අන්ත දූෂිත අධ්‍යයන කාර්යමණ්ඩල බඳවා ගැනීම්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති ආධුනික කථිකාචාර්ය තනතුරක් පිලිබඳව පළවූ පුවත්පත් දැන්වීමකට අනුව ඒ සඳහා මා අයදුම් කලෙමි.පුවත්පත් දැන්වීමේ පළකර තිබූයේ ආධුනික කථිකාචාර්ය, කථිකාචාර්ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යන තනතුරු තුන සඳහාම සහතික පත්‍ර පරීක්ෂා කෙරෙන සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර ඉන් උපරිම සුදුසුකම් සහිත තිදෙනෙකු බඳවා ගන්නා බවයි. මේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් කිරීමේදී සුදුසුකම් වලට අනුව වර්ගීකරණය කර (Shortlist) සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කරන බව පුවත්පත් දැන්වීමේ සඳහන් කර තිබිණ. එසේම අයදුම්කරුවන් පැවිද්දන් විය යුතු යැයිද සඳහන් නොවින.ගිහි පැවිදි භේදයක් නැතිව සුදුසුකම් අනුව බඳවා ගන්නාබව පමණක් එහි දැක්වින. ඒ අනුව මාස කිහිපයකින් පසුව 2016.06.17 දින සම්මුඛ පරීක්ෂණ පැවතිනි. මමද ආධුනික කථිකාචාර්ය හා කථිකාචාර්ය යන තනතුරු දෙක සඳහාම ඉල්ලුම්පත් දෙකක් සහහතිකවල ඡායාපිටපත්ව සහිතව ලියාපදිංචි තැපෑලෙන් යවා තිබිණ. නමුත් මට සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ තිබුනේ එක කැඳවීමකි. එය කුමන තනතුරකට කියා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි ලෙස ආධුනික කථිකාචාර්ය / කථිකාචාර්ය / ජ්‍යෙ. කථිකාචාර්ය තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ ලෙස තනතුරු තුනටම අදාළ වන ලෙස ශීර්ෂය යොදා තිබිණ. මම කඩවත සිට නියමිත දින බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමි. එහි මුලින්ම ගොස් තිබුනේ මමය. මම පැමිණ පසුව තව ලාබාල තරුණ ස්වාමීන්වහන්සේ නමක හා දැනට කැලණි විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශන පවත්වන මහතෙකු පැමිණ සිටිහ. සම්මුඛ පරීක්ෂණ පැවතියේ අප තුන් දෙනා අතරය. පැමිණ සිටි අනුපිලිවෙලට අනුව මුලින්ම මහට සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවිනි. සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම් ලිපියේ මාතෘකා කීපයක් ලබා දී ඉන් එක් මාතෘකාවක් සඳහා විනාඩි 10 ඉදිරිපත් කිරීමක් (Presentation) කළ යුතු බව දන්වා තිබූ බැවින් ඒ අනුව බෞද්ධ සංස්කෘතියේ නූතන ප්‍රවණතා නමින් එහි තිබූ එක් මාතෘකාවකට අනුව විනාඩි 10 කට ඉදිරිපත් කිරීම විශ්වවිද්‍යාලීය මහාචාර්යවරයෙකු උපදේශකත්වය සහිතව මනාව සකස් කරගෙන ගියෙමි. පාලි හා ත්‍රිපිටක අධ්‍යයන විෂය ක්ෂේත්‍රය යටතේ මා ලියා ප්‍රකාශ කර තිබූ ග්‍රන්ථ රැස අතරින් කීපයක්ද මගේ පශ්චාත් උපාධි නිබන්ධන සියල්ලක්මද රැගෙන ගියෙමි. මුලින්ම පැවතියේ ඉදිරිපත් කිරීමයි. මගේ ඉදිරිපත් කිරීම අතරතුරදී විනාඩි 10 ගතවීමට ප්‍රථම අතරමඟ නවත්වනු ලැබීය. (මෙබඳු සම්මුඛ පරීක්ෂණවලදී මෙවැනි ඉදිරිපත් කිරීම් දෙනු ලබන්නේ සහතිකවලට ලකුණු ලබාදීමේදී අඩුකලහොත් හෝ ඔවුන් පක්ෂපාතී බව දක්වන අපේක්ෂකයාට ඉහළ ලකුනු ලබා දුන් බවට පසුව වෙනත් අපෙක්ෂකයන් උසාවියේ නඩු පවරනු ලැබුවහොත් ඉන් ගැලවීමටය.

