුද ධර්ම දේශනා පැවැත්වූහ. එසේ කරන ලද්දේ ධර්ම දේශනා පැවැත්වීමෙන් මහත් පුණ්‍ය සම්භාරයක් ලබා ගත හැකි බැවිනි. පස්වන අග්බෝ රජතුමා රටවැසියන්ට ලොවුතුරු සැප ලබාදෙනු සඳහා දහම් දෙසූ බව මහාවංශයෙහි සඳහන් වෙයි.

හෙතෙම ලංකාද්වීප වාසී ජනයන් සමග පෙහෙවස් වෙසේ. ලෝකෝත්තර සැප දෙනු පිණිස ඔවුන්ට ධර්මය ද දේශනා කරේ. (මහාවංශය, 48 වෙනි පරිච්ඡේදය, 50 පිටුව, හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම, කොළඹ 1946 ) ධර්ම දේශනාවකට පෙර එම ස්ථානය පිරිසුදු කර ගොක් කොළ රැහැන් ඇද ආරුක්කුවකින් සැරසීම සාමාන්‍ය පිළිවෙතයි. ධර්ම දේශනාව පවත්වන ස්ථානයේ උඩු වියනක් බැඳීම, දේශකයාණන් වහන්සේට මෙන්ම ධර්මයට සිදු කරන මහත් ගෞරවයකි. ධර්මාසනය උස් අසුනක් විය යුතු ය. ඒ මත සුදු ඇතිරිල්ලක් එලනු ලැබේ. පුරාණ විහාරස්ථානවල ධර්මශාලාවල ඒ සඳහාම පිළියෙළ කරන ලද ධර්මාසන තිබිණි. ධර්මාසනය අසල ද කුඩා අසුනක් තබනු ලැබේ. එය මත සුදු රෙද්දක් අතුරා – එහි පැන් වීදුරුවක් තැබිය යුතු ය. එම පැන් දේශකයාණන් වහන්සේට අවශ්‍ය අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ය.

පුරාණ කාලයේ දී දේශකයාණන් වහන්සේ ශබ්ද පූජා සහිතව ධර්මාසනය කරා වැඩම කරවන ලදී. උන්වහන්සේ පා දෝවනය කිරීමෙන් පිළිගැනීම, බොදු පිළිවෙතයි. එසේ වැඩමකළ දේශකයාණන් වහන්සේට අවශ්‍ය නම් විමසා ගිලන් පස පූජාවක්ද කරනු ලැබේ. ධර්මාසනයෙහි වැඩ හිඳින දේශකයාණන් වහන්සේ, පැමිණ සිටින පිරිස සාධුකාරයෙන් පිළිගනිති. දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවට පෙර රැස්ව සිටින පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා සාදුකාර පවත්වා සූදානම් වන ලෙස දන්වති. මෙහිදී ධර්මාසනයට සමීපව උපාසක මහතෙක් ද වාඩි වෙයි. ධර්ම දේශනය බෙහෝ විට සාකච්ඡා මාර්ගයෙන් ද පැවැත්වෙයි. එවැනි අවස්ථාවලදී දේශකයාණන් වහන්සේට පිළිවදන් දීම ඔහුගේ සිරිතයි. දේශනයේ සුදුසු අවස්ථාවල දී ඒ උපාසක තැන ‘එහෙයි’ ‘එහෙමයි ස්වාමීන් වහන්ස’ යනාදී වශයෙන් පිළිවදන් දෙයි. දේශනාවක සාකච්ඡාමය අවස්ථාවක දී ස්වාමීන් වහන්සේට මෙසේ පිළිවදන් දීම, ධර්ම දේශනයට මහත් රුකුලකි. එසේම බණ අසන පිරිසගේ විශේෂ අවධානය ද ධර්ම දේශනයට යොමු වෙයි. මෙම පිළිවත අද තවමත් ගම්බද පළාත්වල පවතී. එම පැරැණි පිළිවෙත ආරක්ෂා කර ගැනීමට වර්තමානයේ සිටින හැම දෙනාම අධිෂ්ඨාන කර ගත යුතුය. ධර්මාසනයේ වැඩහිඳින දේශකයාණන් වහන්සේ පළමුව නමස්කාරය කීමට දන්වති. එයින් පසුව පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටවනු ලැබේ. ඊළඟට දේශකයාණන් වහන්සේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසීම සඳහා සියලු සක්වල දෙවියන්ට ආරාධනා කරති. ඒ මෙසේ ය.

‘සමන්තා චක්කවාලේසු – අත්‍රාගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුණිරාජස්ස – සුනත්තු සග්ග මොක්ඛදං යනුවෙනි. (බුදුරජාණන් විසින් දේශනා කරන ලද ධර්මය ඇසීම සඳහා සියලු සක්වල දෙවියෝ මෙහි පැමිණෙත්වා! යනු, එහි සාමාන්‍ය අදහස ය ) එයින් පසුව දේශකයාණන් වහන්සේ කාල ඝෝෂණය පවත්වති. ‘ධම්මස්සවණ කාලෝ – අයං භදන්තා’ යනුවෙන් එම පාඨය තෙවරක් දේශනා කරති.( ‘පින්වත්නි, මෙය දහම් ඇසීමට කාලයයි, යනු එහි අදහස ය) ඊළඟට දේශකයාණන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ යන පාඨය ද තෙවරක් ප්‍රකාශ කරති. මෙහිදී ශ්‍රාවක පිරිස සාධුකාර පවත්වති. ඒ සමඟ ඉදිරිපත් කරන්නේ දේශනාවට අදාළ ධර්ම පාඨයයි. මෙය පාලි ගාථාවකි. ගාථා ධර්මයෙන් පසුව, පිරිස ධර්ම ශ්‍රවණයට සූදානම් කිරීම සඳහා කෙටි අනුශාසනාවක් දේශනා කරති.

