අපි ඡන්දේ ඉල්ලන්නේ වෙන්ව, හැබැයි ඉදිරියටත් ආණ්ඩු කරන්නේ එකට…

Champika-1.jpg

  • මීරිගම වාණිජ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කරනවා.
  • ගමේ ජනතාවට සංවර්ධනයේ මැජික් පෙන්වපු යුගය අවසන්.

පෝය ගණන්වලින් ගණන් හද හද ආණ්ඩු මාරු කරනවා යයි පාරම්බබා කවුරු කොහේ ගියත් අපි බොහොම පැහැදිලිව කියනවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගෙත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගෙත් මේ යහපාලන ආණ්ඩුව මේ රටට ලබාදුන් අලූත් ආදර්ශය ඉදිරි මැතිවරණවලදීත් ලබාදෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙන වෙනම මැතිවරණවලට තරඟ කළත්, එකට ආණ්ඩු කරන හැටි ඊළඟ පළාත් සභා, පළාත් පාලන මැතිවරණවලදීත්, මහමැතිවරණයේදීත්, ජනාධිපතිවරණයේදිත් මේ රටට පෙන්වලා දෙනවා යැයි, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මීරිගම සතිපොළ සහ මහජන ක‍්‍රීඩාංගනය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා දේශපාලනයට පිවිසියේ මෙම ප‍්‍රදේශයෙන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට ඉඳලා මීට අල්ලපු ගමේ එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවලා ඒ පක්ෂ දෙකම දැන් අවුරුදු 70 කට ආසන්න කාලයක් මේ රට විටින් විට පාලනය කරලා තිබෙනවා. අද ඓතිහාසික තත්වයක් ඇතිවෙලා තිබෙනවා. කාලයක් නිල් කොළ විදිහට ගහ මරා ගත්තු රටක ජනතාව, විශේෂයෙන්ම එහි ආරම්භක නායකයින් දෙදෙනා බිහිවෙච්ච මේ ගම්පියසේ ඔබ හැමට ආඩම්බර වෙන්න පුළුවන් අද ඒ ගහ මරගැනීමකින්, ගෝත‍්‍රවාදයකින් තොරව කැපුවත්, කොළ, කැපුවත් නිල් සංකල්පවලින් මිදිලා හැමෝම එකට එකමුතුවෙලා මේ ප‍්‍රදේශ දියුණු කරන්න දරණ මේ උත්සාහයන් ගැන. සමහරුන්ට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. සමහරුන්ට ඕනා අර පරණ අමිහිරි අතීතයට යන්න. අන් අයට හිරිහැර කරන්න, ඒ වගේම තමන්ගේ ප‍්‍රතිමල්ලව පිරිස්වලට බලපෑම් කරන්න, සංවර්ධනයේ ප‍්‍රතිලාභ එනකොට පක්ෂයේ පාට දිහා බලල රස්සාව දෙන්න, කඩ කාමරය දෙන්න, පාර කාපට් කරන්න, ඒ යුගය දැන් අවසන් කරලා තිබෙනවා.

