‘‘අපේ අධ්‍යාපන ක‍්‍රමය අනාගතයට ගැලපෙන අයුරින් ප‍්‍රායෝගික විය යුතුයි.’’ – ඇමති පාඨලී

Education.jpg

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ කි‍්‍රයාත්මක වන ‘නොකිළිටි සැමතැන නිකසළ පුරවර’ වැඩසටහන යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කොළඹ විශාඛා විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරනු ලැබූ සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ විවෘත කිරීමේ අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘2010 සිට නව අධ්‍යාපන ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එයට අපි හඳුන්වන්නේ එක්ටෙක් කියලා, එහිදී පරිගණක ආදී තාක්ෂණික උපකරණ හරහා තනියම අධ්‍යාපනය ලබන්නේ. එය අද වන විට ඉතාම ජනප‍්‍රිය වී තිබෙනවා. අන්තර් සම්බන්ධය හරහා තනි පුද්ගලයෙකුට එය ඉදිරියට ගෙන යා හැකියි. ෆේස් බුක් කි‍්‍රයාවලියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සඳහා ඇප් එකක් නිර්මාණය කර තිබෙනවා. තමන්ට අවශ්‍ය විෂයක් අන්තර්ජාලය හරහා ඉගෙන ගැනීමට. ගුරුවරු, පන්තිකාමර, විදුහල්පතිවරු, යුනිෆෝම් මොකුත් නැහැ සම්පුර්ණයෙන්ම ක්ලවුඞ් එකෙන් ජීවිතය ඉගෙන ගන්න.

වර්තමාන පාසල් අධ්‍යාපනය හඳුන්වන්නේ ෆැක්ටරි මොඩල් යනුවෙන්. එය කර්මාන්ත ශාලා ආකෘතියට අනුව සිදුවන්නක්. කාර්මාන්ත ශාලාවෙන් සිදුවන්නේ කුමක්ද යන්න විමසා බැලූවහොත් යකඩ, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය එනවා, පුහුණු/ නුපුහුණු, කළමනාකාර, දහඩිය හෙළන ශ‍්‍රමය වෙන් වෙන් වශයෙන් එනවා. අනතුරුව මේවා සම්බන්ධ විශේෂඥ දැනුමේ එකතුව මගින් නිෂ්පාදනය සිදුවෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගත හැකියි. රෙදි වෙනම රැගෙන එනවා. කපන අය වෙනම එනවා ඒ අය කරන්නේ එය පමණයි. මහණ අය, රෙදි මදින අය, බොත්තම් අල්ලන අය, සෝදන අය ඉන්නවා, ඒ ඒ අය දන්නේ තමන් සිදුකරන රාජකාරිය පමණයි. විශේෂඥ භාවය එහෙම නැත්නම් ශ‍්‍රම විභජනය. ඒ ෆැක්ටරි මොඞ්ල් එක කියලා අපි කියනවා. හෙන්රි ෆෝඞ් තමයි මේ ක‍්‍රමවේදය හඳුන්වා දුන්නේ. දැන් බැලූවහම අපේ ඉස්කෝලවල කෙරෙන්නෙත් ඒකයි. සිංහල ගුරුතුමාට සිංහල විශේෂඥ භාවයත්, ගණිත ගුරුවරයාට ඒ විශේෂඥ භාවයත් ඇරුණහම වෙන වැඩ බැහැ. ඒ වගේම අනෙක් පැත්තේන් පාසලෙන් අපේ දරුවෝ පිටවෙන කොට ඒ වගේ විශේෂඥයෝ බිහි වෙනවා. ගණිතයට දක්ෂ අය ඉංජිනේරු අංශයටත්, ජීව විද්‍යාවට දක්ෂ අය වෛද්‍යවරු වෙනවා. සිංහල භාෂාවට දක්ෂ අය සාහිත්‍යකරුවෝ ආදී වශයෙන් සමාජයේ අවශ්‍යතාවය මත ෆැක්ටරියෙන් විවිධ භාණ්ඩ අපට ලැබෙනවා වගේ, සපත්තු, ඇඟළුම්, මෝටර් රථ ලැබෙනවා වගේ සමාජයටත් අවශ්‍ය පුද්ගලයෝ පාසලෙන් ජනනය වෙනවා. මෙය තමයි ෆැක්ටරි මොඞ්ල් එක. නමුත් පින්ලන්තයේ අලූත් බොහොම සාර්ථක අධ්‍යාපන ක‍්‍රමයක් තිබෙනවා, එසේ අපේ අධ්‍යාපන ක‍්‍රමයත් ප‍්‍රායෝගික විය යුතුයි. එම ක‍්‍රමය මගින් දරුවන් උගන්වන්නේ විෂයට වඩා අපට එදිනෙදා දෛනික ජීවිතයේ හමුවෙන ගැටළු. එමගින් ඔවුනට ජීවත් වීම සඳහා අවශ්‍ය මාර්ගය පහදා දෙනවා. එය වඩාත් යතාර්ථවත්.

