අපි සංවර්ධනය කරන්නේ යකඩ සපත්තුවේ බලයෙන් නොව, ජනතාවගේ කැමැත්තෙන්

මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ අද දින පාර්ලිමේන්තුවේදී සිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මේ රට පුරා ව්‍යාපෘති 500 කට ආසන්න ප‍්‍රමාණයක් නිසි පරිසර ඇගයීම කරලා නිසි සමාජ ඇගයීම කරලා නිසි ආකාරයේ ටෙන්ඩර් පටිපාටියකට අනුව ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියකට අනුකූලව ආදර්ශමත් ලෙස ඒ කටයුතු කරලා ඒ වගේම මූල්‍යම පැත්තෙන් නාගරික සංවර්ධණ අධිකාරියත්, ඉඩම් සංවර්ධන සංස්ථාවත් ඊට අනුබද්ධ සියළුම ආයතනත් මහා භාණ්ඩාගාරය බරක් නොවී, මහා භාණ්ඩාගාරයත්, රටේ ආර්ථිකයටත් ශක්තියක් වන තැනට කටයුතු කිරීම ගැන.

මෙතනදී මම මුලින්ම සඳහන් කරන්න ඕනේ සමාන්‍ය අදහසක්, මතයක් පළ කළා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ මුළු රටම වැඩබිමක්. දැන් වැඩ වෙන්නේ නැහැ. ආර්ථිකයට දායකත්වයක් නැහැ. සමාජයට දායකත්වයක් නැහැ කියලා. මම කියන්න ඕනේ අපේ රටේ සංඛ්‍යාලේඛන අරගෙන බලපුවාහම දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය 2013 දී 3.4% යි. 2014 දී 5% යි. 2015 දී 4.8% යි. 2016 දී 4.4% යි. ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය මොකද්ද මේ මහා වැඩබිමක් වූ රටේ. 2013 ගෝඨාභය, මහින්දගේ, බැසිල්ගේ යුගයේදී 7.5% ඉදිකිරීමේ ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය. ඒ වගේම 2014 දී 10.6% යි. 2015 දී -2.7% යි. 2016 දී 14.9% යි. ඒ වගේම දලජාතික නිෂ්පාදනයේ වර්ධනයට දායකත්වය කොහොමද කියලා. 2013 දී 15 % යි. 2014 දී 15 % යි. ඒ වගේම 2016 දී 23.4 % යි. එහෙමනම් ඉතාම පැහැදිලියි ඒ යුගයේ තිබිච්ච අවිචාරවත් සංවර්ධනයේ වෙනුවට, අවිචාරවත් ඉදිකිරීම් කි‍්‍රයාවලිය වෙනුවට විධිමත් ඉදිකිරිම් කි‍්‍රයාවලියක්, විධිමත් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක්, විධිමත් පරිසර ඇගයීමක්, විධිමත් සමාජ ඇගයීමක් යටතේ ආර්ථිකයත් දියුණු කරගෙන ආයතනත් දියුණු කරගෙන වැදගත් ආදර්ශවත් පියවරක් තබන්න අපට හැකිවීම ගැන.

ඒ වගේම 2017 පළවෙනි හය මාසේ ඇතුළත සමස්ථ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය 3.9%යි. ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය 12.8 % යි. ඒ වගේම දල ජාතික නිෂ්පාදනයේ වර්ධනයට දායක්තවය 25.7 %යි. කොටින්ම මේ ක්‍ෂෙත‍්‍රයේ අපි ඇතිකරපු විප්ලවීය පරිවර්ථනය නොවෙන්න කොමිස්වලින්, එහෙම නැත්නම් වෙනත් දේශපාලන බලපෑම්වලින් තොරව ආයෝජකයින්ට බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේද අනුගමනය කිරීම නිසා විදේශ ආයෝජන කිසියම් ප‍්‍රමාණයකට වැඩියෙන්ම ගලා ඒමට සමත් වූවා විතරක් නෙමෙයි මේ ක්‍ෂෙත‍්‍රයේ මේ වර්ධනය අත්පත් නොකරගත්තා නම් අනිවාර්යෙන්ම අපේ දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය තවත් 1% කින් පහළට වැටෙන්න ඉඩ තිබුණා. මම හිතනවා මේ සංඛ්‍යා ලේඛන වලින් ඒ සත්‍යය පේනවා. ඒ වගේම ඒ යුගයේ සංවර්ධනයක් සිදුවුණා, කාර්ය සාධනයක් සිදු වුණා, ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාවලියක් සිදු උනා. ඒ සිදුවුනේ කවරක් මගින් ද? ණය බුබුලක් මගින්. අපි ඒ සඳහා විශාල ණය අරගෙන, රාජ්‍ය ආයෝජන කරලා සිදු කරපු ණය බුබුලක් මගින් තමයි ඒ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාවලිය සිදු උනේ.