කොළඹින් පිටත ප‍්‍රධාන වාණිජ කාර්මික මධ්‍යස්ථානයක් හැටියට ඊ ළඟ දශකයේදී මීරිගම ගොඩනැගෙනවා. විශේෂයෙන්ම කටුනායක හරහා කොළඹ දක්වා දිවයන ඒ අධිවේගී මාර්ගය මීරිගමට ඉදිරි වසර දෙක ඇතුළත ළඟ වෙනවා. කොටුවේ ගොඩනැගෙන ඒ දැවැන්ත වාණිජ නගරයට, මූල්‍ය නගරයට, ගුවන්තොටුපලට විනාඩි කිහිපයකින් මීරිගම ඉඳන් යන්න එන්න පුළුවන් තත්වයක් උදා වෙනවා. ඒ අනුව මීරිගම තවදුරටත් ගොවි බිමක් නොවී වාණිජ මධ්‍යස්ථානයක් බවට වැදගත් උගත් බුද්ධිමත් ඉංජිනේරු, වෛද්‍ය ආදී වැදගත් පිරිස් පදිංචි වෙන වැදගත් ස්ථානයක් බවට මේ ස්ථානය පරිවර්ථනය වෙනවා. එයට සමාන්තරව මීරිගම ආයෝජන කලාපය විධිමත් කාර්මික කලාපයක් බවට තවත් අක්කර දහසක් පමණ අපේ අමාත්‍යාංශයෙන් අත්පත් කරගෙන සංවර්ධනය කරන්න නියමිතයි. ඒ මීරිගම සංවර්ධනය තිබෙන විශාලම බාධාව වන ජල හිඟයට කෙටි කාලීන විසඳුම් ජල මණ්ඩලය ලබාදෙනවා සේම දිගු කාලීන විසඳුමක් හැටියට ජල මණ්ඩලයට අපි යෝජනා කළා මේ මාඔය විධිමත් ආකාරයේ ජලාශයක් ඉදිකර, මාඔය හරහා මීරිගම කර්මාන්ත පුරයේ ගොඩනැගෙන අනාගත මහා නගරයට ජලය සැපයිය යුතුයි කියලා. ඒ අදාල පත‍්‍රිකාව මගින් පසුගිය දා පුළුවන්කම ලැබුණා විදේශ ආධාර ලබාගෙන ඒ සඳහා කටයුතු කරන්න. මෙම ගඟ පටන් ගන්න අරණායක ප‍්‍රදේශයේ ඉහළ කොටසේ ජලාශයක් හදලා ජලය එතන රඳවලා මේ මාඔයෙන් ජලය පොම්ප කරන පොම්පාගාරයක් ඇතිකරලා, අඹතලේ වගේ මේ ප‍්‍රදේශයේ වැස්සත් නොවැස්සත් මුළු වසර පුරාම ජලය ලබාදෙන ක‍්‍රමවේදයක් ඇති කරන්න.

එසේම ගිරිඋල්ලෙන් කුලියාපිටිය, බිංගිරිය දක්වා දිවයන ආහාර මුල්කරගත්ත තාක්ෂණික කලාපයක් ඇතිකරන්න අපි කටයුතු කරනවා. අපේ මේ එළවලූ පළතුරු ටික වාණිජ මට්ටමක මතුකරලා ලෝකය පුරා ගෙනයන ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් සහ ඖෂධ වාණිජ මධ්‍යස්ථානයක් ලෙස මේ මිරිගම කර්මාන්ත පුරය පත්කිරීමයි අපේ අරමුණ වන්නේ.

මේ පක්ෂ දෙක වෙන්වෙලා ජනාධිපතිතුමයි අගමැතිතුමයි වෙන්වෙලා මේක කඩා වැටෙනකම් කියලා බලාපොරොත්තු හදාගෙන රටපුරා යන හැමකෙනාටම කියන්නේ මේ ගඟ ආපසු හැරෙන්නේ නැහැ. මේ ගඟ පොඩි පොඩි ප‍්‍රශ්න ඇතිවෙලා වංගු ඇතිවෙලා ගියත් මේ ගඟ ගලන්නේ ඉදිරියටයි. අතීතයේ තිබූ පවුල් කාමයට, දූෂිත සංවර්ධනයට, කුට්ටි පිටින් විදේශ ගිණුම්වල සල්ලි තැන්පත් කරමින් ගමේ ජනතාවට සංවර්ධනයේ මැජික් පෙන්වපු යුගය අවසන් කරලා ඒ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ඒ යුගය පක්ෂ පාට බේදවලින් තොරව යනවා. මෙම වසරේදිත් මැතිවරණ පැවැත්වෙන බවත් එම මැතිවරණවලදී මෙන්ම ඉදිරියේදීත් වෙනම තරඟ කර එක්ව ආණ්ඩු කරන ඒ සංකල්පය ඉදිරියටම ගෙන යන බව’ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

scroll to top