‘සුනාථ, ධාරෙථ, චරාථ ධම්මෙ’ යනුවෙන් ධර්මය හොඳින් අසා – එය සිතෙහි ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන්න’ යන අවවාදය, පිරිසට මතක් කර දෙති. ධර්මය දේශනා කිරීමේ අරමුණ ද පිරිස ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය ද මෙහි දී සිහිපත් කරනු ලැබේ. ඊළඟට නැවත වතාවක් දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ මාතෘකා පාඨය දේශනා කරති. මාතෘකාවට අදාළ නිදාන කතාව දක්වා ආදර්ශවත් කරුණු ජීවිතයට අදාළ කරගන්නා ආකාරයද පැහැදිලි කරති. ධර්ම දේශනාව රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා ඒ අතරතුර රසවත් කතා පුවත් ද දක්වති. ධර්ම දේශනාව අවසානයේදී එහි සාරාංශය ඉදිරිපත් කරනු ලැබේ. ‘සමෝධානය’ ‘පූර්වාපර සන්ධි ගැලපීම’ යනුවෙන් ද එය හැඳින්වෙයි. නැවත දේශනාවේ අරමුණ මතක් කර දෙන දේශකයාණන් වහන්සේ ඊට සම්බන්ධ වූ අයට සංවිධානය කළ අයට, ධර්ම ශ්‍රවණය කළ අයට සහ මියගිය ඥාතීන්ට පින් අනුමීදන් කරති. අවසානයේදී සියලු දෙනාට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරති. අනතුරුව දෙවියන්ට පින්අනුමෝදන් කරති.

පුණ්‍යානු මෝදනය – දෙවියන්ට පින්දීම නම් එත්තාවතාච අම්හෙහි සබ්බතං පුඤ්ඤ සම්පදං සබ්බෙ දේවානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙහි තුන්වන පාඨයේ ‘දේවානු’ වෙනුවට – දෙවන වර කියැවීමේදී ‘භූතානු’ යනුවෙන් ද තෙවන වර කියැවීමේදී ‘සත්ථානු’ යනුවෙන් ද යොදා කිව යුතු ය. ‘අප විසින් රැස් කරන ලද මේ පුණ්‍ය සම්පත්තිය සියලු දෙවියී ද, භූතයෝද, සියලු සත්වයෝ ද අනුමෝදන් වෙත්වා සියලු සම්පත් සිද්ධ කර දෙත්වා! යනු එහි සාමාන්‍ය අදහස ය. ඤාතීන්ට පින්දීම නම් ඉදං මේ ඤාතීනං හෝතු – සුඛිතා හොන්තු ඤාතියෝ යැයි මෙම  පාඨය තෙවරක් ප්‍රකාශ කරති. මේ පින් මියගිය ඥාතීන්ට ලැබේවා! ඒ නෑයෝ සුපවත් වෙත්වා! දහම් දෙසීම නැතහොත් බණ කීම, භික්ෂුන් වහන්සේ සතු කාර්යයකි. ධර්ම ශ්‍රවණය, දායක දායිකාවන් සතු කාර්යයකි. දහම් දෙසීමෙන් ධර්ම දේශකයාණන් වහන්සේට ධර්ම දානයේ පින හිමි වෙයි. ධර්ම ශ්‍රවණය කරන පිරිසට බණ ඇසීමේ පුණ්‍ය ඵලය හිමි වෙයි. ධර්ම ශ්‍රවණය සඳහා ධර්ම ශාලාවට හෝ එම ස්ථානයට පැමිණෙන පින්වතුන්, හිස්වැසුම්, පාවහන් ඉවත්කර, ඊට සහභාගි විය යුතු ය. එය ධර්මයට කරන ගෞරවය යි. බණ අසන පිරිස පැදුරු හෝ යම් ඇතිරිල්ලක් එලාගෙන බිම වාඩිවිය යුතු ය. ධර්ම දේශනාව ආරම්භ කළ පසු ස්ථානයෙන් නැගිට යෑම, නැවත පැමිණීම, කථා බහ කිරීම ආදිය ධර්ම දේශනයට බාධාවකි.

