අපි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම සුහුරුව, චාම්ව අභිමානවත් ලෙස පවත්වනවා

Champika-1.jpg

මිනිසුන්ගේ හිත් පුරවන, සාක්කු හිස් නොකරණ නව අත් දැකීම්වලින් බහුල වෙසක් කලාපයක්.

· රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් නියෝජනය වන පරිදි බෞද්ධ මධ්‍යස්ථානය 10 ක් දියවන්නා වෙසක් කලාපයේ

මෙවර ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට සමගාමීව අප විසින් පැවැත්වීමට නියමිත දියවන්නා වෙසක් කලාපය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආයතන සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ගරු කතානායකතුමාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු පරිශ‍්‍රය සහ දියවන්නාව අසල ප‍්‍රදේශ විධිමත් වෙසක් කලාපයක් හැටියට අපි මෙවර ආලෝකමත් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා අනුශාසක ලෙස මයුරපාද පිරිවෙණේ අධිපති වලේගොඩ ජිනසිරි ස්වාමින් වහන්සේ ඇතුළු මේ අවට විහාරස්ථානවල මහා සංඝරත්නය කටයුතු කරනවා. පාර්ලිමේන්තුව අවට ප‍්‍රදෙශයත්, දියවන්නාවත්, රාජගිරිය පෙදෙසින් පාර්ලිමේන්තුවට පිවිසෙන ප‍්‍රධාන පාලම අසල සිට පාර්ලිමේන්තු පාර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, අපේ ගම පරිශ‍්‍රය, ජයවර්ධන පුර රෝහළ දක්වා කලාපය එකම වෙසක් කලාපයක් ලෙස කලාප 21 කට වෙන් කර සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙය සම්ප‍්‍රදායක වෙසක් කලාපයක් නොවන අතර, සම්ප‍්‍රදායක වෙසක් කලාපයක විශේෂයෙන්ම තිබෙන්නේ සැණකෙළි ස්වරූපයක්. නොයෙක් තරඟ, ස්ර්කස් සංදර්ශන, ඔලූබක්කෝ නැටවිලි යනාදී දේවල් තමයි දැක ගන්න තිබෙන්නේ. පසුගිය වසර 60, 70 ක කාලය තුළ අපේ තොරණ් සම්ප‍්‍රදායේ, වෙසක් කූඩු සම්ප‍්‍රදායේ, වෙසක් කලාප සම්ප‍්‍රදායේ වෙනසක් උනේ නැහැ. ඒ නිසා අපි මේ මෙම වෙසක් කලාපය සුහුරු, ඉතාම චාම්, අභිමානවත් වෙසක් කලාපයක් බවට පත් කරන්නට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

මෙම වෙසක් කලාපය මිනිස්සුන්ගේ සාක්කු හිස් කරන වෙසක් කලාපයක් නොවන අතර මිනිසුන්ගේ හිත් පුරවන ඉතාමත් චාම් පරිසරයත්, ගහකොළ සහ ජලතලය සමග එකට යාදෙන අයුරින් බැඳුනු වෙසක් කලාපයක් ලෙස වර්ණ ගැන්වීම සහ ආලෝක ගැන්වීම තමයි අපේ අරමුණ.

මූලික වෙසක් කලාපය පිහිටා තිබෙන්නේ අපේ ගම පරිශ‍්‍රය පිටුපස ඇති චෝගම් ප‍්‍රදර්ශන භූමිය ලෙස භාවිත කරනු ලැබූ අක්කර 6 ක පමණ වූ භූමි භාගයේ, රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් නියෝජනය වන විදිහේ බෞද්ධ මධ්‍යස්ථාන 10 ක් ඉදිකෙරෙනවා. එය තමයි දියවන්නා වෙසක් කලාපයේ ප‍්‍රධාන ස්ථානය වෙන්නේ. අද මේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සමගාමීව විවිධ රටවලින් ඉල්ලීම් කළා ඉන්දියාව, පකිස්ථානය, චීනය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මියන්මාරය, කාම්බෝජියාව, මැලේසියාව වැනි රටවලින්. ඒ අනුව එම විහාරස්ථාන එම වගකීම භාරගෙන ඒ ස්ථානයේ රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් ප‍්‍රදර්ශනය කරන්න.

ඊ ළඟ ප‍්‍රධාන කාර්යය දියත උයන පරිශ‍්‍රයේ තිබෙන ජල ආලෝක කරන ක‍්‍රියාවලියයි. වර්ණවත් කෘතිම දියඇල්ලක් ලෙස ඒ දියවන්නාවේ ඉතිහාසයත්, කෝට්ටේ රාජධානියේ උරුමය පෙන්වන විදිහේ ජල කි‍්‍රයාවලියක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා නූතන තාක්ෂණයට අනුකූලව. ඊට අමතරව පාවෙන වෙසක් කූඩු 2500 කට ආසන්න ප‍්‍රමාණයක් ඇතුළුව මාර්ගය දෙපස වෙසක් කූඩුත් සමග 4,500 ක් මෙන්ම, මෙහි තිබෙන සෑම ගස් පරිසරයට අනුකූලව සහ ගොඩනැගිලි විදුලි ආලෝකමත් කිරීම, තොරණ් සම්ප‍්‍රදාය නව මගකට ගෙන යමින් නව තොරණ් වර්ග 03ක් හඳුන්වා දෙනු ලබනවා. ජල තිරයක් මත ලේසර් කිරන මගින් සිදු කරනු ලබන ඒ කි‍්‍රයාදාමය. දෙවන එක ලෙස විශාල තලයක් මතට ඇතිකරන ති‍්‍රමාණ රූප කැටි කරන කි‍්‍රයාවලිය, තුන්වනුව අපේ සම්ප‍්‍රදායික ඩිජිටල් තිරයක ජාතක කතා 6 ක් මේ කාලය තුළ ප‍්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. නව තාක්ෂණය භාවිත කරන අතර කිසිම ආකාරයක තරඟ, සූදු, සැණකෙලි, ක‍්‍රීඩා, ඔලූබක්කො නැටිලි සංදර්ශන කිසිවක් මෙහි නැහැ. මෙය ඉතාමත් චාම් අභිමානවත් උළෙලක්.

මෙම වෙසක් කලාපය තුළ එකතුවන කැළිකසළ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට කටයුතු කරන අතර තානාපති කාර්යාල 10ක දායකත්වයත්, රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ ද දායත්වය ලබා දී තිබෙනවා. ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මූලික කටයුතු සිදුකරනු අතර මූලික සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි. යුධ හමුදාව, නාවුක හමුදාව, ගුවන් හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ඇතුළු පෞද්ගලික ආයතන 26 ක් විවිධ කොටස් භාරගෙන විධිමත්ව පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ තිබෙන වාස්තු විද්‍යාවන්ට අනුකූල වන අයුරින් මෙම ආලෝකකරණ කි‍්‍රයාවලිය සිදුකරනු ලබන බවත් අමාත්‍යවරයා පැවසීය.

scroll to top