ඒ වෙනුවට තමන්ගේ අපේක්ෂකයාට ඉහළ ලකුනු ලබා දීමට දැන් කාලේ භාවිතා වන උපක්‍රමයක් ලෙස බව මට පසුව විශ්වාස කටයුතු ක්‍රමයකින් දැනගත හැකි විය. මන්ද සහතික පසුව පරීක්ෂා කර බැලිය හැකි වුවද ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන Presentation එකට ලකුණු අහිමි කිරීම පහසු හා පසුව හසු නොවන ක්‍රමයක් බැවිනි.) එය මට සම්මුඛ පරීක්ෂණයේදී සිදු කළ මුල්ම අසාධාරණයයි. ඉන් පසුව විනාඩි කිහිපයක් සම්මුඛ පරීක්ෂණය පැවතිනි. මා බලාපොරොත්තු වූ පරිදි මා ලියූ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හෝ පර්යේෂණ ප්‍රකාශන පිළිබඳව හෝ අදාළ විෂය ක්ෂේත්‍රයට ප්‍රමාණිකව මා විසින් සිදුකළ කිසිදු ශාස්ත්‍රීය දෙයක් ගැන ප්‍රශ්න නොකර කඩිමුඩියේ සම්මුඛපරීක්ෂණය නිමවිය. එය නිමවීමට ප්‍රථම දැන් යන ලෙස එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙහි ප්‍රධානත්වය දැරූ භික්ෂූන් වහන්සේ මාහට ප්‍රකාශ කළ සේක. එහිදී මට පෙනී ගියේ මට පසුව සිටින දෙදෙනාගෙන් කිසියම් අයෙකුව සම්මුඛ පරීක්ෂණයට ලක්කර තෝරා ගැනිමට මොවුන්ට ඇති හදිසිය නිසාම මගේ සම්මුඛ පරීක්ෂණය යම්තම් උඩින් පල්ලෙන් කර මාව බලහත්කාරයෙන් මෙන් එලියට ඇදදමා ඔවුන් පක්ෂපාතීත්වය දක්වන පුද්ගලයාට ආරාධනා කරන්නට ඇති බවකි. ඉන් පසුව හිතේ ඇතිවූ කළකිරීම මතම එහි සිදුවන දේ පිලිබදව අවධානය යොමු නොකොට එලියට පැමිණියෙමි. පසුව මාස කීපයක් ගතවී ගියේය. මේ පිළිබදව විමසීමට අදාළ විෂය භාරව සිටි ලේඛකාධිකාරිහට ඇමතූ විට ඊට පිළිතුරු දුන් තරුණියක් මාහට ලබාදුන් පිළිතුරේ සඳහන්වූයේ සම්මුඛ පරික්ෂණ මඬුල්ල සම්මුඛ පරීක්ෂණය අතරතුර මාහට කුමක් පැවසුවේද යන කාරණයයි.