බණ ඇසීම ආරම්භයේ සිට අවසානය දක්වා කල යුතු ය. අතර මඟදී ධර්ම ශ්‍රවණය ඇරැඹීම නියම බණ ඇසීමක් නොවේ. එයින් සිදුවන්නේ දේශනාවේ වැදගත් කරුණු මඟ හැරී යෑම යි. ධර්ම ශ්‍රවණය පුරාණයේ සිට පැවත එන යහපත් චාරිත්‍රයක් බව අපි දනිමු. ධර්ම ශ්‍රවණය පස්වන සියවසේ දී බහුලව සිදු වූ ජනපි‍්‍රය පිළිවෙතක් වූ බව පාහියන් භික්ෂූන් වහන්සේ ගේ වාර්තාවේ සඳහන් වෙයි. එකල ධර්ම ශ්‍රවණය සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ද ධර්ම ශලා ඉදිකර තිබිණි. ඒවායේ පැවැත් වූ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා ඉතා දුර පළාත්වල සිට පවා ගිහියන් පැමිණි අතර එපමණක් නොව භික්ෂූන් වහන්සේ ද වැඩම කළ බව සඳහන් වෙයි. මෙයින් අපට පැහැදිලි වන්නේ ධර්ම ශ්‍රවණය සඳහා සිව්වනත් පිරිසම සහභාගි වී ඇති බව යි. වර්තමානයේ ද ධර්ම ශ්‍රවණයට භික්ෂූන් වහන්සේ කිහිප නමක් හෝ සහභාගි වන්නේ නම් එය ගිහි පිරිස ගේ සිත් පහදවන්නකි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී රාත්‍රී පහන්වන තුරුම ධර්ම දේශනා පැවැත්වූ බව සඳහන් වෙයි. එම සිරිත ලංකාවේද පැවතිණි. ධර්ම ශ්‍රවණය සඳහා පෙර රජවරු ද සහභාගි වූහ. සද්ධාතිස්ස රජතුමා මිහින්තලයේදී සිට ගෙනම කාලාම සූත්‍රයට ඇහුම්කන් දුන් බව සඳහන් වෙයි.

දෙවන දාඨෝපතිස්ස රජතුමා පොහොය දිනවල දී සිල් සමාදන්ව ධර්මය දේශනා කළ බව මහාවංශයේ දැක්වෙයි. ‘මහාපාලියෙහි පිළිසහිත දී බත් හා කිරි ද, බත් ද දිනි. බණ ඇසී. පෙහෙවස් විසී. සියලු පුද කරවමින් දහම් දෙස්වමින් මෙ ඇ පිනින් තමා යහපත්ව කළේ ය.’(මහා වංශය 2 කොටස, 40වන පිටුව, හික්කඩුවේ සුමංගල හිමි) ධර්ම සාකච්ඡාව මංගල කරුණක් බව මහා මංගල සූත්‍රයේදී සඳහන් වෙයි. ‘කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං’ධර්ම දේශනාව අවසානයේ දී ශ්‍රාවක පිරිස, දේශකයාණන් වහන්සේට පිරිකර පූජාවක් කරති. ඊට පෙර පිරිස ලවා එම පිරිකර අත ගස්වනු ලැබේ. පිරිකර භාරගත් දේශකයාණන් වහන්සේ, පිරිකර පූජාවේ ආනිශංස දක්වා පින් අනුමෝදන් කරති. අවසානයේදී දේශකයාණන් වහන්සේ විහාරස්ථානයට වැඩම කිරීමට සූදානම් වෙති. මෙහිදී වෙනත් කෙනෙකු විසින් පූජා භාණ්ඩ රැගෙන උන්වහන්සේ පසුපස ගමන් කරති. එය විහාරස්ථානයට ගොනගොස් භාරදීම, බොදු පිළිවෙත යි. නැතහොත් දේශකයාණන් වහන්සේ වැඩම කළ වාහනය තුළ තැබීම ද කරති. නිවසක නම් ධර්ම දේශනය අවසානයේ දී පැමිණි පිරිසට ද සංග්‍රහ කිරීම සිරිතකි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහ අටදහසක්‌ ඉක්‌මවා ගිය සූත්‍ර දේශනා අතුරෙන් ලෝකාවබෝධ සූත්‍රය විශේෂ සූත්‍ර දේශනාවකි. තථාගතයන් වහන්සේ එහිදී දේශනා කරනු ලබන්නේ
යඤ්ච භික්‌ඛවේ රත්තිං තථාගතො අනුත්තරං සම්මා සම්බෝධිං අභිසංභූඡ්ජති. යංච රත්තිං අනුපාදිසේසාය නිබ්බාන ධාතුයං පරිනිබ්බායන්ති. ඒතස්‌මිං අන්තරේ භාසති, ලපතී, නිද්දීසතී සබ්බං තං තථේව හෝති. නෝ අඤ්ඤතා තස්‌මා තථාගතෝති වුච්චති’ යනුවෙනි. පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්‌ද, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක්‌ද,ඒ අතර කාලය තුළදී තථාගතයන් වහන්සේ යමක්‌ ප්‍රකාශ කරන්නේද, පනවන්නේද, නිර්දේශ කරන්නේද, ඒ සියලු දෙය ඒ අයුරින්ම වන බවත්, වෙනත් අයුරකින් සිදු නොවන බවත්, ඒ නිසා ‘තථාගත යෑයි කියනු ලබන බවයි. ධර්මයේ එසේ සඳහන් වුවද වර්තමාන ඇතැම් බෞද්ධ පිරිස මෙකී බුදු වදනට පිටුපා සසරින් මිදීමට යෑයි කියා දන්දෙති. සිල්ආරක්‌ෂා කරති. භාවනා කරති. පුද පූජා කරති. ධර්මය ශ්‍රවනය කරති. තථාගත දේශනාවට අනුව මහා සතිපට්‌ඨාන සූත්‍රයෙන් මග හෙළිවන්නේ සත්වයාගේ විසුද්ධිය පිණිසත් පිරිසිදුවීම පිණිසත්, ශෝක පරිදේව ඉක්‌මවීමටත්, කායික මානසික දුක්‌ දොම්නස්‌, අතුරුදන් කිරීමටත්, නිවන් මග අවබෝධයටත් ඒකායන මාර්ගය සතර සතිපට්‌ඨානය වැඩීම කළ යුතු බවයි.එහෙත් වර්තමාන බොදුනුවන් එවන් දහමකට යොමුවී බුද්ධ දේශනාවට, බුද්ධ මතයට යොමුවී ඇත්දැයි සැක සහිතය. ඊට හේතුව ශ්‍රද්ධාව වනගත කොට ප්‍රඥව පසෙක ලා භක්‌තිය හිසමත තබා නිවන් මග සෙවීමයි. ශ්‍රද්ධාව වෙනුවට භක්‌තියද, ප්‍රඥව වෙනුවට මෝහයද සිත් තුළ උපදවා දහම් මඟ සෙවීමයි. අන්ධකාරයේ අතගත ගෑමයි. එයට කදිම උදාහරණයක්‌ නම් අනාගත භය සූත්‍රයයි. තථාගත දහමින් අප්‍රකාශිත, තථාගත දහම අනුමත නොකරන කාව්‍යමය බණ හෙවත්, කවි බණ කීමයි. එම සූත්‍රයට අනුව බුදු සසුන විනාශවීමේ ප්‍රධාන කරුණු පහෙන් සිව්වන කරුණ වන කවියෙන් බණ කීමයි. ඊටම නාට්‍යානුසාරයෙන්, චිත්‍රමගින් හා වෙනත් ක්‍රම උපයෝගී කරගෙන ධර්මය දේශනා කිරීමෙන් අනාගතයේ ශාසනය විනාශ වනවා මෙන්ම කවියෙන් බණ කීමෙන් සිදුවන විපාක පහක්‌ පිළිබඳවද එම විපාක විඳීමට සිදුවන බවත් විනය පිටකයේ කුද්දක චත්තුක්‌කන්ධයේදී දේශනා කරනු ලබයි.

