අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනයට අපරිපූරණිය පාඩුවකි

National-Bhikkhu-Front.jpg

පුරා වසර 102ක් ආයු වළඳා අපවත්වී වදාළ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනයට අපරිපූරණිය පාඩුවකි. තෙවලා බුදුදහම ඇතුළත් ති‍්‍රපිටකය පිළිබඳ ප‍්‍රාමාණික දැනුමකින් හෙබි යතිවරයන් වහන්සේලා අතර ඉදිරියෙන්ම වැඩසිටි අප මහනාහිමියෝ භාෂා විශාරදත්වයෙන්ද නිපුණයහ. පරිසමාප්ත වූ අරුතින්ම බහුශ‍්‍රැත, ධර්ම ධර තෙරනමකැයි සංකා විරහිතව පැවසිය හැකි දවුල්දෙන ඤාණිස්සර මහනාහිමිගේ ශාසනික මෙහය අපමණය.

සාහිත්‍යශූරී, ති‍්‍රපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශී‍්‍ර, ග‍්‍රන්ත විශාරද, සංස්කෘත චක‍්‍රවර්ති ආදි ගෞරව නාම රාශියකින් සම්මානිත දවුල්දෙන මහ නාහිමි, උන්වහන්සේ සොයාගෙන ගෞරවනාම ආවා මිස ගෞරවනාම සොයාගෙන උන්වහන්සේ නොවැඩියහ. මුදලට ගෞරවනාම ගෙන නම දික්කරගන්නා පුස්සන් සහිත සමාජයක පාරංගත ඥාන සම්භාරයකට අප මහනාහිමි නිසිවූහ. ”නමන්ති පලිනො වෘක්‍ෂාඃ නමන්ති විභුධා ජනාඃ ” ඵල ඇති ගස් නැමෙන්නා සේ විද්වත් ජනයා නිහතමානි වන්නේ යම් සේද ඊට දවුල්දෙන නාහිමි සාධාරණ උදාහරණයක් ය. තමා ලත් කිසිදු නාමයක්, තනතුරක් තමා උසස්කොට අන්‍යයන් තලා පෙළා, හෙළා දැමීම කෙරෙහි නොයොදවන ලද්දෙකි. දේශනාවත්, භාවිතාවත් සම සමව පවත්වාගන්නට උන්වහන්සේ දැක්වූ සාමාර්ථය සංඝ සමාජයට දුන් නිහඬ පාඩමකි. හිස් මිනිසුන්, මෝඩජනයින් ව්‍යෂනකාරී දෑ කරමින් රටටත් සමාජයටත් විනාශය පිණිසි කටයුතු කරද්දී දවුල්දෙන නාහිමි කාව්‍ය ශාස්ත‍්‍ර විනෝදය කොටගෙන පරවැඩ පිණිස අකුරු හැසිරවූහ.

තම නිකාය, තම පාර්ශවය, තම පරම්පාරාව උසස් යැයි නොසිතූ උන්වහන්සේ වෙරවීරියෙන් උකහාගත් දැනුම ශාසනයේ, සමාජයේ, සංස්කෘතියේ චිරස්ථිතිය උදෙසා, සංඝ සමාජයටත්, පොදු සමාජයටත් නොවලහා හිමිකර දුන්හ. මුන්වහන්සේගේ අපවත්වීම ලාංකීය සංඝ සමාජයට මෙන්ම සම්බුදු ශාසනයට නොපිරවිය හැකි පාඩුවක් වන්නේ එහෙයිනි. කෙතෙක් ගුණ කිවද යළි ජීවමාන නොවන කීර්තිභාවෝපශේෂගත වූ අපවත්වී වදාල ශී‍්‍ර ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය නාඋයෙන් දවුල්දෙන ශී‍්‍ර ඤාණිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් ජාතික භික්‍ෂු පෙරමුණේ සාතිශය සංවේගය මෙයින් පළකර සිටින්නෙමු.

ලේකම්
ශාස්ත‍්‍රපති
වකමුල්ලේ උදිත හිමි

scroll to top