අනිවාර්යයෙන් ම මෙහි කිසියම් අපේක්ෂකයෙකුට යම් පක්ෂපාතීත්වයක් පළ වී ඇති නිසා බවට ඇයගේ ප්‍රකාශය සාක්ෂියකි. සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර සෙසු අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ප්‍රථම පළමුව සිටි අපේක්ෂකයාට තෝරාගැනීම පිලිබදව පැවසීම සදාචාරාත්මක නොවන බව මගේ පිළිගැනීමයි. ඇය විමසූ පැනයට අනුව මාහට සම්මුඛ පරීක්ෂක මණ්ඩලය කිසිවක් නොකීබව මම පැවසූවෙමි. අනිවාර්යයෙන්ම එදින අප අතර සිටි යම් කිසිවෙකුට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔවුන්ගේ තෝරා ගැනීමේ නිවේදනය සිදු කිරීම ඇය මගෙන් මෙලෙස විමසීමට හේතුව ලෙස නිරීක්ෂණය වේ. වැඩිදුරටත් කරුණු දැක් වූ ඇය අදාළ කටයුත්තේ සම්පූර්ණ වගකීම තමා අත නොව සම්මුඛ පරීක්ෂක මණ්ඩලය මත රඳා ඇති බවත් එදින සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සම්මුඛ පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී අපේක්ෂයෙකුට දැන්වූ තීරණය අවසාන තීරණය වන බවත් සනාතන සභාව අනුමත කරනුයේද එම තීරණය බවත්ය. මා දුරකථන ඇමතුම් මඟින් අවස්ථා කීපයකදී මේ පිළිබඳව විමසීම් සිදුකළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් විසින් මගේ නම කුමක්ද යන ප්‍රශ්නය මුලින්ම හොඳින්ම විමසා මගේ නම අසාගෙන මා කපා හැරිය යුතු පුද්ගලයා බව දැන හැඳින ගැනිමෙන් අනතුරුව සැලසුම්ගතව මට පිළිතුරු ලබාදීම මඟහරින බව පැහැදිලි විය. අවස්ථා කීපයකදීම මේ තත්වය දැකගත හැකිවිය

අවසානයේදී කෙසේ හෝ මාස කීපයක්ම මාව රස්තියාදු කරමින් තවමත් සම්මුඛ පරීක්ෂණ තෝරාගැනීම සඳහා සනාතන සභා අනුමැතිය ලැබී නැතැයි ඔවුහු ප්‍රකාශ කළහ.අවසානයේ සනාතන සභාවට එය ඉදිරිපත්කළ දිනයෙහි මම දුරකථන ඇමතුමක් ලබා දී විමසූ අවස්ථාවේදී ඔවුන්ට මට ප්‍රකාශ කලේ ආධුනික කථිකාචාර්ය තනතුර සඳහා පැමිණ සිටි පශ්චාත් උපාධියක් වත් නොලබා සිටි ලාබාල භික්ෂූන්වහන්සේව තෝරාගත් බවත් මේ වන විට අදාළ තනතුර බාරගන්නා ලෙස උන්වහන්සේහට ලිඛිතව දන්වා මේ වන විට උන්වහන්සේ පැමිණ පත්වීම බාර ගෙන දැන් එහි සේවය කරන බවත්ය. මොවුන්ගේ පිලිතුර ඇසූ මම විශ්මිත වූයෙමි.සනාතන සභාවේ අනුමැතිය ලැබෙන දින මා දුරකථනයෙන් ඇමතුවිට එකම දිනයේ විනාඩි කීපයක් ඇතුලත තෝරාගත් අයෙකුට ලිපියක් යවා එය අදාළ පුද්ගලයාට ලැබූ ඒ පුද්ගලයා පැමිණ රාජකාරි බාරගෙන ඉන්පසුව දේශන පැවැත්වීම ආරම්භ කර ඇති බව ආදී දේ සියල්ල විශ්වකර්මයෙකුට හැරෙන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්නට තබා සිතන්නටද නොහැකි දෙයකි.මට මුල පටන්ම මේ උදවිය රඟපෑමක් සිදුකොට තිබූ බව මේ අනුව පැහැදිලිය. මට දුක අදාළ තනතුර සඳහා මා තෝරා නොගැනිම නොවේ. මා වැනි ආචාර්ය උපාධිධාරි උගතෙකු බුද්ධිමතෙකු විද්වතෙකු දෙකයි පණහේ තාලයට මේ අයුරින් රැවටීමට මොවුන් උත්සාහ කිරීමය.