එහෙත් අද දවසේ මෙම මනස්‌කාන්ත බුදු දහමින් බෞද්ධ ජනයා මෝහයෙන් මුලාවී ද්වේෂයෙන් අගපැමිණ සිටී.ඉන් මිදී නානාවිධ පුද පූජාකිරීමටත් අකාලික දහම කාලීන ධර්මයක්‌ බවට පෙරලා කවි බණ දේශනා ආදියට මුල් තැන දීමටත්, ඒවා ශ්‍රවනය කිරීමටත් කටයුතු කරනඅතර අනාගත භය සූත්‍රය නොදත්, විනය පිටකය සූත්‍ර පිටකය පරිහරණය නොකරන ඇතැම් දේශක උතුමන් කවියෙන් බණ කීම හා ඒවා සංයුක්‌ත තැටි කැසට්‌ පටි ආදියඋපයෝගී කරගෙන ආර්ථික වාසි ලැබීමට කටයුතු කරනු ලබයි. එහෙත් එහි බරපතළ කම වන්නේ ඉහතකී සතර සතිපට්‌ඨානය, අරි අටමඟ ආදිය රඳවන තැනලා බුදු දහමින් අප්‍රකාශිත කවිබණ ආදිය පළමු තැනට ගෙන ඒමටත්, අඳබාල ජනයා ඊට අවනත කර ගැනීමයි.තථාගත දහමට අනුව කවියෙන් බණ කීමෙන් ඇතිවන පළමු විපාකය වන්නේ තම දේශනය පිsබඳව දේශකයා උඩඟු වීමයි. හඬ පිළිබඳව, පබැඳුම පිළිබඳ, උච්චාරණ පිළිබඳ, දේශනා ශෛලිය පිළිබඳ, අර්ථය පිළිබඳව, කාලය රිද්මය පිළිබඳව, උඩඟු වීමයි. එසේ උඩඟුවීමෙන් තමා පිළිබඳව, මමත්වය ඇතිකරගෙන මම, මගේ හඬ මගේ හැකියාව පිළිබඳව බාහිර අයගෙන් පවා අසා උඩඟුවීම, මාන්නයක්‌ ඇතිකර ගැනීමක්‌ද ඇතිවන අවස්‌ථා එමටය. එනිසා අන්‍යයන් අභිබවා යැමටත්, විවේචනයටත් අනෙකාගේ අඩුපාඩුසෙවීමටත් පෙළඹෙන අවස්‌ථා ඇතිබව කිව යුතුය. එසේ උඩඟුවීම මාන්නය දක්‌වාම පරිවර්තනය වන බව දේශකයා නොදනී. එකී නොදැනීම නිසාම අකුසල විපාකයන් ගෙන දෙනු ලබයි.දෙවන කරුණ වන්නේ අසන්නා තුළ ආශාව හා ලෝභය ඉපදවීමයි. හුදෙක්‌ මේ කවි බණ සඳහා යොදාගනු ලබන්නේ ජාතක කතාවක්‌ හෝ සමාජයේ පුද්ගලාබද්ධ කථාවකි. අඹුසැමි, නැන්දා-ලේලි, දූ-දරු ආදී චරිතවලින් තෝරාගත් චරිතයි. එසේ නැතිව බුද්ධ මතයක්‌ කවියෙන් කීමට බැරි බව දන්නා දේශකතුමන්ලා තමාට රුචි පරිදි, හැකියාවට අනුව, පබැඳුමට පහසු දේ තෝරා අනිත්‍ය දහමක්‌ නිත්‍ය බවටත්, දුක්‌ වූ දෙයක්‌ සැප ගෙන දෙයක්‌ බවත්, අනාත්ම දෙය ආත්ම දෙයක්‌ බවටත් කවියෙන් දේශනා කරයි. ඒ සංස්‌ද්ධි කෙරේ ශ්‍රාවකයා දැහැන්ගතවීමක්‌ කරයි. එවිට අසන්නා තුළ ලෝභයත් ආශාවත් උපදී. එය දෙවන විපාක කර්මයයි.