අදත් මේ අපි ඉගෙන ගන්න යන්නේ විෂයක් නෙමෙයි ප‍්‍රශ්නයක්. ප‍්‍රශ්නේ මොකක්ද? කසළ කළමනාකරණය. මේ ගැටළුව අපේ දෛනික ජීවිතයට ඉතාම අදාලයි. අපේ දියණිවරුන්ට කසළ කළමනාකරණය අතිශයින්ම වැදගත් විෂයක් වනවා අනාගතයේදී. අප කුඩාකාලයේ නොතිබූ වැදගත් ගැටළුවක් ඉදිරියට විත් තිබෙනවා. මෙය පළමුව ගතහොත් නාගරීකරණයේ ගැටළුවක්. අපේ මේ කසළ ලෙස හඳුන්වන බොහොමයක් දවටන. එහෙම නැත්නම් පැකේජින්. ඒ නිසා තමයි මේ ගැටළුව පැන නැගිලා තිබෙන්නේ. ඒ කාලයේ අපි ගෙනගියේ වතුර බෝතලයක් සහ කෑම පෙට්ටියක්. දැන් පොලීතීන් එහෙම නැත්නම් ලන්ච් ෂීට් පාවිච්චි කරනවා. ඉස්සර අපි භාවිත කළේ එක ලේන්සුවයි. දැන් හැමෝම සර්වියට් භාවිත කරනවා. මේ ආකාරයේ පැකේජින් නිසා කසළ අති විශාල ප‍්‍රමාණයක් ජනනය වෙනවා. ආහාර ඇරුණාම 50% ක් පමණ මේ පැකේජින් නිසා, නාගරිකරණය නිසා ආපු කසළ තමයි තිබෙන්නේ. මේවා අනාගතයේ තවත් විශාල ලෙස වැඩිවීමට නියමිතයි.

කසළ පිළිබඳව අප අමාත්‍යාංශයට වගකීමක් නොතිබුණත්, පසුගියදා ඇති වූ කසළ ගැටළුවේදී එම ගැටළුව විසඳීම සඳහා ගරු ජනාධිපතිතුමා මාවෙත භාර දුන්නා. අපි එය සතියෙන් කොළඹ නගර දකුණු ආසියාවේ පිරිසිදුම නගරය බවට පත් කළා. එම කුණුවලින් 2/3 ක් අද අපි ප‍්‍රයෝජනයට ගන්නවා. ඉදිරියේදී අපට තවත් වැදගත් වැඩසටහන් ගණනාවක් කරන්නට ඕනේ. එහිදී ඔබේ සහයෝගය අපට ඉතා අත්‍යවශ්‍යයි. ඞී.එස්. සේනානායක විද්‍යාලයේ දරුවෙක් මීතොටමුල්ල කසළ කන්දට යටවෙලා මිය ගියා. ඒ දරුවාගේ පවුලට අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවසක් ලබාදුන්නා. එහිදී විදුහල්පතිතුමා බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළා නැවත මෙවැනි අපරාධයක් වෙන්න කිසිම ඞී.එස්. දරුවෙක් ඉඩ තියන්නේ නැහැ. අප විදුහලේ කසළ කොළඹ නගර සභාවට භාර දෙන්නෙ නැහැ. අප විදුහල විසින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනවා යයි කියලා. එය හොඳ ආදර්ශයක්. අපි විශාඛා විද්‍යාලයෙනුත් බලාපොරොත්තුවෙනවා එක ටොෆි කොලයක්වත් කොළඹ නගර සභාවට නොදී අපේ කසළ අපිම භාරගන්න, අපේ පාසලින්, අපේ ගෙදරින්, අපේ ආදර්ශය දෙන්න ඉදිරිපත් වෙන්න කියලා ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා’ යැයි පැවසීය.

scroll to top