මෙහි සිදූවී ඇති දේ මට නොවැටහීමට තරම් මම මෝඩයෙක් නොවෙමි. අදාළ පුරප්පාඩුව සඳහා ගිහියෙකු නොව පැවිද්දෙකු තෝරා ගන්නා බව පුවත්පත් දැන්වීමේ පළ කර තිබුනේ නැත. අඩුම තරමින් විශ්වවිද්‍යාල ව්‍යවස්ථාවේ හෝ එය අඩංගු නැත. දැනට මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයතුළ පැවිද්දන්ටත් වඩා රූමත් ලාබාල ගිහි කාන්තාවෝ බහුලව සිටිති. ඔවුහු සාමාන්‍ය ව්‍යවහාරය අනුව කෑලි ලෙස හැඳින්විය හැකි වර්ගයේ අය වෙති පුවත්පත් දැන්වීමේ පළ කර තිබූ දෙයට හාත්පසින් විරුද්ධ දේවල් සම්මුඛ පරීක්ෂණවලදී හෝ ඉන්පසුව සිදු කිරීම සම්පූර්ණ නීතිවිරෝධී කටයුත්තකි.පුවත්පත් දැන්වීම් පළ කරනුයේ මේ පිලිබදව මතුවට ඇති විය හැකි විගණන විමසුම්වලින් ගැලවීයාමට බවද මම දනිමි. කෙසේ හෝ මගේ මව මටත් වඩා මේ පිළිබදව විශාල බලාපොරොත්තු තබාගෙන පසුවූවාහ. මම සම්මුඛ පරීක්ෂණ සදහා Presentation එක නිවසේ පුහුණුවීම් සිදුකරද්දී ඔයාට ආධුනික කථිකාචාර්යකම නෙවෙයි මේක දැක්කම මහාචාර්යකම ලබාදේවි යැයි මගේ අසරණ අහිංසක මව සිනාමුසුව ප්‍රකාශ කළාය. ඇය ඉතා තදින් විශ්වාස කලේ අදාළ තනතුර සදහා මට ඉහළම සුදුසුකම් ඕනෑවටත් වඩා තිබූ බැවින් අනිවාර්යෙන්ම මේ තනතුර මට ලැබේවි යැයි කියාය.මන්ද මට නොතිබුනේ සිවුරක් පමණි.සිවුර යනු කෙනෙකුගේ බාහිර ඔපයට අදාළ දෙයකි. සිවුරක් නැතත් සිවුරක් දැරූ පුද්ගලයෙකුගේ සියලුම දැන උගත්කම් පර්යේෂණ හැකියාව ආදී සියලුම දේ මේ තනතුර සඳහා වුවමනාවටත් වඩා මා සතුට තිබිණ. අවසානයේ මගේ මව මේ පිලිබදව ඉතාම දුක් වූ බව මට පසුව දැන ගැනීමට ලැබිණ. ඇයගේ උදරයේ තිබූ ගෙඩිය ශල්‍යකර්මය කළ සඳහා ප්‍රතිකාර ලැබූ වෛද්‍ය මහාචාර්යවරයාටද ඇය මියයාමට පෙර අවසාන වරට ඇය ප්‍රකාශ කර තිබුණේ මගේ පුතාට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලනේ හරි ලොකු අසාධාරණකමක් සිදු වුනා යනුවෙනි. ශ්‍රී ලංකවේ විශ්වවිද්‍යාල වල විද්‍යමාන නින්දිත ජඩ ස්වරූපය නිසා මට මවගේ අවසාන මොහොතේ ඇයගේ අවසාන බලාපොරොත්තුව ඉතා කණගාටුදායක ලෙස ඉටුකරදිය නොහැකි විය.මා මගේ මුලු ජීවිත කාලය පුරාම ඉතා තදින් වෙහෙසවී ශාස්ත්‍රීය පර්යේෂණවල නිරතවූයේ පොත්පත් ලියා ප්‍රකාශ කලේ කවදා හෝ මවට මම විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරකට පත්ව ඇයගේ සිහිනය ඉටුකරවා ඇයව සතුටු කිරීමටය. නමුත් මගේ පැත්තෙන් ඇය වෙනුවෙන් මට කළහැකි සෑම දෙයක්ම මම කලෙමි.මට සමාජයෙන් ඊට සාධාරණත්වය මේ තාක් ලැබි නැති බව අතිශය කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමි. මේ ආදී වශයෙන් මෙරට ජාතික තලයෙහි වූ විශ්වවිද්‍යාලවලින් පමණක් මට සිදු වූ අසාධාරණකම් මෙලෙස සටහන් කරන්නේ නම් ඒ සඳහා විශ්ව කෝෂ ග්‍රන්ථ මාලාවක් වැයකර වත් සම්පූර්ණ කරගත නොහැකි වන්නේය. එබැවින් ඒ පිළිබඳ ලිවීම මෙයින් අවසන් කරමි. මේ පිළිබඳව පැවසිය යුතු දේ තව බොහෝය. ඒවා දැන ගැනීම තවත් අයට ප්‍රයෝජනවත් විය හැකි නමුදු අනුක්‍රමිකව වියපත්බව කරා පැමිණෙමින් සිටින මාහට දැන් මෙබඳු දෑ වලින් ඇති කිසිදු ප්‍රයෝජනයක් නැත.