තෙවන කර්මය වන්නේ දේශක ශ්‍රාවක සමාධිය බිඳී යාමයි. තථාගත දහම අට්‌ඨකත්වා අවධානය යොමුකරගෙන මානසිකත්වා මනස පිහිටුවා ගෙන සබ්බා ෙච්තසෝ සටන්නාහරිත්වා – මුළුමනින්ම සිත පිහිටුවාගෙන, ඕහිත ශෝකෝ හොඳින් කන් යොමාගෙන, ධම්මං සුතාති – ධර්මය ඇසිය යුතුය. එහෙත් කවියෙන් ධර්මය දේශනා කරන විට ශ්‍රාවකයාගේ චිත්ත සමාධිය බිඳී යයි. සිත විසිරීයාමක්‌, විපරීත වීමක්‌ නොසන්සුන් බවක්‌ ඇතිවෙයි. මානසික ඒකාග්‍රතාවය බිඳී යයි. සිව්වන කරුණ වන්නේ දේශනා ශෛලි වාග් මාලාව, හඬ, පබැඳුම, එළිසමය, එළිවැට, ශබ්ද රසය, අර්ථ රසය ආදී දේ පිළිබඳ ඇති වන අඩුපාඩු පිළිබඳව දේශක උතුමන් කෙරේ ද්වේෂ සහගතව කතා කිරීමයි. දොස්‌ පැවරීමයි. මේ සිව්වැනි විපාක යයි. අවසන් විපාකය වන්නේ ශ්‍රාවකයා නොමග යාමයි. මේ කරුණ අද මේ බුද්ධ ශාසනය තුළ මාර්ගපලලාභීන්, සිල්වත් උතුමන් බිහිවීම අඩුවීමට බලපාන ප්‍රධාන හේතුවයි. බුද්ධ මතය වෙනුවට බුද්ධ ධර්මය, බුද්ධ දේශනාව වෙනුවට ඒ වාගේ දෙයක්‌ දේශනා කිරීමයි. හුදෙක්‌ එය තමාගේ අදහස්‌ බව පෙනේ. යා යුතු මඟ තියා වෙනත් මගක යාමට දේශක උතුමන් බොහෝ දෙනෙක්‌ ධර්මය විකෘති කර දේශනා කිරීම මහත් අඩුපාඩුවකි. කාව්‍යමය ධර්ම දේශනාවකදී නිර්මල තථාගත දහම පිළිබඳව හා මූලික බුද්ධ දේශනා වන පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ටානය, පංච නීවරණ, දස සංයෝජන ආදිය ගැන කරුණු ගොනු කිරීම, පදමාලා ගෙතීම අසීරු බව දත් දේශක උතුමන් ආර්ථික ලාභය, ප්‍රසිද්ධිය, ලාබ සත්කාර ආදිය උදෙසා මෙවන් බුද්ධ මතයට විරුද්ධ දේ ඉදිරිපත් කිරීමට සමත්වී ඇත. එසේම ඒ බව ශ්‍රාවක පිරිස අවබෝධ කරගන්නා තෙක්‌ මේ අධාර්මික ප්‍රචාරවලට හසුවීම වළක්‌වනු බැරිය. එසේ අවබෝධ වනතුරු මේ දේශන උතුමන්ගේ මෙම ව්‍යාපාරයට ආයුෂ ඇත. පැවැත්මක්‌ ඇත. නිර්මල බුදුදහම වනගත වනු ඇත. එබැවින් ශ්‍රාවක පිරිස මේ කරුණු ප්‍රඥවෙන් අවබෝධ කරගනිත්වා. ධර්ම ඥනය පහළ වෙත්වා.

මෙකල බොහෝ දෙනෙකු තුළ නිවැරදි ධර්මබෝධයක් නැත. බොහෝ අය ධර්මාවබෝධය සේ වටහා ගෙන ඇත්තේ මතුපිට ඔපයයි. චාම්, අල්පේච්ඡ, සරළ බව තුළ ධර්මාවබෝධයේ ගැඹුරු හරය ගැබ්ව තිබේ. නූතනයේදී වඩාත් සරුව පිත්තල වාණිජකරණයට යටවූ ජන ජීවිතය තුළ ඉහතකී ගුණදම් වේගවත් සේ පළායමින් තිබේ. තමන් ගත කරන එදිනෙදා දිවිපෙවෙත හැකිතාක් සරළ, චාම් කරගැනීම වෙනුවට තව තවත් සංකීර්ණ සරුවපිත්තල බවට පත් කර ගැනීම තුළ මානසික පීඩනය අධිකය. අධිමානසික පීඩනයම අධිරුධිර පීඩනයටද,මධුමේහය ආදී විවිධ රෝගාබාධවලට ද හේතුවේ. කෘතිම ආහාරපාන,සංකීර්ණ දිවි පෙවෙත ආදී දේ නිසා නූතන සමාජ පරිසරය මනුෂ්‍ය වාසයකට අයෝග්‍යබවකට පරිවර්තනය වෙමින් පවතියි.හැකිතාක් කාමය පසුපස ලුහුබඳින්නා ධර්මාවබෝධය පිණිස වනගත විය යුතු බවට කල්පනා කරයි. ප්‍රතිපත්තිගරුකව සමාජයතුළ විසිය නොහැකියැයි වරදවා කල්පනා කරයි. ධර්මාවබෝධයට පත් වීම යනු සමාජයෙන් පළාගොස් වනවාසීවීම නොවේ.ජීවිතයෙන් පළා යාම ආත්ම ධෛර්යට, ශක්තියටද පටහැනිය. ජීවිතය තුළ වෙසෙමින් අටලෝ දහමේ අකම්පිතව නිරුපද්‍රිතව සමාජයට තමාගෙන වියයුතු මෙහෙය සාර්ථකව ඉටුකරලීම සැබෑ ධර්මාවබෝධයට පත් තැනැත්තාගේ කාර්යභාරයයි. ප්‍රායෝගික ජීවිතයෙන් පළායාම ආධ්‍යාත්මික සංවර්ධනයට මඟක් නොවේ.එසේ පළායාම තුළ ඇත්තේ පරාජිත බවයි. පරාජිතයෙකුට කෙදිනකවත් ජයග්‍රාහකයෙකු විය හැකි නොවේ. එබඳු තැනැත්තෙකු අධ්‍යාත්මික සටනකදී කෙසේවත් ජයග්‍රාහකයෙකු විය නොහැකිය. මන්ද ආධ්‍යාත්මික ජයග්‍රහකයෙකුවීම ලෞකික ජයග්‍රහකයෙකු වීමට වඩා ඉතා අසීරු බැවිනි.සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුද්ධත්වය යන උතුම්ම ආධ්‍යාත්මික ජයග්‍රහණය කරාගන්නාවූ බෝධිසත්වයෙකුට ආත්මශක්තිය,ආත්මධෛර්ය ඉතා අවශ්‍ය ගුණාංග දෙකකි. පැරදී පළායන්නෙකුට මේ උතුම් ගුණ කවදාවත් අත්පත්කරගත නොහැකිය.