මේ ආණ්ඩුවේ වෙනස මොකද්ද? මේ ආණ්ඩුවේ වෙනස තමයි ණය බුබුලක් මගින් නෙමෙයි කෙලින්ම ඍජු ආයෝජන මගින්, පුද්ගලික අංශයේ ඍජු ආයෝජනවලට මුල්තැන දීම මගින් මේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙනයන්න කි‍්‍රයා කිරීම. ඒ අනුව ආර්ථිකයට බරක් නොවන විදිහට පුද්ගලික අංශයේ ඍජු ආයෝජන මගින් ඉදිරියට යාමට අපට හැකි වුණා අර ක්‍රෙඩිට් කැපිටල් එක වෙනුවට. ඒ අනුව රට තවදුරටත් ණය බරට ගොදුරු කරන්නේ නැතිව ඒ ණය බර ගෙවාගන්න පුළුවන් ශක්තිමත් ආර්ථික ක්‍ෂෙත‍්‍රයන් වල ආයෝජනය කරන්න අපට හැකියාව ලැබුණා.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, හුඟාක් අය හිතාගෙන ඉන්නේ මේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියන්නේ ආගමික ස්ථානවල සැලසුම් අඳින එක කියලා. නමුත් අද 2008 න් පස්සේ විධිමත් ජාතික භෞතික සැලසුමක් රටට යෝජනා කර තිබෙනවා. එය ඉදිරියේදී අනුමත වෙන්න නියමිතයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ අනුව අපි මේ පවතින අයහපත් කාලගුණ තත්වය, ඒ වගේම ගෝලීය උණුසුමේ වැඩිවීම, ඒ අනුව සිදුවන ණය යෑම්, ගංවතුර, නියඟය සහ අනෙකුත් කටයුතු සියල්ල ගැන සමාජමය වශයෙන් ඇතිවන බලපෑම ගැණත් කල්පනා කරලා අපේ රටේ ප‍්‍රධාන ආර්ථික ජනගහණමය හා සමාජීයීය කොරිඩෝව ලෙස කොළඹ, ගම්පහ, කුරුණෑගල, දඹුල්ල, හබරණ, ති‍්‍රකුණාමලය ප‍්‍රදේශය අපි හඳුනාගෙන තිබෙනවා. 2030 වෙනකන් ඒ ප‍්‍රදේශවලට අවශ්‍ය මාර්ග, දුම්රිය මාර්ග ඒ වගේම ගෑස් මංපෙත්, විදුලි මංපෙත් ඇතිකිරීම කරගෙන යනවා.

ඒ වගේම කොළඹ හා බස්නාහිර පළාතට අපි දැනට සංකල්පීය සැලැස්මක් සකස් කර තිබෙනවා වගේම ත‍්‍රිකූණාමලය සංකල්පීය සැලැස්ම මේ දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. ඊට සාපේක්‍ෂව තිබෙන අතුරු නගර වෙච්ච, විශේෂයෙන්ම කුරුණෑගල, දඹුල්ල, හබරණ කියන නගර සහ සේරුවිල නගරය මීට සාපේක්‍ෂව අනාගතයේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝව බවට පත්වෙන්න නියමිතයි. ඒ වගේම අම්බලන්ගොඩ සිට තිස්සමහාරාමය දක්වාත්, වාලච්චේන, මඩකලපුවත්, වැල්ලවාය සිට දකුණට ඇති කොරිඩෝවත්, ඒ වගේම යාපන – කිලිනොච්චි කොරිඩෝවත් හැටියට අපි ජනගහන, සමාජ ආර්ථික කොරිඩෝ හඳුනාගෙන තිබෙනවා. ඒ දෙසට ආයෝජන සිදු කරන්න, යටිතල පහසුකම් ආයෝජන සිදු කරන්න අපි යෝජනා කරනවා.

