අපේක්‍ෂකයෙක් දිනවීම වෙනුවෙන් අපි නැහැ

නොවැ 25, 2014 (විමසුම) – තම පක්ෂය උත්සාහ ගන්නේ මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒකාධිපති පාලනයට එරෙහිව මතයක් ගොඩනගා ජනතාවට තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඉඩ විවෘත කර තැබීමට පමණක් බව ජ.වි.පෙ. පවසයි.

25.11.2014 jvp 2

ජ.වි.පෙ. නායක අනුර දිසානායක ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ කිසිවකු පිළිබඳ වගකීමක් තමන් බාර නොගන්නා බවයි.

“අපි ඉතා වගකීමකින් කියන්නේ කිසි කෙනෙක් පිළිබඳ වගකීමක් අප බාරගන්නේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ඔය මැතිවරණ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි. ප‍්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි නම් ඒ කි‍්‍රයාකාරිතවයට මුළුමනින්ම වගකියන්න අපිට බැහැ.”

අගමැතිවරයා විය යුත්තේ කවරෙක් දැයි කිසිවකුට කලින් තීරණය කල නොහැකි බවත් එය තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“පාර්ලිමේන්තුවේ බහුතරයට පත්වෙන්නේ කව්ද ඒ ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අගමැතිකම ලබාගන්න. අපි දන්නෑ කව්රු අගමැති වෙයිද කියලා. දැනට පාර්ලිමේන්තුවේ තියෙන සම්ප‍්‍රදායට අනුව ඒ ඉඩකඩ විවෘත වී තිබෙනවා.”

“අපේ මේ ස්ථාවරය සාම්ප‍්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප‍්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්.”

“මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියවරුව පරදවමු කියලා කියන්නේ රාජපක්‍ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්‍ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප‍්‍රබලයි.”

scroll to top