ධර්මාවබෝධයට පත්වීම යනු සැබෑ ජීවිතයෙන් පළායාමක්ද නොවේ.සැබෑ ජීවිතයතුළ විද්‍යමාන අට ලෝ දහමට අකම්පිතව මුහුණදිය හැකි මානසික ශක්තියක් තමාගේ චිත්ත අභ්‍යන්තර තුළ ගොඩනඟා ගැනීමයි.යමෙකුට මේ කලබලකාරී පසුබිම තුළ රැඳිසිටිමින්ම එසේ කිරීමේ හැකියාව තිබේ.තවත්අයට එසේ කිරීමට නම් පරිසරය වෙනස්කළ යුතුය.කලබලකාරී වාතාවරණක සිට නිස්කලංක පරිසරයකට මාරුවිය යුතුය.නමුදු ප්‍රායෝගිකව වඩාත් ගැලපෙනුයේ මතුපිට පරිසරය වෙනස් කිරීමට වඩා කලබල පරිසරයක සිටම තමාගේ සිත නිස්කලංකබවට පත් කරගන්නේ කෙසේදැයි වටහාගැනීමයි.නුතනයේ අඩුවැඩි වශයෙන් සමාජ ප්‍රජාව ගතකරනුයේ ඉතා කාර්යබහුල දිවි පෙවෙතකි.ටික දිනකට හෝ එයින් ඉවත්ව සිටීමට අපහසුතරමට කාර්යබහුලත්වය,සංකීර්ණත්වය සමඟ හැම කෙනෙකුම බද්ධවී ඇත.ඒ සමාජ පරිසරයක දිවිගෙවන පුද්ගලයන්ට නිස්කලංක පරිසරයක් හමුවනතුරු මානසික සුවය ඇතිකර ගැනීම පමාකිරීමට උපදෙස් දීමට වඩා ලැබී ඇති සුලු මොහොත වුවද අර්ථවත්ව ප්‍රතිඵලදායී ලෙස තම සිත හික්මවා ගැනීමට පෙළඹවීම වැදගත්ය.වනවාසීව බවුන් වැඩීම හැමදෙනෙකුටම කළ නොහැකිය.