ඒ වගේම මම කියන්න ඕනේ මහානගර, මෙගාපොලිස් කියල ඇතැම් අය බොහොම අවඥාවෙන් ප‍්‍රශ්න කරනවා. අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව තිබුණේ මෙගාපොලිස් අධිකාරියක් පිහිටුවන්න. නීතිමය වශයෙන් වෙනම අධිකාරියක් පිහිටුවන්න. නමුත් පළාත් සභා සහ අනෙකුත් ඒවයේ ඇති වූ නොයෙකුත් දේශපාලන බලපෑම නිසා අපට ඒ අධිකාරිය නීතිමය වශයෙන් ස්ථාපිත කරන්න බැරි උනා. ඒ නිසා දැන් අපිට සිදු වෙලා තිබෙන්නේ අනෙකුත් අමාත්‍යාංශය හා ප‍්‍රවාහන අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යාංශය, විදුලි බල අමාත්‍යාංශය, ජලසම්පාදන අමාත්‍යාංශය වැනි වෙනත් අමාත්‍යාංශ හරහා අපේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමයි. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය යොදවාගෙන කළ හැකි දේ කිරීමයි අපි කරගෙන යන්නේ.

ඒ වගේම අපේ රටේ ණයබර පිළිබඳ ගැටළුව නිසා, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රාජ්‍ය ආයෝජනයන්ට සීමා පැනවීම නිසා, අපට ඒ මහවැලි ව්‍යාපාරයට වගේ මහනගර සැලසුමට ආයෝජනය කරන්න, රාජ්‍ය ආයෝජනය කරන්න මහා පරිමාණයෙන් හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි තෝරා ගත්තේ මේ සඳහා රාජ්‍ය පුද්ගලික අංශයේ සහයෝගීත්වය. ඒ වගේම පුද්ගලික අංශයේ ආයෝජනයත් මුල්කොට සලකන්න අපි කි‍්‍රයා කළේ ඒ නිසයි. ඒ නිසා මේ ව්‍යාපෘතිය මගින් කොමිස් ගහන්නේ නෑ වගේම, පවුල් හදන්නේ නෑ වගේම, අපි අනාගත පරපුරට ණය බර ඉතුරු කරන ව්‍යාපාරයක් නෙමෙයි, ඒ අනාගත පරපුර ශක්තිමත් කරන ව්‍යාපාරයක් බව මම ප‍්‍රකාශ කරන්න ඕනේ.

ඇත්තටම වරාය නගරය ගත්තත්, සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ගත්තත්, බස් සීඝ‍්‍රගාමී කි‍්‍රයාවලිය ගත්තත්, ප‍්‍රවාහන මධ්‍යස්ථාන ගත්තත්, තාක්ෂණ නගරය ගත්තත්, ප‍්‍රවර්ජන නගරය ගත්තත්, නවෝත්පාදන කි‍්‍රයාවලිය ගත්තත් පරිපාලන නගරය ගත්තත් අද මේ සෑම ක්‍ෂෙත‍්‍රයකම පෞද්ගලික ආයෝජනය ශක්තිමත්ව ඉදිරියට ගෙනිහිල්ලා රටට අලූත් ආදර්ශයක් අපි ලබාදීලා තිබෙනවා. රජය උපරිමයට මුදල් වියදම් කරනවා නම් කාටත් සක‍්‍ර දෙවියෝ වගේ, මැවුම් කාරයෝ වගේ දක්ෂ පක්ෂ මිනිස්සු හැටියට පෙනී හිටින්න පුළුවන්. වඩා වැදගත් දේ අද අපි කරගෙන කි‍්‍රයාවලියේ අලූත් වෙනස තමයි පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එකට එකාබද්ධ කිරීමත්, පෞද්ගලික අංශයත් තරඟකාරීව මේ කි‍්‍රයාවලියට එකතු කරලා ණය බරකින් තොරව මේ දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට ගෙනයාම.