අවසාන වශයෙන් කිව යුත්තක් ඇත. එනම් සුදුස්සාට සුදුසු තැන නොලැබෙන, සුදුස්සාට ලැබිය යුතු තැන විවිධ බත් බැළයන්ට ලැබෙන ශ්‍රි ලංකාව වැනි රටක මා මතු ප්‍රාර්ථනාකොට ඉපදීමට වත් නොපතන බවයි. එතරම් මට මෙරට අප්‍රසන්න වී ඇත.ඉදියේදී අවශ්‍ය තරම් මුදල් හදල් සම්පාදනය කරගත හැකිවී නම් හෝ කිසිවෙකුගේ උපකාරයක් ලැබේ නම් මා මියයනතුරු ජීවිතයේ ඉතිරි කාලසීමාව විදේශරටක විදේශීය විශ්වවිද්‍යාලයක මා අසීරුවෙන් අත්පත් කරගත් දැනුම ශිල්ප සියල්ල විදේශික සිසුන්ට හෝ ඉගැන්වීමෙන් ගත කිරීමට මහත් කැමැත්තෙන් පසුවෙමි.මගේ ශිල්පීය දැනුම උගත්කම ආදියෙන් ප්‍රයෝජන ගැනීමට කැමති මෙරට රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් වේ නම් අවශ්‍ය ඕනෑම අවස්ථාවක නොපැකිළව ඉතා කැමැතෙන් මියයනතුරු සේවය කිරීමට මහත් කැමැත්තෙන් පසුවෙමි. මගේ සේවය ලබා ගැනීමට කැමැති පාර්ශවය කුමන ආගමක, කුමන රටක, කුමන ආකල්ප මතවාද දරන අයවුවද මට කමක් නැත.නිකම් ලැබෙන අශ්වයාගේ දත් ගණන් කිරීමට මට ඇවැසි නැත.මෙපමණ ඉගෙන මෙපමණ දේ ඉතා මහන්සියෙන් දුක් ගැහැට විඳිමින් දැනඉගෙන ගත් මා අද කිසිදු ඵලක් නොගන්නා අවලංගු කාසියක් පරිද්දෙන් ඉවතට හලා තිබේ.මෙරට ජන සමාජය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අසාධාරණය මට සිදුවී තිබේ.අපේ රට කාලකණ්ණි වීමට බලපාන ප්‍රධාන හේතුවක් නම් හැකියාව සුදුසුකම ඇති පුද්ගලයාව නිසි තැනට යොදා ප්‍රයොජන ගැනීමට නිසි ක්‍රමවේදයක් තවමත් සකස්කර නැතිකමයි.ඒ වෙනුවට ඇත්තේ ඒ ඒ අවස්ථාවලට මුල්පුටුවලග ඥාතී සම්බන්ධකම් දරණ නමුත් නුසුදුසු ඇත්තන් අපි පැමිණිය යුතු තැන්වලට පැමිණ ඒ තැන් අරක්ගෙන කිසිදු ඵලදායි සේවාවක් ඒ තැන්වලට නොකිරීමයි. මියගිය පසුව අපේ ගුණ බොරුවට වැයිමෙන් අප කාටවත් අමුතුවෙන් අත්පත්වන සුගතියක් නැත. ඒ වෙනුවට කළ යුතුවනුයේ ජීවත් වන කාලයතුළ අපෙන් සමාජයට, රටට අවශ්‍ය සේවය ලබා ගැනීමයි. රටට බිහිවන උගතෙකු බුද්ධිමතෙකු යනු මුලු රටටම, ජාතියටම, ආගමට සම්පතකි. එබඳු තැනැත්තෙකු අලුයම ලූ කෙළ පිඩක් ලෙස නොසලකා හැරදමා තිබීම රටකට,ජාතියකට, ආගමකට තරම් නොවන්නකි.මා ලද උගත්කම පාලි ත්‍රිපිටක බුදු දහම වෙනුවට වෙනත් ආගමක් පිළිබඳ ලබා තිබුණේවී නම් ඒ ආගමේ ඉහළම උසස්ම ස්ථානයක් මාහට ලබාගත හැකිව තිබූ බව හා මා වැනි උගතෙකුගෙන් ඔවුන් විශාල සේවයක් ඒ ආගමට ලබාගන්නබව අබෞද්ධ විශාල පිරිසක් මාහට පවසා ඇත.

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top