මානව සිත ඉක්මනින් කළබලකාරී බවට පමුණුවයි.මානය නම් තම කය,මනස කෙරෙහි බැඳීමක් ඇති කර ගැනීමයි.කය හේතුප්‍රත්‍ය නිසා ඇතිව නැතිව යන රූපස්කන්ධයයි.වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ යන ගොඩවල් සතර සිතයි. පුද්ගලයා යනු මේ රූපස්කන්ධ හා නාමස්කන්ධවල සමවායයි.මම,මගේය යනුවෙන් ග්‍රහණය කරගනුයේ මේ රූප හා නාම ස්කන්ධ පහයි.මෙය පංචස්කන්ධ නම්වේ.මම වෙමැයි කෙනෙකු ග්‍රහණය කරගනුයේ සිරුර හා චිත්ත ක්‍රියාකාරීවය මඟින් ලබාගන්නා සන්නිවේදනයි.මෙසේ සන්නිවේදනයවීමේදී චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, ඵොට්ඨබ්බ (ස්පර්ශ),මනෝ ආදී විඤ්ඤාණ හයක් ඇති වේ.මේ ෂඩ් විඤ්ඤාණ ධාතු අවිද්‍යාවෙන් ග්‍රහණය කරගැනීම නිසා මම,මගේ ආදී දෘෂ්ටි උපදියි.මෙයට සක්කායදිට්ඨි යයි නමකි.සක්කායදිට්ඨි ප්‍රහාණය සඳහා නාම,රූප ඇතිවීම හා නැතිවීම පිළිබඳව හේතු ප්‍රත්‍ය ත්‍රිලක්ෂණ ධර්මතාව අනුව සිහි නුවණින් විමර්ශනය කිරීම හෙවත් විදර්ශනා භාවනා වැඩියයුතුය. එසේ නුවණ හා සිහිය දියුණු තියුණුවීම අනුව ක්‍රමයෙන් සිහිය හා ප්‍රඥාව වර්ධනය වී නාමරූප ධර්මතා මිසක මම,මාගේ යනුවෙන් යමක් නැතැයි අවබෝධ කරගැනීම දර්ශන ඥාණයෙන් සක්කායදිට්ඨිය ප්‍රහාණය කිරීමයි.නමුදු මෙසේ අවබෝධයට පත්වීමට යමෙකුට දෙනෙත වසාගෙන භාවනා කළයුතු නැත.අවබෝධයෙන් යුතුව ධර්මසාකච්ඡාවක නිරතවීමේදී,තවත් කෙනෙකුගේ දේශනයකට සවන්දීම තුළදී, එදිනෙකා දිවියෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකමක විදර්ශනා භාවනා මනසිකාරයෙන් නියැලී සිටීමේ දී යන ඕනෑම ආකාරයකට කෙනෙකුට ක්ෂණිකව සක්කායදිට්ඨිය ප්‍රහාණයකිරීමට අවශ්‍ය අවබෝධය ලබාගත හැකිය. බුද්ධ කාලයේදී පළාකොළ ව්‍යංජනය ලිපතබා හැඳිගාමින් විදර්ශනා මනසිකාරයෙන් එය නිරීක්ෂණය කරමින් සිටිද්දී ගින්නට එය චිටි චිටි නාදයෙන් පිපිරීම නාමරූප ධර්මතාවගේ බිඳීමට උපමා ලෙස අවබෝධව ධර්මාවබෝධයට පත්වූ උවැසියන් පවා විසූබව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්ය.

කලබලකාරීත්වය මැද දිවිගෙවන නමුදු සක්කාය දිට්ඨිය හටගැනීමට හේතුවන හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය නිවැරදිව විදර්ශනා සිහිනුවණින් විමර්ශනය කළ හැකි ගැඹුරු හා තීක්ෂණ ප්‍රඥාවෙන් සමන්විත ඇතැම් ප්‍රඥාවන්ත පුද්ගලයෝ මේ සමාජයේද සිටිති.ගිහි,පැවිදි,විවාහක,අවිවාහක,ස්ත්‍රී පුරුෂ භේදයක් ඔවුන්ට ධර්මාවබෝධය සඳහා නැත. මා දන්නා හඳුනන විශ්වවිද්‍යාලයේ සේවයකරන ඉංජිනේරු මහතෙක් හා සමඟ සිදුකළ ධර්මසාකච්ඡාවක ප්‍රතිඵල ලෙස එතුමා ඉතා නිවැරදි ලෙස සක්කායදිට්ඨිය විනිවිදදැකිය හැකි විදසුන් ප්‍රඥාව වර්ධනය කරගත්තෙකු ලෙස අවබෝධකරගත හැකිවිය.එතුමා පැවිද්දෙකු ලෙස තියුණු සැතකින් නාමරූප ධර්මතාව ඛණ්ඩනය කර ඉතා විශද ලෙස එහි ක්‍රියාකාරීත්වය විනිවිද මම, මගේය යන ආකල්ප හටගන්නා ආකාරය විග්‍රහ කිරීමට හුදු අවබෝධ ශක්තිය මත හැකියාවක් ඇතිකර ගෙන සිටියේය. බුද්ධ කාලයේදී ඡත්තපාණී උපාසක, චිත්ත ගෘහපති, ධම්මික උපාසක වැනි එබඳු පුද්ගලයන් බහුලව සමාජයේ සිටඇති බව ත්‍රිපිටකයේ සඳහන්ය.ජීවිතයේ දිගුකලක් විදර්ශනා භාවනා වඩා පළපුරුදුකම් ඇති මැදිවිය ගෙවන මට යමෙකු පොත් පත්වල ඇති දේ කටපාඩම්කර ගිරවුන් සේ වමාරන විටත් අවබෝධයෙන් යමක් වටහාගෙන පවසනවිටත් එහි ඇති වෙනස මනාව දතහැකිය. සමාජයේ බොහෝ පිරිස ගිරවුන් සේ පොත්වල ඇති දේ වමාරන්නවුන් මිසක නිවැරදි අවබෝධයක් ලැබූවන් නොවේ. ගිහියන්ට සාපෙක්ෂකව පැවිද්දන් අතර එබඳු අය බහුලය.ඒඅය පවසන ධර්මදේශනා ශ්‍රවණය කර නිවන් අවබෝධ කර ගැනීමට ද නොහැකිය. අද සමාජයේ ධර්මදේශනා, පින්කම්, ආගමික උත්සව බහුලවුවද පෙර යුගවලදී මෙන් ධර්මාවබෝධයට පත් අය නූතන සමාජයේ බිහි නොවනුයේ මේ හේතුව නිසාය.මේ හැම දෙයක්ම හරය ඉවතලා මතුපිට ඔපය කෙරෙහි පමණක් යොමුවූ දේවල්ය.