ඒ වගේම මම කරුණු දෙකක් මෙතනදී සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම සාකච්ඡා වීම නිසා, මේ කසළ කළමනාකරණය පිළිබඳ ගැටළුව. මේ ගැටළුව ප‍්‍රධාන වශයෙන්ම කොළඹ නගරයේ උත්සන්න උනේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කලාට දේශපාලන වශයෙන් ඇති වූ බලපෑම් නිසයි. 1997 දී අද මේ රටේ කතානායක තුමා එදා කොළඹ මහනගරයේ නගරාධිපති හැටියට වැඩපිළිවෙලක් දියත් කළා. එයට සියළුම දේශපාලන පක්ෂ එකතු උනා විතරක් නෙමෙයි එතුමාව 99 පළාත් සභා මැතිවරණයෙන් පරාජය කරන්න සන්ධානයක් හැදුවා කසළකලමනාකරණයට ගෙන ආ විද්‍යාත්මක විසඳුමට විරුද්ධව. ඊ ළඟට අද මෙතන නොයෙක් පාරම් බාන්න යම් යම් පිරිස් ඉදිරිපත් වෙලා තිබෙනවා. නම් කියන්නත් කැත, මොලේ කුෂ්ඨ වලින් පිරිච්චි පිරිස්. නමුත් එදා අපි උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ. එතුමා ඒක ඉදිරිපත් උනේ නැහැ. ඒ අවස්ථාවේ නාගරික සංවර්ධනයේ කටයුතු කරපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එය වැලැක්වූවා. ඒ විදිහට 2008 කොළඹ නගරයේ ප‍්‍රශ්නය විසඳන්න ගෙනආපු එකත් වැලකුණා. ඒ අනුව තමයි මීතොටමුල්ලේ කසළ කන්දක් ඇතිවෙන්න කටයුතු යෙදුනේ.

ඒ වගේම අධිකරණ කි‍්‍රයාමාර්ගයක් මගින් හා අපෙත් සහයෝගය ලැබිලා අපි බ්ලූමෙන්ඩල් කුණු කන්ද පාලනය කළා. අපි, අපේ අමාත්‍යාංශය මගින් ඉදිරි කාලයේදී බ්ලූමෙන්ඩල් ඇතුළු ප‍්‍රදේශය වරාය, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවත් සමග එකතු වෙලා විධිමත් සැලසුමකට අනුව සංවර්ධනය කරන්න ලබන වසරේ කටයුතු කරනවා. ඒ වගේම මීතොටමුල්ල කසල කන්දේ ඛේදවාචකයෙන් පස්සේ ඒ ඇතිවේච්ච කි‍්‍රයාවලියත් එක්ක මීතොටමුල්ලේ කසල කන්දෙත් ප‍්‍රදේශයක් අපි සංවර්ධනයට යොදා ගන්නවා. ඉතිරි ප‍්‍රදේශය නාගරික උද්‍යානයක් හැටියට දියුණු කරන්න ඉදිරි කාලයේ කටයුතු කරනවා.

