අනං මනං එපා, නීතිය ක්‍රියාත්මක කරන්න: සුජීව පොලිස්පතිගෙන් ඉල්ලයි

sri-lanka-police.jpg

ජන 12, 2016 (විමසුම) – ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ තරුණයෙකු පොලිස් පහරදීම් හේතුවෙන් මරණයට පත්වූ බවට නැගෙන චෝදනා පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අමාත්‍ය සුජීව සේනසිංහ පොලිස්පතිගෙන් ඉල්ලා සිටී.

නිවසක පැවති සාදයක් අතරතුර පොලීසිය සමග ඇති වූ ගැටුම්කාරී තත්වයක් දුරදිග යාම හේතුවෙන් මෙසේ උඩු මහලකින් බිමට වැටුණු සුමිත් ප‍්‍රසන්න නම් 26 හැවිරිදි එක්දරු පියෙකු පසුගිය 07වැනි දින අළුයම රත්නපුර රෝහලේදී මිය ගියේය.

“මට ලැබුණු තොරතුරු අනුව පොලිසිය ඉතාමත් කැත විදියට බලෙන් සාදයකට ගිහිල්ලා ඒ සාදයේ ප්‍රශ්ණ ඇති කරලා තරුණයෙක් මරණයට පත් වෙලා තියනවා,”

“පොලිස්පතිතුමාට කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න. අනං මනං දේවල් නොකර.” සේනසිංහ අමාත්‍ය කියා සිටියේය.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජ.වි.පෙ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළේය.

“පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මියයාමේ සිදුවීම් බොහොමයක් පසුගිය කාලයේ අසන්නට ලැබුණා. ඇතැමෙක් ආයුද පෙන්වීමට යාමේදීද තවත් අය පලා යාමට උත්සාහ කරද්දීද මිය ගොස් තිබුණා,”

“එම පැහැදිලි කිරීම් මහජනතාව කෙතෙක් දුරට විශ්වාස කළාද නැද්ද යන්න අමුතුවෙන් කිවයුතු නැහැ. පොලීසියේ ‘කැරැට්ටුව’ හොඳ නැති බවට මහජනතාව තුළ වන අදහසට බොහෝදුරට වගකිව යුතු වන්නේද පොලීසියේ ඇතැමුන්ගේ ක‍්‍රියාකලාපය බවට සැක නැහැ,”

“මෙම මරණය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන්ගෙන් පොලීසියට එල්ල වන චෝදනා සැලකිල්ලට ගත යුතුව ඇත්තේ ඒ අනුවයි.” දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

scroll to top