මතුපිට ඔපය බොරුසෝබනවලින් පමණක් සමන්විතය.අවමංගල චාරිත්‍රවිධිව ආදී දේවලට පමණක් සීමා වූ ආගමකින් ගැඹුරු ජීවනදර්ශන අපේක්ෂා කළනොහැකිය.ලෝකයේ ඇති ගැඹුරු ජීවනදර්ශනය ඇති එකම ආගම බුදු දහම වුවද එය අවමංගලචාරිත්‍රවිධි ආදීදේවලට පමණක්සීමාවී පැවතීම නූතනයේ දී දැකගත හැකි පරිහාණි ලක්ෂණයක් ලෙස හැඳිනගත හැකිය.භික්ෂුව පූජකයාගේ තැනට ලොප්වීමද බුදුරදුන්ගේ ඉගැන්වීම් බුද්ධාගම ලෙසට සංස්ථාපිත ආගමක්බවට පරිණාමයවීම හැඳිනගත හැකිවූ එක් ලක්ෂණයකි.බුද්ධාගම කොන්ක්‍රීට් ඉදිකිරීම් කීපයකට පමණක් ලඝුවීම මේ යුගයේ විද්‍යමාන ජනප්‍රිය බුද්ධාගමේ ලක්ෂණකි.පන්සල්වල ටයිල්,ටෙරාසෝ අතුරා සුඛෝපභෝගී, විසිතුරු කිරීමට භික්ෂූන්තුළ ඇති අධි තරඟකාරීත්වය නූතන බුද්ධාගමේ ප්‍රධානතම ලක්ෂණයක් සේ හැඳිනගත හැකිවුවද බුදුන්ගේ මූලික ඉගැන්වීම්වල අන්තර්ගත ගැඹුරු ජීවනදර්ශනයේ හරය විනාශකිරීමට එය විශාලව දායකව ඇත. සක්කායදිට්ඨිය නැතිකිරීමට මඟ කියන බුදුදහම නූතනයේ බහුලව භාවිතාවනුයේ එය තහවුරු කරලීම පිණිස බව මේ අනුව පෙනීයයි.ප්‍රතිපත්තිය හීනවූ තරමට වඩාත් විශාල දැවැන්ත අහස සිඹින උස්දාගැබ් විසල් බුදුපිළිම ආදිය සිව්මං සන්ධි අසල ඉදිවීම අධිකවී ඇත.අද ප්‍රජාව තමන්ගේ ආගමික බැතිය සෙසු අයට ප්‍රදර්ශනය කරවීම මුල්තැනට පැමිණ තිබේ.හරය ඉවතලා සෝබනය මුල්තැනට පැමිණීමට මෙය ප්‍රධාන හේතුවයි. ගිහි සමාජයට මඟ පෙන්වීමට සිටින භික්ෂුවද සිය කාර්යභාරය නිසිසේ වටහාගැනීමට නූතනයේ අසමත්ව ඇත.මිලමුදලට,ලාභසත්කාර,සම්මානවලට ඇස් ගිනිකණ වැටීම මෙයට හේතුවයි.

ශ්‍රී ලංකාවේ සම්බුදුසසුන නඟාසිටුවීම යනු බෞද්ධාලෝක මාවතේ වෙසක් පහන්කූඩු තරඟපැවැත්වීම යැයි පැවති සෑම රජයක් සේම නූතන රජයද කල්පනා කරනබවක්ද පෙනී යයි.බුද්ධශාසන අමාත්‍යාංශ අධ්‍යාපන දෙපාර්තමේන්තු, පිරිවෙන් අංශ ආදිය යම් රටකට ඇත්තේ පිරිවෙන් ගුරුපත්වීම් ලබාදීමට පමණක් නොවේ. රට වැසි ප්‍රජාවගේ ආගමික ශුභසාධන හා සදාචාර වර්ධනය සඳහා කළයුතු දේ තිබියදී නොකළයුතු දේ කළයුතු දේ බවට හඟවා ඔවුන් මුලා කරන උපදේශක පැවිද්දන්ද කල්පනා කරනුයේ බලය ඇතිකල කෙසේ හෝ තම පන්සල් ලොකු කර හදා ගැනීමට මඟහසර මිසක නිවැරදි මඟ පෙන්වීමක් සිදුකිරීමට නොවේ.කතෝලික,ඉස්ලාම් ආදී වෙනත් ආගමික සිද්ධස්ථානවලින් ප්‍රජාව වෙත සිදුවන මෙහෙය තරමට මෙහෙයක් ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථාන වලින්වත් අවම මට්ටමේ සිදු නොවන පසුබිමක අන්‍යාගම්කරණය ගැන හාස්‍යජනක නන්දෙඩවිලි නැගීම ඵලක් නැත.අවංකවම බොදුනුවෙකුට තමන්ගේ බෞද්ධකම පිළිබඳ අභිමානයක් ඇතිකරගත හැකි පසුබිමක් අද මෙහි නැත. ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සුදුස්සාට සුදුසු තැන ලබාදීමට නිසි ක්‍රමවේදයක්ද මෙහි නැත. බාහිර පෙනුමට, මතුපිට ඔපට ලැබෙන තැන අභ්‍යන්තර ගුණයට අද මෙහි නැතිබව නුතන බුදු සසුනේ පරිහානිය කදිමට ඉස්මතුකර පෙන්වයි.සක්කායදිට්ඨිය නැතිකිරීමට මඟකියන දහමතුළ සක්කාය දිට්ඨි තහවුරු කිරීමට අවැසි ක්‍රමවේද නිර්මාණය වෙමින් පවතියි.බැලු බැලූ අත දිස්වනුයේ වැරදි දේම මිසක නිවැරදි දේවල් නොවේ.අද මිනිස් ලොව ඉතාවේගවත්ව විනාශය කරා පානඟනබව පැහැදිලිව පෙනේ.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top