එතකොට මේ අරුවක්කාලූ ව්‍යාපෘතිය, ඒ සනීපාරක්‍ෂක කසළ රඳවනය මට කියන්න ලැජ්ජයි. නමුත් මෙතන පාරම් බාපු නිසා කියන්න ඕනේ. මේක මේ හිටපු ආරක්‍ෂක ලේකම්තුමාගේ ඔලූවේ පහල වූ සංකල්පයක්ද? කිසිසේත් නෑ. මේ යෝජනාව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කළා. මේ යෝජනාව විතරක් නෙවෙයි. මහර තියෙන විශාල ගල්වල ගැන, පානදුරේ තියෙන විශාල ගල්වල ගැන. ඒවා සනීපාරක්‍ෂක කසල රඳවන කරන්නෙ කොහොමද කියන එක ගැන, ලොකු සාකච්ඡුාවක් මේ රටේ තිබුණා. නමුත් අරුවක්කාලූ යෝජනාව සැළකිල්ලට ගත්තෙ නෑ. මොකද ත‍්‍රස්තවාදයේ ඇතිව්ච බලපෑම නිසා. 1985 ඉඳන් අපි සිලාවතුර මුදාගන්නා තෙක් 2008 දී ත‍්‍රස්තවාදී බලපෑම් නිසා අරුවක්කාලූ යෝජනාව ක‍්‍රියාත්මක වුනේ නෑ. ඊට පස්සෙ අරුවක්කාලූ යෝජනාව ගෙනාවා 2011. ගෙනල්ලා, කොරියානු සමාගමක් ඇවිල්ලා ඒ සඳහා ගඟෙ වාඩියේ ප‍්‍රදේශයේ ස්ථානයක් තෝරාගත්තා. ඒ ස්ථානය සම්බන්ධ අවසාන තීරණය පරිසර ඇගයීමේ වාර්තාව ලැබුණේ 2016 ජනවාරි මාසයේ. ඒ නිසා අපේ අමාත්‍යාංශයට සල්ලි වෙන්කරලා තිබුණත් අපි ඇවිල්ලා පරිසර ඇගයීමකින් තොරව, සමාජ ඇගයීමකින් තොරව, ඇහුම් කන්දීමකින් තොරව, යකඩ සපත්තුවල හයියෙන් සංවර්ධනය කරන පිරිසක් නෙවෙයි. ඒ නිසා අපි පරිසර ඇගයීම එනතෙක් බලා හිටියා. ඒක තමයි විවිධ මාධ්‍ය වාර්තා කළේ සල්ලි දුන්නා මුකුත් කළේ නෑ කියලා. මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කිව්වේ. ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නෙ අර පරණ ක‍්‍රමේට, තමන්ගේ හිතවතුන් හරහා යකඩ සපත්තු හරහා මේක කරගෙන යන්න. නෑ අපි පරිසර ඇගයීම බැලූවා. පරිසර ඇගයීම පිළිබඳව මෙතන වැරදි ප‍්‍රවෘත්තියක් පළකලා. අර මොළේ කුෂ්ඨ හැදිලා තියෙන රෝගියා, මොකද්ද කිව්වේ, මේක මේ අපේ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්ට අවසර දෙන්න පුළුවන් කාරණයක් කිව්වා. වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඒක ප‍්‍රතික්ෂේප කළේ පැහැදිලි කරුණු මත. ඔහු කිව්වා, එතන තියෙනවා වන සහල් විශේෂයක්, සත්ත්ව විශේෂ ගණනාවක්, ඒ වගේම පුරා වස්තු වශයෙන් සාමාන්‍ය ඓතිහාසික යුගයට එහා පූර්ව ඓතිහාසික යුගයට අයිති කාරණා කීපයක්. ඒ මත තමයි සියලූම විද්‍යඥයෝ එකතු කරගෙන, ඒ ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයෝ එකතු කරගෙන අපි අලූත් තැනක් බැලූවා. අපි ඒ සම්බන්ධයෙනුත් පරිසර ඇගයීමේ වාර්තාවක් ලබාගත්තා. දැන් අපිට ඒ පරිසර ඇගයීමේ වාර්තාව ලැබිලා තියෙනවා. ඒ පරිසර ඇගයීමේ වාර්තාවේ සෑම කොන්දේසියක්ම ඉටු කරනවා කියලා පැහැදිලිව ප‍්‍රකාශ කරන්න ඕනෙ. ඒ වගේම මේ සම්බන්යෙන් ටෙන්ඩර් යෝජනාව අපි යෝජනා කළේ 2016 හතරවැනි මාසයේ 24. ඒ සම්බන්ධයෙන් අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවලා, ඒ ටෙන්ඩර් ඇගයීමට ලක්කරලා, ඒ ටෙන්ඩර් ප‍්‍රදානය කරලා, ඒ අතරේ පරිසර ඇගයීම කරලා, සමාජ ඇගයීම කරලා, සියලූ ක්‍ෂෙත‍්‍ර දැනුවත් කරලා, මේ සියලූම දේ අවසන් කරලා අද වෙනකොට අපිට අපේ පී.ඒ.බී. ප්‍රොක්‍යුමන්ට් ඇපීල් බෝඞ් එකේ තීරණය ලැබිලා අපි කැබිනට් එකට ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ දෙසැම්බර් මාසයේ ඒ ක‍්‍රියාවලියට ඇතුල්වෙන්න.

අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්. යකඩ සපත්තුවෙන් අපිට ඕන ඕන විදිහට වැඩ කරගෙන යන්න හිතුවක්කාර විදිහට රටේ සල්ලි විසිකරන්න අපිට හැකියාවක් නෑ. ඒ නිසා අපි ඒ විධිමත් ක‍්‍රමවේදය අනුගමනය කරමින් හය මාසයක් ඇතුලත මේ ක‍්‍රමය කරගන යනවා. ඒ වගේම මේ රටේ කොළඹ නගරය පිරිසිදු කරන්න බෑ හමුදාව නැතුව, කොළඹ නගරය පිරිසිදු කරන්න බෑ ගෝඨා නැතුව කියල මතයක් තිබුණා. කිසි කෙනෙක්ගේ බලහත්කාරයෙන් තොරව කිසි කෙනෙක් කුණු අදින්නේ නැතුව අපි ඒ කොළඹ නගරයේ ඇතිවෙලා තිබුණු ඒ අවිනීත තත්ත්වය වෙනස්කලා විතරක් නෙවෙයි. කොළඹ කසල අපි බින්දුවට බස්සලා දුන්නා. ඒ ආකාරයට අපිට සෑම සහයෝගයක්ම පලාත් සභාවෙන්, පලාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙත්, ආරක්‍ෂක අංශ ඇතුලූ සියලූ පිරිසගෙන් ලැබුණා. ඒක අපි බලහත්කාරයෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක තර්ජනයෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක සුදුවෑන්වලින් කරපු දෙයක් නෙවෙයි. ඒක දැනුවත් කිරීම මගින් අවබෝධයෙන් කරපු ක‍්‍රියාවලියක්. ඒ බව අපි සියලූ දෙනාම මතක තබා ගන්න ඕනෙ.

ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන කථාකලා. කොළඹ වටිනාම ඉඩම් කුණු කොල්ලයට දුන්න රාජපක්‍ෂලා අද මේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන කතාකරන්න එළඹිලා තියෙනවා. මෙගා ඞීල් ගැන කතාකරන්න එළැඹිලා තියෙනවා. තමන්ගේ දරු පවුල් ඕස්ටේ‍්‍රලියාවේ තියාගෙන රුපියල් මිලියන සිය ගණන් එහෙ ඞීල් දාගෙන මෙතන ඇවිල්ලා කතාකරන්න බලාපොරොත්තු වෙනවා මෙගා ඞීල් ගැන. අපේ අමාත්‍යාංශයේ කිසිම ඉඩමක් අපි ලබාදීලා නෑ තරඟකාරී පදනමකින් තොරව අපි බලයට ආවට පස්සේ විශේෂයෙන්ම 2016න් පස්සේ. ඒ හැම එකකම අපි වාණිජ වටිනාකම අපි තක්සේරු දෙපාර්තමේන්තුවට කියන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් අපි ලබාගෙන තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධන සංස්ථාවත් කිසිම අවස්ථාවක තරඟකාරී නොවන අන්දමින් කි‍්‍රයාකරලා නෑ. නමුත් අතීත ගණුදෙනු හතරක් තිබුණා ඒ අතීත ගනුදෙනු හතරත් අපි අවසන් කළේ සම්පූර්ණ වාණිජ වටිනාකම ලබාගෙනයි. ඒවා නිකන් දීලා තිබුණේ. අද කථාකලා ඩී. ආර්. විජේවර්ධන ඉඩම ගැන 2007 නිකන්, අත උඩ මහින්ද රාජපක්‍ෂ මහත්තයා රවී විජේරත්න මහත්තයාට දීලා තිබුණෙ. ඒකට අපි ඒ අදාල සමාගම්වලින් වාණිජ වටිනාකම ලබාගැනීමෙන් පස්සෙ තමයි සංවර්ධනයට මුදා හැරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි අනෙකුත් සෑම ව්‍යාපෘතියක්ම, ක‍්‍රිස් සමාගමට ලබාදීපු ඉඩම වේවා අනෙකුත් සෑම ව්‍යාපෘතියකම වාණිජ වටිනාකම අපි ලබාගෙන තියෙනවා. ඒ නිසා තමයි මූල්‍යමය අතින් ශක්තිමත් තැනකට අපිට පුළුවන් වුනේ මේ නාගරික සංවර්ධන අධිකාරිය අද ගේන්න. අපි එනකොට බිලියන 39 ක හිඩසක් තිබුණා ණය ගෙවන්න. ඒ ණයත් කිසියම් දුරකට ගෙවාගෙන රටේ ජනතාවගේ විශේෂයෙන්ම පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප‍්‍රශ්නයටත් පිළියම් යොදාගෙන අද නාගරික සංවර්ධන අධිකාරිය ශක්තිමත් වාණිජ මධ්‍යස්ථානයක් වෙලා තිබෙනවා.

මෙන්න මේක දරා ගන්න බැරුව මෙතන ඇවිල්ල නොයෙක් දෙනා නොයෙක් අවලාද නගන්න හදනවා. නමුත් අපි කියන්න ඕනේ. රජයේ අරමදල් හෝ රටට බරක් ඇති නොවන ආකාරයෙන් ඒ සියල්ල අපි ඉෂ්ඨ කරලා තිබෙනවා. ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංචිතය අපි ශක්තිමත් කරනවා. ඒ වගේම ඒ ඉඩම් සංචිතය අපේ බලගතු ආයෝජනයක් බවට පත්වෙනවා ඉදිරි කාලයේ අපේ සංවර්ධන කටයුතු සඳහා. ඒ වගේම මම කියන්න ඕනේ විශේෂයෙන්ම මධ්‍යම පාන්තික නිවාස, ඉහළ මධ්‍යම පාන්තික නිවාස, කාර්යාල ඒ කියන කාරණා දිහා බැලූවහම අපි බොහොම පැහැදිලිව අපට ඉලක්කයක් තිබෙනවා 2022 වන විට කාර්යාල පහසුකම් තවත් වර්ග මීටර් මිලියනයකින් වැඩි කරන්න. ඒ වගේම ඉහළ මධ්‍යම පාන්තික නිවාස තව දැනට 12,000 ක් ඇති කර තිබෙනවා. 6,000 ක් කලින් තිබුණා. තව 6,000 ක් එකතු උනා. තවත් 8,000 ක් එයට එකතු කරන්න. ඒ වගේම පහළ දුගී පැල්පත් වාසීන්ට 20,000 කට සහන ලබාදෙන්න 2020 දී අපි කි‍්‍රයා කරනවා. ඒ සඳහා අවශ්‍ය සියළුම අරමුදල් සම්පාදනය, සියළුම ආකාරයේ කි‍්‍රයාවලිය දැන් සූදානම් කර තිබෙනවා. ඒක කරන්නේ බලහත්කාරයෙන් නෙමෙයි. එදා පාරවල්වල ගෙවල් කඩද්දි මිනිස්සු පෙළපාලි ගියා පාරවල් වැහුවා, සුදු වෑන් වලින් ඉස්සුවා. අද ගෙවල් 6,000 ක් මේ රජය යටතේ කඩලා තිබෙනවා. කිසිම උද්ඝෝෂණයක් ඇතිවෙලා නැහැ. අද ජනතාව තමන්ගේ ස්වකැමැත්තෙන් ඒ කි‍්‍රයාවලියට එක`ග කර ගන්න තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිහතමානී කි‍්‍රයාවලියක් අපි කළේ.

ඒ නිසා අපේ රට ආපසු යකඩ සපත්තුවකට පෑගිච්ච යුගයකට ගමන් කළ යුතු නැහැ. ඒ වගේම ඒ යකඩ සපත්තු ලෙවකමින්, ප‍්‍රකෝටි ගණන් ධනය හම්බකරමින්, තමනගේ දරුපවුල් විදේශ රටවල තැන්පත් කරගෙන මෙහේ රඟපාන නළුවන්ටත් ඉදිරි කාලයේදී දේශපාලන වශයෙන් වන්දි ගෙවන්න සිදුවන බව ප‍්‍රකාශ කරමින් විශේෂයෙන්ම මුදල් ඇමති තුමාට, නාගරික සංවර්ධන ක්‍ෂෙත‍්‍රය සඳහා මෙවර අයවැයෙන් දක්වපු දායකත්වය පිළිබඳ ස්තූතිය පිරිනමනවා’ යැයි පැවසීය.

scroll to top